“මිදි තිත්තයි” කියූ නරියාගේ කතාව නොදන්නා කෙනෙකු නැත. තමන්ට ලබා ගත නොහැකි දෙයක අගය වටිනාකම හෑල්ලු කිරීමක් සිදුවන්නේ නම්, එවැනි අවස්ථා සදහා මෙය බහුලව භාවිතා කරයි.
පිහිනීමට නොදන්නා කෙනෙක් ගං ඉවුරේ සිට , ගගට බැස පිහිනන අයටත්, ගග දිය පිළිබදවත් පිටතින් බලා නිගමනයන්ට එළඹිය හැක. අප ඇසුරු නොකොට, ඇතැම් විට වචනයක්වත් කතා නොකරන අයගේ යම් කිසි එක් වචනයක්, ක්‍රියාවක් අලලා ඔවුන්ගේ මුලු චරිතය කෙරෙහිම නිගමනයන්ට එළඹීමද මෙසේමය. කෙනෙකුගේ ගුණ යහපත් කම එක් ක්‍රියාවකින් මැනිය නොහැක.
එලෙසින්ම එම ක්‍රියාව කුමක් වුවද ඔහුගේ චේතනාව අපට දැකිය නොහැක. මෙය ඔබට, මට, අප සියළුම දෙනාට සිදුවන්නකි. පිටත සිට අප කරනු ලබන විනිශ්චයන් කොතෙක් නම් දුරට නිවැරදිද යන්න අපටම කලක් යන විට අවබෝධ වෙයි. එය බුද්ධිමතුන්ගේ ක්‍රියාවක් නොවන්නේ එබැවිනි. බුදුරජාණන් වහන්සේ එකල ධර්මය පිළිබදව දොස් නගා, විවේචන එල්ල කරමින් පැමිණිය අයට කීවේ, ” ඇවිත් බලන්න ” යනුවෙනි. එසේ ධර්මයෙහි අඩු පාඩු සොයන අදහසින්ම ශාසනයට පැමිණ සිවුරු දැරූ අය බොහෝ සිටියහ. නමුත් අවසානයේ ඔවුන් කිසිවකු එම අදහසින් පිටව ගියේ නැත. බොහෝ අය රහත් ඵලයෙන් සැනසුණහ. තර්ක කර දිනන්නට පැමිණි කෙනෙකු අවසානයේ දිනුයේ සංසාරයය.
අද සමාජයේ බොහෝ දෙනෙක්ටද එකල සිටි අයට මෙන්ම විශාල වශයෙන් මේ ධර්මය ගැන, ඇතැම් පිළිවෙත් ගැන සැක උපදී. සියල්ල දන්නා, සියල්ලන්ටම ඔවුන්ගේ නැණ පරිදි පහදා දිය හැකි සර්වඥයන් වහන්සේ අද වැඩ නොසිටිනා බැවින් ඇතැම් සැක සංකා පිළිතුරක් නොමැති ප්‍රශ්න ලෙස ඉතිරිවී පවතී.
“මස් මාංශ අනුභවය සුදුසුද, බුද්ධ පූජාව නාස්තියක්ද, හිඟන්නාට දීම වඩා ප්‍රායෝගිකද, බෝධි පූජාව හිස් දෙයක්ද… මල්, පළතුරු පූජාවන් මෝඩ ක්‍රියාවන්ද, චෛත්‍යයන්ට කරනා තිර පූජා හිස් දේවල්ද…” යනාදි වශයෙන් නිමක් නොවනා ප්‍රශ්න, පිළිතුරක් නොමැතිව ඒ මේ අත දෝලනය වන්නේය. හිඟන්නාගේ තුවාලය පරිදි ඇතැම් අය එයම පහුරු ගාමින් වින්දනයක් ලබති.
