සතර අපායෙන් මිදීමට කැමති ගිහි පිංවත් ඔබෙන් භික්‍ෂුව කාරුණිකව ඉල්ලනවා, ඔබ ඇස්‌දෙකෙන් ලස්‌සන දෙයක් දැක්‌කොත් අහක බලාගෙන යන්න එපා කියලා. ඒ වගේමයි ඔය ඇස්‌දෙකෙන් අවලස්‌සන දෙයක් දැක්‌කොත් ඒත් අහක බලාගෙන යන්න එපා කියලා. මොකද ලස්‌සනත්, අවලස්‌සනත් ධර්මයමයි. භික්‍ෂුව ගිහි කාලයේ මේ ඇස්‌දෙකෙන් ලස්‌සන දෙයක් අවලස්‌සන දෙයක් දැක්‌කොත් කවදාවත් අහක බලාගෙන ගියේ නැහැ. ඔබ මෙතැනදි වැරදි අර්ථයක් ගන්න එපා. ලස්‌සන දෙයක් දැක්‌කොත් අහක බලාගෙන ගියේ නැහැ කියන්නේ, ලස්‌සන රූපය දැක්‌ක සිත දෙස නොබලා ගියේ නැහැ කියන කාරණයයි. ලස්‌සන රූපය දැක්‌ක සිත දෙස මා නොබලා ගියේ නම් මම ඒ රූපයට බැඳී යනවා. රූපය නිසා දුක සකස්‌කොට ගන්නවා.
දැන් පිංවත් ඔබ සිතන්න, ඔබ ළඟ ඔබේ පිංවත් බිරිඳ වාඩිවී සිටිනවා නම්, එම රූපයට බැඳීගියේ ඇයි කියලා. ඔබ ඒ රූපය දැක්‌ක මුල්ම දවසේ සිත දෙස බලන්නේ නැතිව අහක බලාගෙන රූපය දෙස පමණයි බැලුවේ. භික්‍ෂුව දක්‍ෂ වුණා ගිහිකාලයේදී මනාලියන් කිහිපදෙනෙක් මුණගැසිලත් මනාලියන් දෙස නොව ඇය නිසා සකස් වුණ සිත දෙස බලන්න. ලස්‌සන වේවා, අවලස්‌සන වේවා රූපය තුළින් මම හැම මොහොතකම දැක්‌කේ මගේ විචාරවත්, අවිචාරවත් සිතේ ක්‍රියාකාරිත්වයයි. සිතේ වෙනස් වීමයි. ලස්‌සන රූපය තුළින් මම රූපය දැක්‌කානම් මම තවමත් පිංවත් ඔබ සිටින තැනයි සිටින්නේ. දෑස් හැරගෙන විවෘතව ලෝකය බලපු මම දෙවැනුව දෑස් පියාගෙන ලෝකය අවබෝධ කොටගත් භික්‍ෂුවක්.
මම ගිහි කාලයේ ගොඩාක් ලස්‌සන නොවුණාට, මම ලස්‌සනට ගොඩාක් කැමතියි. මම ගිහි කාලයේ ගොඩාක් අවලස්‌සන නොවුණාට, මම අවලස්‌සනටත් ගොඩක් කැමැතියි. මොකද මට ඉවක් තිබුණා ලස්‌සන අවලස්‌සන දෙකම, මට රූපයෙන් මිදීයන්නට කවදා හරි දවසක උපකාරක ධර්මයන් වෙයි කියලා. මම ලස්‌සනට විතරක් කැමැති වුණානම්, අවලස්‌සන ඉදිරියේ මම ගැටෙනවා. මේ දැක්‌ම තිබුණ නිසා ලොකු අනතුරකින් මම බේරුණා. ලස්‌සන අවලස්‌සන තුළින් මගේ සිත දකින්න මම දක්‍ෂ වුණා.
