ලාභය – අලාභය – යසසය – අයසසය – නින්දාවය – ප්‍රශංසාවය – සැපය – දුකය කියා ලෝකස්වභාව අටක් ඇත්තේ ය. එයට ‘අෂ්ටලෝකධර්මය’ යි කියනු ලැබේ. එහි ‘යසසය’ යනු පිරිස ඇති බව ය. අයසසය යනු පිරිස නැති වීම ය. තනිවීම ය. ලෝකයෙහි ගිහි පැවිි කිසිවකුට සෑම කල්හි ම එක් තත්ත්වයකින් සිටින්නට නො ලැබේ. ලාභාලාභාදි සියල්ල ම වරින් වර සැමට ම පැමිණෙයි. පැවිද්දාහට එයට මුහුණ දීමට සමත් මානසික බලයක් තිබිය යුතු ය. ලෝකධර්මයන් නිසා වෙනසකට නො පැමිණ සිටිය හැකි බවට ‘තාදී ගුණය’ යි කියනු ලැබේ. එය උසස් ආර්‍ය්‍ය ගුණයෙකි. එය සම්පූර්ණයෙන් ඇත්තේ බුදුවරුන් හා රහතුන් කෙරෙහි ය. සාමාන්‍යයෙන් සියලු ම පැවිද්දන් එක්තරා ප්‍රමාණයකින් වත් ඒ තාදී ගුණය ඇති කර ගත යුතු ය. එසේ නැති තැනැත්තාට මහණදම් පිරීම දුෂ්කර ය. අෂ්ටලෝකධර්මය මතක තිබීමට මේ ගාථාව පාඩම් කර ගත යුතු ය.
“ලාභෝ අලාභෝ අයසෝ යසෝ ච
නින්දා පසංසා ච සුඛං ච දුක්ඛං
ඒතේ අනිච්චා මනුජේසු ධම්මා
අසස්සතා විපරිණාම ධම්මා.
(අංගුත්තර අට්ඨක නිපාත)
(ශාසනාවතරණය – රේරුකානේ චන්දවිමල මහනාහිමි)
සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැරීමෙන් (share කිරීමෙන්) සහ ඔබගේ මිතුරන් මෙම පිටුවට එකතු කර (invite කර) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න. තෙරුවන් සරණයි!