සූර්යයාගේ ආලෝකය මනාව විහිදී ඇති විටෙක, කණා මැදිරි එළියට පොර බඳින්නවුන් සේ, රසවත් දිව්‍ය භෝජන දෑස් ඉදිරිපිට තිබෙද්දී.. පුරුද්දට අසූචී ගන්ධයට ඉව කරමින් දුවන සුනඛයන් සේ…තමන්ගේද කාලය නසමින්…අන් අයගේද කාලය නසමින් මෙවැනි දෑම හාර අවුස්සමින් බහුතරයක් දෙනා හිස් ලූ ලූ අත දුවති.
දරුණු ඊතලයක් වැදී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන්නෙකුට අවැසි වන්නේ ඊතලය ඉවතට ඇද දමා ඔහුව මරණයෙන් ගලවා ගැනීමයි. ඊතලය පිළිබඳව සොයමින් කාලය කා දැමීම නොවේ. අසුරු ක්ෂණයක් මෙන් ලද මේ බුද්ධෝත්පාද කාලය පිළිබඳව අගයක් යම් පමණකට හෝ දන්නේ නම්, හිස ගිනි ගත්තකු මෙන් අප්‍රමාදීව නොවලහා ධර්මය අවබෝධ කරගන්නට වෙහෙසෙනු ඇත.
ගඟට බැස පීන්නනා ඔහුගේ ඉලක්කයට යයි. ඔහු පීනන අතරතුර ගඟේ ස්වභාවය වටහා ගනී.. අන් අය කියූ දේවල් නොව තමා විසින්ම වටහා ගනී.. එපරිද්දෙන් අතලොස්සක් වූ දෙනා මේ ධර්මය පුහුණු කරති. වඩති. නිවන් සාක්ෂාත් කරගන්නට වීර්යය කරති. සමථ විපස්සනා භාවනා වඩති. නිසි උපදෙස් කම්මට්ඨානාචාර්ය වරුන්ගෙන් ලබා ගනිති. කළණ මිතුරන් ඇසුරේ වැඩෙති.. ඔවුනටද ප්‍රශ්න ඇත. ඒ ප්‍රශ්න නම්, තමාගේ සිතේ පවත්නා රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් දමනය කිරීම සම්බන්ධ ප්‍රශ්නය.. භාවනාව වඩාගෙන යද්දී පැන නැඟෙන ප්‍රශ්නය..
“බුද්ධ පූජාව හොදද, මස් කන එක පව්ද, මල් පූජාව නරකද, තිර පූජාව මෝඩ හිස් වැඩක් නොවේද” ආදී ප්‍රශ්න ඔවුනට නැත. මෝහ අන්ධකාරයේ පැටළී සිටින අප සියල්ලන්ටම මහා ප්‍රශ්නයක් ඇත. ඒ නම් මේ සංසාර දුකෙන් නිදහස් වීමේ ප්‍රශ්නයයි. එයට විසදුම් සෙවීම පසෙකලා , ධර්මය පුහුණු කිරීම පසෙකලා වෙනත් ගැටළු කරපින්නාගෙන යයි. තමන් හරි හැටි නොදැන තම පුද්ගලික මතය ගෙන හැර දක්වා මහා පව් තමනුත් කරගනී.. අන් අයටද කරවයි. ධර්මය වූ කලී සම්මුති ලෝකයේ අප රැස් කරගන්නා විෂය කරුණු මෙන්, තවත් එක් දෙයක් නොව මහා ගම්භීර දෙයකි. දැලි පිහියෙන් කිරි කන්නාක් මෙනි. ධර්මය මනා ගෞරවයෙන් පරිශීලනය කළ යුතුය.
