භික්ෂුව මේ කටු සටහන ලියන මොහොතේ වැඩ සිටින්නේ දුප්පත් ගොවි ගම්මානයක. ප‍්‍රධාන පාරේ සිට කිලෝමීටර හයක් පමණ ඈතින් මෙම ගම්මානය පිහිටා තිබෙන්නේ. ගම්මානයට පැමිණෙන බොරළු පාරේ දිනකට දෙවතාවක් පමණක් ගමට පැමිණෙන බස් රථයක් තිබෙනවා. සමහර දාට බස්රථය කැඩිලා, වැස්ස කාලයට පාර එරෙන නිසා බස් රථය ගමට එන්නේ නැහැ. එදාට පාසල් දරුවන් පවා හිමිදිරි උදේම පයින් තමයි පාසලට යන්නේ. වගා කරන බෝගත් කර තබා ගෙන මහ පාරට පොළට යනවා. මේ දවස් වල ගමේ හැමෝම කුඹුරු වැඩ. සමහරුන්ගේ කුඹුරු තිබෙන්නේ ගමෙන්, කිලෝමීටරයක් පමණ ඈතින් කැලය මැද. උදෙන්ම හීල් බත් අනුභව කරලා තවත් බත් මුලක් බැඳගෙන කන්දක් නැඟලා කුඹුරු වලට යනවා. එක එළවළුවකුයි බතුයි තමයි ප‍්‍රධාන ආහාරය. මේ අය දුකක් විඳින්නේ. නමුත් මේ අයට දුකක් පිළිබඳව තේරුමක් නැහැ. බුලත් විටක් හපලා සතුටීන් සිටින්නේ. තමන්ට තිබෙන දෙය ගෞරවයෙන් හොඳින් දන් දෙනවා.
දවසක් දානය පූජා කරපු මහත්මයෙක්ගෙන් භික්ෂුව විමසුවා ‘ මහත්තයෝ දානේ පූජා කරලා මහත්තයා කුමක්ද බලාපොරොත්තු වෙන්නේ ’ කියලා, ප‍්‍රාර්ථනා කරන්නේ කියලා මේ මහත්මයා බොහොම ආඩම්බරයෙන් ප‍්‍රකාශ කලා ලබන ජිවිතයේදී මේ ගමේම ඉපදෙන්නයි කියලා. ඒ වේලාවේ භික්ෂුව ඔහුට ප‍්‍රකාශ කලා මේසා දුෂ්කර ගම්මානයක රාත‍්‍රී කාලයට අලින් සමඟ ඔට්ටුවෙලා, පැල් රැුකලා, වැස්ස දවසට බස් එන්නේ නැති මෙහෙම දුකක් විඳලත්, ආයිත් මේ ගමේ මොකට උපදින්න ප‍්‍රාර්ථනා කරනවාද කියලා. ඒ වේලාවේ තමයි ඒ මහත්මයා හිතන්න ගන්නේ තමන් විඳින්නේ දුකක්ය කියලා. පංචඋපාදානස්කන්ධයට බැඳිලා, දුක කියන කාරණට තෘෂ්නාවේ, කුණු රෝඩු වලින් මැකීගොස් තිබෙන්නේ. කල්‍යාණමිත‍්‍ර ඇසුර නැති නිසාම නුවණින් මෙනෙහි කිරිම කියන කාරණය දන්නේ නැහැ. සැපය ගැන කියන සද්ධර්ම ශ‍්‍රවණය ඇසෙන්නේ නැහැ, නුවණින් මෙනෙහි කරන්න. තමන්ට සංස්කාරයන් නිසාම ලැබුණු ජිවිතයට බැඳිලයි සිටින්නේ. සුනේත්ත ශාස්තෘවරයා යම් සේද, කාමයේ, වේදනාවේ, ආශ්වාදයට තෘෂ්ණාවෙන් බැඳි සිටින්නේ, මේ ගමේ පිංවතාත් තමන්ට ලැබුණු දෙය කෙරෙහි ඒ ආකාරයෙන්මයි බැඳි සිටින්නේ. ඉහත අනතුර පිංවත් ඔබ නුවණින් දකිමින් රාත‍්‍රියට නින්දට යන්න. පිංවත් ඔබ ආරක්ෂාකොට ගත් ශීලය ආර්්‍යය ශිලයක් බවට මේ රාත‍්‍රීයේ පත් කර ගන්න.
ශිල්පද ආරක්‍ෂා කරගැනීම නිසාම පිංවත් ඔබට ලැබෙන ආනිශංස ධර්මයන් වන තමාගේ කීර්තිය පැතිරෙනවා. ඕනෑම සභාවකට චකිතයකින් තොරව යනවා. අප‍්‍රමාදී බව ඇතිවෙනවා. සිහිනුවණින් මිය යනවා. සුගතියේ උපදිනවා. කියන කරුණු කාරණාවල අනිත්‍යභාවය දකිමින් නින්දට යන්න. සුනේත්ත ශාස්තෘන්වරයාත් දිවිහිමියෙන් සිල්පද ආරක්ෂා කරගත්තා. ඒ තුලිනුයි මෛත‍්‍රී සමාධිය අර්ථවත් වුනේ. නමුත් ශීලය නිසා, මෛත‍්‍රීය නිසා ලැබෙන ආනිශංස ධර්ම වලට තෘෂ්නාවෙන් බැඳුණා. ඒ නිසාම ඔහු තුළ ආර්්‍යය සමාධියක් සකස් වුනේ නැහැ. ඔහු විමුක්තිය කොට අල්ලා ගත්තේ ආශ්වාදයේම අන්තයක්. උතුම් අවස්ථාවක් අපට මුණ ගැසෙන්නේ බොහෝම කලාතුරකින්, සුනේත්ත ශාස්තෘවරයාට නම් කල්ප සියයකින් වත් එවැනි උතුම් අවස්ථාවක් මුණගැසිලා තිබෙනවා. ශීලයත් ආර්්‍යය ශීලයත් අතර වෙනස හඳුනා ගන්න. සමාධියත් ආර්්‍යය සමාධියත් අතර වෙනස හඳුනා ගන්න. ඒ උතුම් අවස්ථාවට ආශ්වාදයේ කෙටි සැපයට බැඳිලා අතපසු කොට ගන්න එපා. අතීතයේ මෙවැනි අවස්ථාවන් අහිමි කොටගත් හුඟදෙනෙක් සිටියා. ඉන් එක්කෙනෙක් තමයි සුනක්ඛත්ත හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයා වශයෙන් කෙටි කලක් සිටියත් ඒ උතුම් අවස්ථාව අහිමිකොට ගත්ත. සම්මා දිට්ඨියෙන් තොරව සම්මා විමුක්තියක් සොයන මනුෂ්‍යයෝ අවසානයේ අයිති කොට ගන්නේ මිත්‍යා විමුක්තියයි. එම නිසා ගොඩාක් දේවල් පිංවතුන්ලාට සමාජය තුලින් ඇසෙන්න පුළුවන්. නමුත් වඩාත්ම නිවැරදි තැන නැවතීමට පිංවතුන්ලා දක්ෂ විය යුතුයි. වඩාත් නිවැරදිම තැන උතුම් ශ‍්‍රී සද්ධර්මයයි.
මතු සම්බන්ධයි!
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!