යෝනිසෝ මනසිකාරය.

කෙළවරක් නොපෙනෙන සසර පුරා අප පුරුදු පුහුණු කරමින් පැමිණියේ කෙලෙස් වලට යටවෙමින් තව තවත් සසර දිගු කර ගැනීමට කටයුතු කිරීමය. අවිද්‍යාව මෝහය මුල් බැස ගෙන ඇති සත්වයාගේ සිත් තුල මේ ලෝකයේ යථා ස්වභාවය පිලිබඳ අවබෝධයක් තිබුනේ නැත. මේ ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දැකීමට තරම් හැකියාවක් ඔවුනට නැත. වැඩිපුරම දුගති වල සැරිසරමින්, ඉඳහිට සුගතියකට යමින් ගමන් කරන මේ සසර තනිකරම මහා දුකක් බව ඔවුනට අවබෝධයක් නැත. ඉන් මිදීමට අවශ්‍යතාවයක්, මගක් සෙවීමට අවශ්‍ය නැත. සිතේ පවතින මෝහය එතරම් ප්‍රබලය. කාම ලෝකයට ආසා කරමින් රාගයට, ද්වේශයට, යට වෙමින් සිත තුල ඇති තණ්හාවට යට වෙමින් කටයුතු කරන මෙම සත්වයනට ඒවායේ විපාක පිලිබඳ හැගීමක් නැත. පවට බියක් නොමැත. පින් පව් විශ්වාසයක් නොමැත. සසරේ සත්වයා විඳින දුක දන්නේ නැත. ඇස් අන්ධ පුද්ගලයකුට වඩා අන්ධ වන මේ සත්වයා කෙරෙහි පතල කරුණාවෙන්ම බුදුවරු ලෝකයේ පහල වේ. සසරේ ඇති බියත්, ඉන් මිදිය යුතු බවත්, සසරින් මිදීමට මගක් ඇති බවත් උන්වහන්සේලා දේශනා කරති. ඒ මග වැඩීම සඳහා සිත පුරුදු කිරීමට කියා දෙති. ධර්මයේ යෝනිසෝ මනසිකාරය ලෙසින් හැඳින්වෙන්නේ මෙලෙසින් සිත සසරින් මිදීම පිණිස වදන විදියයි.

කෙලෙස් ගිනි හට ගන්නේ සිතේය. අපව සසර පුරා ඇදගෙන යන්නේ මෙලෙසින් සිත තුල ඇතිවන සිතිවිලි මගිනි.ක්‍රියාවක් කලද, වචනයෙන් යමක් කීවද, ඒ සියල්ලට මූලය සකස් වුයේ සිතිනි. නිවන අරමුණු කරගෙන කරන යමක් හැර අන් සියලු ක්‍රියා වලින් සිදු වන්නේ සසර දිගු වීමය. කුසල් පවා නිවන අරමුණු කරගෙන නොකරන්නේ නම් ඉන් සිදුවන්නේ සසර දිගු වීමය. මෙලෙසින් නොනවතින චක්‍රයක් ලෙසින් භවයෙන් භවය සකස් කර දෙමින් අපව සසරේ ඇද ගෙන යන්නේ මෙසේ සිත තුලි ඇති වන සිතිවිලිය. කෙනෙකු සදහටම මෙම සිතිවිලි හට ගැනීම නිවා දැමුයේ නම් ඔහු සසර කෙලවර කල කෙනෙකි. නිවන යනු නිවීමය. නිවා දමන්නේ අන් කිසිවක් නොව අපගේ සිතමය, සිත තුල හටගන්නා සිතිවිලිය. එලෙස නිවී යාමට නම් ක්‍රමක්‍රමයෙන් සිත ඒ සඳහා පුරුදු කල යුතුය.