ගිහි අය වශයෙන් නිත්‍ය සීලය ලෙස පන්සිල්වත් රකිනවානම් ඉහත ප්‍රශ්න උද්ගත වීම ඉතාමත් අවම වනු ඇත. නිසි ලෙස පංච ශීලය රකින්නට මනා සිහියක් සතියක් තිබිය යුතුමය. සෑම මොහොතකම තම සිත, කය, වචනය දෙස සිහියෙන් බලා සිටිය යුතුය. එවැනි කෙනෙක්ට තව අය
“බුද්ධ පූජාව තැබුවාද, ලොකුවට තිබ්බාද, පොඩිවට තිබ්බාද, විසිකරාද, ඒවා නැවත පාවිච්චි කළාද, මල් – පලතුරු පූජා කළාද” ලෙසින් අන් අය කරන කියන ඒවා ගැන සිත සිතා වෙහෙසෙන්නට කාලයක් නැත. ඔහුගේ ව්‍යායාමය තමන් පිරිසිදු වීමය.
“හිඟන්නාට දෙන එකද ප්‍රායෝගික, බුද්ධ පූජාවද” ලෙසින් ප්‍රශ්න එන්නේ නැත. ධර්මයේ මූලිකම ඉගැන්වීම් වලින් එකකි, චේතනාව අනුවම කර්මය වන බව. එකම ක්‍රියාව වුව සිදු කරන විවිධ අයගේ චේතනාව වෙනස් විය හැක. කෙනෙක් එකම මලක් පූජා කොට , එහි අනිත්‍ය මෙනෙහි කොට නිවන් අවබෝධ කරගන්නට මනසිකාර පවත්වන්නට ඇත. තවත් කෙනෙක් මල් පූජා නොකොටම , මල් ආසන පිරිසිදු කිරීමෙන්ම පමණක් මේ යථාර්ථය තේරුම් ගන්නට ඇත.
මා ලද පුද්ගලික අත්දැකීමක් සදහන් කරමි.
අප විසින් කාලයක් පුරා එක් විහාරස්ථානයකට මල් පූජා කරන්නට පුරුදු වී සිටියෙමු. එහි මල් ආසන පිරිසිදු කරන සේවකයා දිනක් මා හමුවට පැමිණ , “මෙතනට කී දෙනෙක් ඇවිත් මල් දහස් ගණන් ලස්සනට පූජා කරනවා. ලස්සනේ බෑ.. සුවඳයි පළාතම.. ඒත් මගෙ අතින් ඒවා මේ කුණු බක්කියට යද්දී කුණු වෙලා ගඳම ගඳයි. මටම දුකයි. හැමදාම මට මේ මල් කුණු බක්කියට දද්දී ඒකමයි හිතෙන්නේ. කොච්චර ලස්සන මල් අන්තිමට මෙහෙම කුණු වෙලා මම විසි කරන්නේ. හැමදේම මේ වගේ තමයි නේද”
මලක් පූජා කොට අප ලබාගත යුතු අවබෝධය ඔහු විසින් උකහා ගෙන ඇති අයුරු කෙතරම් අගනේද… ඔහුගේ ඒ අවබෝධය කවදා හෝ නිවන් දකින්නට ඔහුට උපකාරි වනු ඒකාන්තය. මල් ලක්ශයක් පූජා කරන්නෙකුට වුව මේ අවබෝධය ඇතිවන්නට පුළුවන. පළතුරු ලක්ෂයක් පූජා කරන්නකුට වුව ඇතිවිය හැක. ඇතැම් විට ඇති නොවන්නට පුළුවන.. අප දන්නේ නැත. නමුත් අපට ඒ පිළිබඳව පිටින් ඉඳ නිගමනය කළ නොහැක.
ධර්මය ගැන ශ්‍රද්ධාව පැහැදීම ඇතිවන්නේ එය දකින්නට දකින්නටය.. බුදු රජාණන් වහන්සේ දකින්නට නම්, ධර්මය දැකිය යුතුය. ධර්මය දකින්නට නම් ධර්මය පුහුණු කළ යුතුය. ධර්මය පුහුණු කරන්නා තුළ ක්‍රමයෙන් ශ්‍රද්ධාව, සතිය, සමාධිය, ප්‍රඥාව, වීර්යය වැඩෙයි. අඳුරේ අතපත ගානා විට ඇතිවන සැක සංකා ගැටළු බොහෝමයක් හිරු දුටු පිණි මෙන් වියැකී යයි.. මේ ධර්මය එතරම් තාර්කිකය.. කිසිඳු තර්කයකට බිඳ ලිය නොහැක.
