මජ්ඣිම නිකායේ විතක්ක ඝණ්ඨාන සූත්‍රය භාවනාමය වශයෙන් සිත වඩන්නකු වෙත උපකාරී වන දේශනයකි. එය භාවනා යෝගියකුට පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී වුවද පුද්ගලයා කෙරෙන් නිරන්තරයෙන් පැන නගින අකුසල සහගත සිතිවිලි මැඩ පවත්වා ගැනීමට කදිම අත්වැලක් සපයයි.
සූත්‍ර නාමකරණයේ දැක්වෙන විතක්ක යන්නෙන් අදහස් වනුයේ සිතිවිලිය හෙවත් විතර්කයන්ය. අකුසල විතර්ක ප්‍රධාන වශයෙන් තුනකි. එනම් ලෝභ, ද්වේශ, මෝහ වශයෙනි. සූත්‍රයේදී මෙම අකුසල විතර්කයන් මැඩ පවත්වා අලෝභ, අදෝස, අමෝහ යන කුසල විතර්කයන් ඔස්සේ සිත සමාධිය වෙත ගෙන යාමේ ක්‍රියාවලියක් යෝජනා කරයි. එම ක්‍රියාවලිය පියවර පහකින් සමන්විත වන අතර ඒවා එකක් අසාර්ථක වූ විට අනෙක යොදා ගත හැකි පරිදි දක්වා ඇත. එම පියවර පහ මෙසේ දැක්විය හැකිය.
*ලෝහ ආදී අකුසල විතර්ක පැමිණි කල්හි එය මැඩලීම පිණිස,*
*1. ප්‍රතිවිරුද්ධ කුසල සිතිවිල්ලක් මෙනෙහි කිරිම.*
මෙහිදී පුද්ගල සන්තානය තුළ ලෝභ, ද්වේශ, මෝහාදී අකුසල සිතිවිලි පහළ වේ නම් ඊට ප්‍රතිවිරුද්ධ කුසල නිමිත්තක් මෙනෙහි කළ යුතුය. එම ප්‍රතිවිරුද්ධ කුසල අරමුණු මොනවාද? රාග සහගත සිතක් උපන්නේ නම් අසුභය මෙනෙහි කළ යුතුය. ද්වේශ සහගත සිතක් උපන්නේ නම් මෛත්‍රී සහගත සිතින් එය ජයගත හැකිය. මෙලෙස අකුසලයන්ට ප්‍රතිවිරුද්ධ විතර්කයන් තුළින් කුසල සිත පවත්වා ගැනීම අවබෝධ කරවනු පිණිස බුදු හිමියෝ එය උපමාවකින් මෙසේ දක්වති.
“යම් දක්ෂ වඩුවකුට ලෑල්ලක තිබෙන ලී ඇණයක් ඉවත් කිරීමට අවශ්‍ය වෙයි. එවිට ඔහු තවත් සියුම් ඇණයක් ගෙන පරණ ඇණය මත තබා වැරෙන් පහර දෙයි. අතින් ඇද දමයි. එසේ අකුසල විතර්ක යහපත් කුසල විතර්කයන්ගෙන් මැඩ පැවැත්විය හැකිය.”
*2. උපන් අකුසල සිතිවිලේ ආදීනව මෙනෙහි කිරීම.*
යම් අකුසල විතර්කයක් පහළ වූ කල්හි එයට ප්‍රතිවිරුද්ධ කුසල සිතුවිලි මෙනෙහි කළ කල්හි එය අසාර්ථක වේ නම් උපන් අකුසල විතර්කයේ ආදීනව මෙනෙහි කළ යුතුය. මේ අකුසල් සහගත සිතුවිල්ලෙන් තමා දුකට, පීඩාවට පත්වේ. අන්‍යයන්ගේද දුක පිණිස පවතී ආදී වශයෙන් මෙනෙහි කළවිට අකුසල විතර්ක පහව යයි. අලංකාරය කැමති යම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ ගෙලෙහි මියගිය සර්පයකුගේ හෝ සතකුගේ මළකුණක් දවටයිද, එය වහා පිළිකුලෙන් ඉවත දමන්නේද ලැජ්ජාවට, දුකට පත්වන්නේ යම්සේද උපන් අකුසල විතර්කයන්ගේ ආදීනව මෙනෙහි කොට එයින් අත්මිදිය යුතුය.