මේ මොහොතේ භික්‍ෂුවට මතක්‌වෙනවා උපතිස්‌ස, කෝලිත කියන ධනවත් බමුණු පවුල් දෙකේ තරුණයන් දෙදෙනා. මේ දෙදෙනායි පසුකාලයේ සාරිපුත්ත මහෝත්තමයන්, මුගලන් මහෝත්තමයන් බවට පත්වෙන්නේ. එදා දඹදිව සති ගණනක් පැවැති ගිරජ්ජසමජ්ජ කියන සැණකෙළිය (කානිවල් එක) බලලා කලකිරීමේ තීව්‍රරභාවය උත්සන්න වෙද්දියි, මේ තරුණයන් දෙදෙනා කාමයන්ගෙන් මිදීමේ මාවත සොයාගෙන යන්නේ. එදා ඒ කානිවල් එක නොතිබ්බා නම් මේ තරුණයන් දෙදෙනාගේ කාමයන්ගෙන් මිදීමේ ගමන තව ප්‍රමාද වෙන්න තිබුණා. මේ බුද්ධිමත් තරුණයන් දෙදෙනා එදා දක්‍ෂ වුණා ‘ගිරජ්ජසමජ්ජ’ කානිවල් එක තුළින් තමාගේ සිත දෙස බලන්න. සැණකෙළි වේදිකාවේ රඟන අනිත්‍ය වූ පංචඋපාදානස්‌කන්ධය දෙස ‘මම’ කියන අනිත්‍යභාවයට පත්වන පංචඋපාදානස්‌කන්ධයෙන් බලනකොට, මේ තරුණයන් දෙදෙනා දැක්‌කේ හිස් බවයි. ඒ හිස්‌භාවය අපි පුරවා තිබෙන්නේ තෘෂ්ණාවෙන්මයි.
ඒ නිසාම භික්‍ෂුව ඔබට කියනවා, විසූකදර්ශනයන්ගෙන් පිරුණු සමාජය සමඟ ගැටෙන්න එපාය කියලා. ඔබ ඒ සාමජය සමඟ ගැටෙනවා නම් ඔබේ සිතත් විසූකදර්ශනයක්‌ම වෙනවා. ලස්‌සන, සතුට, විනෝදය, කලාව ලෝකයේම කොටස්. මේවායින් තොරව ලෝකය දකින්න බැහැ. ඔබ මේවාට ගැටෙනවා කියන්නේ, ඔබත් ලෝකයේම කොටස්‌කරුවෙක් වෙනවා කියන එකයි. ලෝකය ඉදිරියේ තවමත් ඔබ කැමැත්ත අකමැත්ත තුළ දෝලනය වන්නේ, තවමත් අපි සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් අපේ සිත් ආවරණය නොකරගත් නිසාමයි.
භික්‍ෂුව ගිහිකාලයේ ඇසුරුකරපු සමාජය, භික්‍ෂුවට ආදරය කරපු සමාජය, භික්‍ෂුවට කමටහනක් වු සමාජය තවමත් ඒ විදිහටම තිබෙනවා. ඥාතියා, අසල්වැසියා, හිතවතා, පන්සල, ගම, නගරය තවමත් ඒ විදිහට තිබෙනවා. නමුත් ඒ සමාජය නිසා භික්‍ෂුව තුළ වර්තමානයේ තෘෂ්ණාවෙන් බැඳීමක් සකස්‌වන්නේ නැහැ. සිත හිස්‌වයි පවතින්නේ. ලස්‌සන අවලස්‌සන තවමත් ලෝකයේ තිබෙනවා. නමුත් සිත හිස්‌වෙලා. සිත හිස්‌වුන තැනදී ලෝකය හිස් දෙයක් බවටයි පත්වෙන්නේ. මොකද ලෝකය පුරවලා දෙන්නේ තෘෂ්ණාවෙන්. රූපයේ අනිත්‍යභාවය දකිමින් හිස්‌කළ සම්මුති ලෝකය දෙස තෘෂ්ණාව හිස්‌කළ පංච උපාදනස්‌කන්ධය නැමති ලෝකය තුළින් බැලීමේදී හිස්‌බවක්‌මයි දකින්නේ.