මහා සයුරට බසින්නට බසින්නට එහි ගැඹුර පිළිබඳ අවබෝධ වෙයි. එලිසින්ම ධර්මයට බසින්නට බසින්නට ධර්මයත්, ඒ ධර්මය ලොවට දෙසූ බුදු රජාණන් වහන්සේ ගැනත් දිනෙන් දින පහදී.. බුදු ගුණ අනන්තය.. එය කියා නිම කළ නොහැක. ලියා නිම කළ නොහැක. අවබෝධ කොට නිම කළ නොහැක. ඉඳිකටු සිදුරෙන් අහස දෙස බලා, “මේ මට පෙනෙන්නේ මුළු අහසම” යැයි කෙනෙක් සිතයිද, එය ඔහුගේම මුලාවකි. බුද්ධ රත්නයද එලෙසමය..
ඉතින් ඒ අචින්තය වූ බුද්ධ රත්නය කෙරෙහි අපමණ පැහැදීමෙන්, උන් වහන්සේ වෙනුවෙන් ඉදිකොට ඇති ප්‍රතිමාවක් ඉදිරියේ වැඳ වැටී ශ්‍රද්ධා කඳුළු ගලන්නේ නම් යම් හදකට… එය මෝඩකමක් ද..!
සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් ලෝක සත්වයා වෙනුවෙන් අපමණ දුක් විඳි බුදු පියාණන් කෙරෙහි අපමණ ශ්‍රද්ධාවෙන්, කෘතඥ පූර්වක හදවතින්, උන් වහන්සේ සිහිකොට නඟා ඇති ප්‍රතිමාවකට දානයක් පූජා කිරීම මෝඩකමක් වේද..!
මේ මහා ධර්මස්කන්ධයෙන් එක් අංශු මාත්‍රයක දෙයක් හදවතින් පසක් කොට, කෙලෙස් මාරයාගෙන් යම් පමණක හෝ මිදීමක් ලබා , අපමණ සැනසීමක් ලබා ගත්තා නම්, ඒ ඇතිවූ චිත්තප්‍රසාදයෙන් උන් වහන්සේගේ ප්‍රතිමාවක් ඉදිරියේ මලක්, පහනක් පූජා කිරීම මෝඩ කමක්ද…!!
කර්මය කර්ම ඵලය අදහාගෙන, ප්‍රසාද ජනක සිතින්, ඒ බුද්ධ රත්නයේ ගුණ අදහාගෙන, මහා පැහැදීමෙන් යම් කෙනෙක් විසින් සිදු කරන්නා වූ අල්ප මාත්‍ර දෙයක වුව විපාකය අචින්තයය. උන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදි කොට ඇති චෛත්‍යන් වහන්සේලාට, අපමණ පැහැදුණු සිතින් තිර පූජා, මල් පූජා සිදු කිරීම මෝකඩකමක්ද..!!
මහ පොළොවට දරන්නට බැරි ගුණ , අප හදවතින් දරාගෙන, උන් වහන්සේ මාගේ එකම සරණය යන අදහසින් , ඒ ධර්මය හදවතින් දකිමින්…ඒ මඟ යන්නෙකුට….එක් බුද්ධ පූජාවක්, එක් දාන වේලක් නොව….ජීවිත කාලයම නොව…සංසාරයම පුරා හම්බ කරගත් ධනය පූජා කරන්නට සිත් පහළ වීම පුදුමයක් නොවේ. ශ්‍රද්ධාව වූ කලී සිතේ කෙලෙස් දිය කරමින් සිත් පහදවනා මහා බලවත් කුසල් සිතිවිල්ලකි.