*3. උපන් අකුසල සිතුවිල්ල අමතක කිරීම.*
ඉහත පියවර අමතක වන්නේ නම් නැවත නැවතත් අකුසල සිතුවිල මතුවේ නම් එම සිතුවිලි මගහැර සිටීම, අමතක කිරීම කළ යුතුය. එයින් අකුසල සිතුවිලි පහව යයි. එය බුදුන් වහන්සේ මෙසේ උපමාවකින් දක්වා ඇත. යස් සේ ඇස් ඇති පුරුෂයකු තමන් ප්‍රිය නොකරන රූපයක් ඉදිරියට පැමිණි කල්හි දක්නට නොකැමැතිව ඇස් වසා ගන්නේද, අන් දිසාවක් බලන්නේද එපරිද්දෙන් අකුසල නිමිත්ත අරමුණු නොකිරීමෙන් අකුසල විතර්ක පහළ නොවේ.
*4. උපන් අකුසල සිතුවිල්ලෙහි මුල මෙනෙහි කිරීම.*
අකුසල සහගත සිතුවිලි මර්දනය කොට කුසලයෙහි සිත සමාධි ගත කිරීමට ඇති සිව්වන පියවර වනුයේ අකුසල සහගත සිතුවිල්ලේ ඇතිවීම මෙනෙහි කිරීමයි. බොහෝ වැරදි සහගත පාපකාරී සිතුවිලිවලට මුල්වූ කරුණ පිළිබඳ විමසිලිමත් වීමේදී එමගින් ගැටලු ඇතිකර ගැනීම සාධාරණ නොවන සාවද්‍ය බව වැටහෙනු ඇත. මෙම කරුණ පැහැදිලි කිරීමට සූත්‍රයේ යෙදෙන උපමාව මෙසේය. යම් පුරුෂයෙක් ඉක්මනින් ගමන් යන්නේ මා කුමක් නිසා ඉක්මනින් ගමන් කරන්නේදැයි සිතා සෙමින් ගමන් කරයි. නැවත මා කුමක් නිසා හෙමින් ගමන් කරන්නේද හිටිවනම සිටීම යෙහෙකැයි සිතා එසේ සිටියි. කුමක් නිසා මා සිටගෙන සිටින්නේද වාඩිවීම යෙහෙකැයි සිතා වාඩි වෙයි. වැතිර සිටීම යෙහෙකැයි සිතා එසේ කරයි. මෙසේ එම පුද්ගලයා ක්‍රමයෙන් දැඩි ඉරියව් මගහැර සියුම් ඉරියව්වට පැමිණෙන්නේ යම් සේද ළාමක අකුසල සිතුවිලි වල මුල සිහි කොට ඉන් අත්මිදිය යුතුය.
*5. කායික බලය සිතට දෙමින් අකුසල විතරක මැඩලීම*
සිව්වන පියවරද අසාර්ථක වූ කල්හි බුදුරදුන් තවත් විකල්පයක් ඉදිරිපත් කර ඇත. මානසික ක්‍රියාකාරීත්වය සඳහා කායික ශක්තියේ බලයද යොමු කිරීම මෙහිදී සිදුකෙරේ. පුද්ගලයා වෙත නැවත නැවතත් අකුසල සිතුවිලි පහළ වේ නම් යටි දතෙහි උඩු පිහිටුවා (දත් එකිනෙක තද කොට ගෙන) කුසල් සිතින් අකුසල් සිත මර්දනය කළ යුතුය. එයින් අකුසල් සහගත විතර්ක පහව ගොස් සිත සමාධි ගත වෙයි. යම් සේ බලවත් පුරුෂයකු විසින් ඉතා දුර්වල පුද්ගලයකුගේ හිසින් තදින් අල්ලා ඔහු තලා පෙලන්නේ යම් සේද එලෙස අකුසල විතර්ක මැඩලිය යුතුය.
මෙම පියවර චිත්ත සමාධිය අපේක්ෂා කරන කා හට වුවද ප්‍රායෝගිකව අත්දැකිය හැකි ක්‍රියාමාර්ගයන්ය.
_______________________________________
“දළදා වරුණ” මාසික බෞද්ධ සඟරාව ඇසුරෙනි.