සසරේ කෙලෙස් වලට යට වෙමින් පැමිණි අපට සිත එකවර නිවා දැමිය නොහැක. සසරින් මිදිය යුතු බව අවබෝධ කරගෙන ඒ සඳහා උත්සුකව කටයුතු කල යුතුය. වීර්යය කල යුතුය. උපන් අකුසල් ප්‍රහානයක් කරමින්, නුපන් අකුසල් නුපවදමින්, නුපන් කුසල් උපදවමින්, උපන් කුසල් වඩවමින් මෙම ගමන සංයමයකින් යා යුතුය. ඒ සඳහා බොහෝ උත්සාහ කල යුතුය. තමන් ආරක්ෂා කර ගත යුතු එකම දෙයක් ඇති නම් ඒ මෙම සිතය. තම නිවසට සොර සතුරන්ට ඒමට නොහැකි ලෙස වැට කඩොලු බඳින්නා සේ මේ සිතටද වැට කඩොලු බැඳිය යුතුය. සතියෙන් යුතුව හැකි තරම් කෙලෙස් වලට ඉපදීමට නොදී, එවැනි යම් සිතිවිල්ලක් ඇති වුවහොත් එහි ආදීනව සිහි කර එම සිතිවිලි වලට යට නොවී කටයුතු කිරීමට් උත්සුක විය යුතුය.

කාලයක් ක්‍රමක්‍රමයෙන් මේ ක්‍රියාව සිදු කරන විට සිත එයට හුරුවේ. සිතේ ස්වභාවය නම් යමක් පුරුදු පුහුණු කිරීමට ඇති හැකියාවයි. මෙලෙසින් නිවන් මගට අවශ්‍ය කරුණු සිතට අවබෝධ කර දී ඒවා දිගින් දිගට වැඩිය යුතුය. එවිට පෙර මෙන් සිත තුල කෙලෙස් සිතිවිලි ඇති වීම අඩුවී යනු ඇත. එලෙසම සිතට ක්‍රමයෙන් ලෝකයේ යථා ස්වභාවය මතු කර දිය යුතුය. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම ස්වභාවය, අසාර බව, විපරිනාමය, වැය වී යන ස්වභාවයන් කියා දිය යුතුය. මේ සියල්ල තුලින් අප සිදු කරන්නේ සසරේ මේ තාක් හොඳයි හොඳයි ලෙසින් දැඩි ලෙස තමාවත්, ලෝකයත් ග්‍රහණය කරගෙන සිටි සිත අතහැරීම දෙසට යොමු කිරීමය. යමක් අපට අතහැරෙන්නේ එහි යතා ස්වභාවය අවබෝධ වී සිතින් එයට දී තිබු වටිනාකම ගිලිහී විටය.. එම නිසා එම තැනට සිත පත් වන තුරු මේ කරුණු අවබෝධ කරමින්, නිරන්තනයෙන් සිහි කරමින්, සතියෙන් යුතුව ධර්ම මාර්ගයේ ගමන් කල යුතුය.

මෙලෙස පුරුදු පුහුණු කරන සිත නිවන් මග සම්පුර්ණ කිරීමට අවශ්‍ය ඉතිරි කරුණු වලටද යොමු කල යුතුය. එනම් ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව යන කරුණුය. මෙම අංගයන් ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම ලෙස වැඩීමකින් තොරව නිවන අවබෝධ කල නොහැක. සෝවාන් මාර්ගයේ සිට, රහත් වීම දක්වාම, මෙම කරුණු සම ලෙසින් ඒ ඒ මාර්ගයට අවශ්‍ය පරිදි වැඩී තිබිය යුතුය. ඒ සඳහා සුදුසු කමටහන් ලබා ගනිමින්, විදර්ශනා භාවනාව අනිවාර්යයෙන් වැඩිය යුතුය.

නිවැරදි ධර්මය යටවෙමින්, නිවන් යන මග සැඟවෙමින් යන මේ කාලයේ සැබෑ ධර්මය සොයාගෙන සැබෑ නිවන සොයා ගැනීමට සියලු දෙනා උත්සුක විය යුතුය. ඒ නිවැරදි මග ඔබ සියලු දෙනාට විවෘත වේවා!!!

තෙරුවන් සරණයි!!!