පෙර සසරේ දන් නොදුන් පවින් අන් අයගෙන් හිඟාකන තත්වයට පත් වූ කෙනෙකුටත්…,
තම ඇස් , හිස්, මස්, ලේ, ජීවීතය, අඹු දරුවන්, එක් වරක් දෙවරක් නොව , ලක්ෂ කෝටි වාරයක් දන් දෙමින්, අහසේ තරු පරයමින්, මහ සයුරේ ජලය පරයමින් දාන පාරමිතාව පිරූ බුදු පියාණන්ටත් දෙන දානයන් උපමාවකින්වත් සැසඳිය හැකිද… ඒවා තර්කයෙනුත් මෙහාය… මහා කරුණා නිධානයක් වූ බුදු පියාණන් කෙරෙහි දින දින පහදින කෙනා, තමන් තුළත් කරුණාව වඩවා ගනී. අසරණ මිනිසුන් කෙරෙහි ඔහු තුළ වැඩෙනා කරුණාව ආහාර වේලක් දීමෙන් නොනවති.. නමුත් විපාකය මහා අහසක් සමඟ , තිතක් මෙන් වත් සැසඳිය නොහැකි බව දනී..
ඔබ ධර්මය පුහුණු කරන්න.. සෑම මොහොතකම ධර්මයට අනුවම සිතන්න..
“අර ස්වාමින් වහන්සේ මෙහෙම කිව්වා”, “අර ධර්මධර කෙනා මෙහෙම කිව්ව” ලෙසින් නොව….තම හදවතින් විමසන්න..
ඔබට බුදු රජාණන් වහන්සේට බුද්ධ පූජාව තබන්නට සිත් නොවේ නම් එය නොකරන්න.. නමුත් කරන අය හා නොගැටෙන්න. ඔබට රුවන්වැලි මහා සෑයට තිර පූජා කරන්නට නොසිතේ නම් එය නොකර සිටින්න. නමුත් කරන අය හා නොගැටෙන්න.. සියල්ල හැර දා වනගතව, ශුෂ්ක විදර්ශනාවන්හි යෙදෙමින් බවුන් වඩන ස්වාමින් වහන්සේලා ඕනෑ තරම් සිටිති. උන් වහන්සේලා බොහෝ දුරට ආමිස පූජාවන් නොකරති. එසේ වූවද උන්වහන්සේලාගේ ශ්‍රද්ධාව, පැහැදීම නැතැයි අපට කිව හැකිද… එසේ හෙයින් ඔබේ ශ්‍රද්ධාවේ ප්‍රඥාවේ පමණට දැනෙන හැඟෙන පමණට හදවතට එකඟව දේවල් කරන්න. ඔබ කරන නොකරන දෙයම අනිත් අයද කළ යුතු නොවේ. කරන කෙනා උසස්ය, නොකරන කෙනා පහත්ය කියා මනින්නට නොහැක.
හදවතට දැනෙනවානම් මේ ධර්මයේ හරය එය අප්‍රමාදීව පිළිපඳින්න.. එය හැර අන් විකල්පයක් කිසිම සත්වයකුට නැත. සතර අපායේ පටන්, සුගතිගාමි සත්වයා දක්වා ධර්මයේ සරණ හැර අන් සරණක් නැත. එසේ හෙයින් අප්‍රමාදීව එය වඩන්න. නිවන් අවබෝධයට අප්‍රමාදීව අද අදම වෙහෙසෙන්න. තව ජීවිතයකට කල් නොදමන්න. දිව්‍ය ලෝකයේ ගොස් නිවන් දකින්නට සැලසුම් නොකරන්න. මේ සසර යනු එසේ අපේ සැලසුම් අනුව ක්‍රියා නොවන දෙයකි. ඊළඟ විනාඩියවත් අපිට සැලසුම් කරගෙන සිටින පරිදි සිත පවත්වන්නට නොහැකි ඔබ, ඊළඟ භවය මේ දිව්‍ය ලෝකයේ උපදිනවා , එහෙ ඉදන් නිවන් දකිනවා ලෙසින් සැලසුම් කිරීම මෝඩකමකි. දේවතානුස්සතිය වැඩිය යුතුය. නමුත් නිවැරදිවය. බුදූ රජාණන් වහන්සේ කෙදිනකවත්, මේ ජීවිතයේ නිවන් නොදැක ඊළඟ ජීවිතයේ දිව්‍ය ලෝකයේ ගොස් නිවන් දැකීම පිණිස දේවතානුස්සතිය වඩන්න යැයි කිවේ නැත..” අද අදම… මේ දැන් දැන්ම .” වීර්යය වඩන ලෙසයි උන් වහන්සේ දිරිමත් කරේ. නමුත් එසේ වීර්යය වඩාගෙන යන අතරමඟ අපට කිසියම් හෝ පාරමී මදි වී නිවන් අවබෝධ කොට ගත නොහැකි වූවොත් දුගතිගාමි නොවී සුගතිගාමි වීම පිණිස ඒ වඩන ලද සිත් උපකාරී වනු ඇත.
අප කළ යුත්තේ බුදු රජාණන් වහන්සේ දේශනා කළ දෙයයි.. කුසල් අකුසල් යන සියළු සංස්කාර නැසී යන බැවින් අප්‍රමාදීව නිවන් අවබෝධ කරගෙන මේ සංසාරයෙන් මිදී යන ලෙසට උන් වහන්සේ අපට අවවාද කළ සේක.
සසරේ යන අය සසරේ ගියාවේ..
පින් කරන අය පින් කළාවේ..
බුදු දහම විවේචනය කරන අය ඒවා කළාවේ..
වෙනස් කරන්නට බැරි අය වෙනස් කරන්නට යෑම මහා වෙහෙසකි..
බුදු රජාණන් වහන්සේටත් නින්දා කරමින් පොත් ලියන අය ඒවා ලියා වින්දනයක් ලැබුවාවේ…
මේ මහා අකුසල් ගංගාවන් මැද…
ඇස් ඇත්තේ නමුත් අන්ධයකු සේද ..
කන් ඇත්තේ නමුත් බිහිරකු සේද…
කතා කළ හැක්කේ නමුදු ගොළුවකු සේද…
හිඳිමින්…. ඉතිරිව ඇති ඉතාමත්ම ඉතාමත්ම කෙටි කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින්… තමාගේ හිත දමනය කොට නිවන් අවබෝධයට වීර්යය කළ යුතුය…
ඇස හැර බැලූ බැලූ තැනින් ගැටෙන්නට හේතු ඇත්තේ නම්… ඒවා දැක්කා නම් දැකපු තැනින්ම අත හැර… වහ වහා…හිස ගිනි ගත්තකු මෙන්….වීර්යය වඩන්න..
මේ සමාජය යන්නේ අවරටය…
සමාජය හදන්නට කලින් අප අපේ සිත හදා ගත යුතුය..
රැය දහවල ගෙවී යන්නේ අපටත් හොරාය..
ධර්මයේ අවසන් හෝරාව එළඹ ඇත…
නිවන් අවබෝධ කොට ගත්…දෙවිවරු… බ්‍රහ්මවරු…මේ මිනිස් ලෝකයේ පාරමී ඇත්තවුන් දෙස බලා.. අප්‍රමාදී වන ලෙසට හිතනවා නො අනුමානය…
මේ ශාසනය රැකෙන්නේ නිවන අවබෝධ කරගත්තවුන් සිටින තාක්ය..
ප්‍රතිවේධ, ප්‍රතිපත්ති, පර්යප්ති ලෙසින් තෙවදෑරුම් ශාසනයේ පළමු මළ බෙරය හැඩවෙන්නේ ප්‍රතිවේධ ශාසනයේ අතුරුදහන් වීමත් සමඟමය…. ධර්මය ප්‍රතිවේධ කොට ගත් අය මේ ලෝකයෙන් නැතිවී යත්ම..එදිනට මේ ශාසනයේ මුදුන් මූලය දෙදරා යයි..ඉන් පසු ප්‍රතිපත්ති පුරන්නන් ඉතිරිව සිටිනමුත් , නිවන් අවබෝධය කල නොහැක්කේය.. නමුත් ප්‍රතිපත්ති පූරණය කිරීමෙන්ම මේ ශාසනය රැකෙනු ඇත..
ප්‍රතිපත්ති ශාසනයද බිඳ වැටුණු පසු පර්යප්ති ශාසනය පමණක් පවතිනු ඇත.. එදිනට යළි නිවන් අවබෝධ කරගත්තවුන්ද, ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති පූරණය කරන්නන්ද දක්නට නොලැබෙනු ඇත.. වෙහෙර විහාර ,පොත් පත්, ආදී දේවල් පවතිනු ඇත.
ප්‍රතිවේධ ශාසනය බිඳ වැටුණු පසු මේ ශාසනයෙන් ලැබිය හැකි අග්‍ර වූ ම ඵලය නිම වෙනු ඇත. නිවන් අවබෝධයට කෙතරම් උත්සාහ කළඳ එය ප්‍රතිපත්තියෙන් නතර වනු ඇත. නමුත් ඒ ප්‍රතිපත්තිමය පූජාවන් මතු භවයක නිවන පිණිස උපනිෂ්‍රය වනු ඇත..
අප මේ ශාසනය රැකීම පිණිස තුන් ආකාරයකින් වෙහෙස විය යුතුය. ඉන් ප්‍රධානම දේ නම් වහ වහා ධර්මය අවබෝධ කොට ගෙන ප්‍රතිවේධ ශාසනය තව එක් දිනකින් හෝ ඉදිරියට රැක ගැනීමය.. එලෙසින්ම ශීලාදී ප්‍රතිපත්තීන් පූරණය කරමින් ප්‍රතිපත්ති ශාසනයද, වෙහෙර විහාර, ධර්ම ග්‍රන්ථ ආදීය සුරකිමින් පර්යප්ති ශාසනයද රකින්නට උර දෙමින්ය…
ධර්මයෙහි අගය, වටිනාකම දැනෙන්නේ එය පිළිපඳින තරමටය…
හිස් ප්‍රශ්න පසු පස නොයමින්, ඒවාට උත්තර බඳින්නට නොයමින්, හැකි තරම් ගැටෙන තැන්වලින්, ගැටෙන දෙයින් මිදී සිටීමින්, අප අපේ ගමන යා යුතුය.
උපේක්ෂා වීමම ඒකාන්ත සහනයකි.
මෙත් සිතින්, කරුණා හදවතින්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් ලොව දෙස බලන්නට පුරුදු විය හැකි නම් එකම තැනකවත් ගැටුමක් ඇති නොවේ..
අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ සංස්කාර ගොඩක ඇතිව පැවත නැතිව යෑමක් හැර……
හරයක් ලෙසින් ගත හැකි කිසිවක්ම….අංශුවක දෙයක්ම…. මේ විශ්වයේ කොතනකවත් නැත…
එසේ හෙයින්…
කුමට ගැටෙමුද…
කුමට ඇලෙමුද….
කුමට මෙහි රැඳෙමුද….
මිටින් හළ කුරුල්ලකු මෙන්… මේ කෙලෙස් රැහැනින් මිඳී….එතෙරට පියාසර කරනු හැර …යලි සටහනක්වත් නොතබා පියාසර කළ තැනක..
~~~අමා සුව ~~~