( අතිශයින්ම නිර්මල දහම් මග ගවේශනය කරන ප්‍රඥාවන්තයින් සඳහා මිස දැනුම මිනුම සඳහා හෝ විවාද තරඟයක් සඳහා නොවන බව කරුණාවෙන් සළකන්න.)
වර්තමානය තුළ ධර්මය පිළිබඳ බොහෝ විපරීත දෘෂ්ටි ඇතව තිබෙනු සුලබව දැකිය හැකිය. කොතරම් දෘෂ්ටිගතිකද යත් අපටද අධර්මවාදයෙන් වාද කරති. කෙසේවුවත් බුද්ධ වචනය තුළින් නිවන් මග ගවේශනය කරන සැදැහැවතුන්ගේ ප්‍රඥාව වෙනුවෙන් තව දුරටත් මෙසේ බුද්ධ වචනය ගෙනහැර දක්වමි.
”මම” ඉන්නවනම් දහම දකින්න බෑ. ඉන්නේම සක්කාය දිට්ඨීයේ බවත් ”මම” හමුනොවන ලෙස දහම දැකිය යුතු බවත් වර්තමානය තුළ දක්නට ලැබෙන වරදවාගත් දෘෂ්ඨීන්ය. ඒවා අතර
”මම” ඉඳලා මොනවා කළත් වැඩක් නෑ.
දහම දකින්නේ ”මම” නම් අමු පෘථජ්ජනයෙක්.
”මට” ධර්මය තෙරෙනව නම් මුලාව.
නිරීක්ෂකයෙක් ඉන්නව නම් පේන ඇසෙන දේ නිරීක්ෂකයට සාපේක්ෂයි.
‘මම” ඉඳගෙන ”මම” නිවන් දක්වන්න හදන්නේ නම් අමු පෘජ්ජනයෙකි.
ආදී ළාමක දෘෂ්ටි, අදහස් බිහිව තිබෙ. නමුත් අවාසනාවකට සක්කාය දිට්ඨියත් අස්මිමානයත් පටලවා ගැනීම මෙයට මූලික හේතූවයි.
ඛේමක තෙරුන් වහන්සේ වූ කලි අනාගාමීවු උත්තමයෙකි. උන්වහන්සේටද සියුම් ලෙස ”මම” ලෙස හැගීමක් ඇතිවන බව සංයුත්ත නිකායේ ඛේමක සූත්‍රය තුළ ඉදිරිපත්වේ. මෙය සත්‍ය වචනයක් සේ පිළිගන්නේ නම් අනාගාමී උත්තමයන් තුළ පවා සියුම්ව “මම” පවතින බව පැහැදිලිය. එසේනම් පෘථජ්ජන කෙනෙකු පිළිබඳ කතාකළ යුතු තවත් යමක් ඇත්ද? සෝවාන් සනෘදාගාමි අනාගමි උත්තමයන් තුළ පවා “මම” සපුරා නැතිවී නැති කල්හි, පෘථජ්ජන මට්ටමේ කෙනෙකුට “මම” නැතිකළ හැකිද?
(“මම” ඉඳගෙන දහම දකිනව නම් මුලාවේ) වැනි ලාමක දෘෂ්ටීන් හරහා ශ්‍රාවකයා හුරු කරන්නේ
“‘මම” කියල කෙනෙක් නෑ කියල දකින්න. නමුත් අවාසනාවකට එය දෘෂ්ඨියක්. ඉන් ශ්‍රාවකයා නිවන් මගින් බැහැර කිරීමක් කරන අතරම බුද්ධ වචනයද ඉක්මවා යාමකි.
සැබෑ දහම් මග විවෘත මනසිකින් යුුතුව ගවේශනය කරන ඔබ වෙනුවෙන් මෙම සූත්‍රය ඉදිරිපත් කරන්නේ මුලාවෙන් මිදෙනු පිණසය. දේශකයන්ගේ වචන හරඹයන් තුළ මුලා නොවනු පිණසය. සැබෑ බුද්ධ වචනය තුළ රඳවනු පිණිසය.
“ඇවැත් ඛෙමක, මේ යමක් මම වෙමියි කියන්නෙහි නම් ඒ කුමක් මම වෙමියි කියන්නෙහිද?
“රූපය මම වෙමියි කියන්නෙහිද? රූපය හැර අනිකක් මම වෙමියි කියන්නෙහිද? වේදනාව මමවෙමියි කියන්නෙහිද? වේදනාව හැර අනිකක් මම වෙමියි කියන්නෙහිද? සංඥාව මම වෙමියි කියන්නෙහිද? සංඥාව හැර අනිකක් මම වෙමියි කියන්නෙහිද? සංස්කාරයන් මම වෙමියි කියන්නෙහිද? සංස්කාරයන් හැර අනිකක් මම වෙමියි කියන්නෙහිද? විඤ්ඤාණය මම වෙමියි කියන්නෙහිද? විඤ්ඤාණය හැර අනිකක් මම වෙමියි කියන්නෙහිද? ඇවැත් ඛෙමක, මේ යමක් මම වෙමියි කියන්නෙහිද? මේ කුමක් මම වෙමියි කියන්නෙහිද?” කියායි.
෴ඇවැත්නි, මම රූපය මම වෙමියි නොකියමි. රූපය හැර අනිකක් මම වෙමියි නොකියමි. ෴
෴වේදනාව මම වෙමියි නොකියමි. වේදනාව හැර අනිකක් මම වෙමියි නොකියමි.෴
෴෴ සංඥාව මම වෙමියි නොකියමි. සංඥාව හැර අනිකක් මම වෙමියි නොකියමි.෴෴
෴සංස්කාර මම වෙමි නොකියමි සංස්කාර හැර අනිකක් මම වෙමියි නොකිය
මි. ෴
෴විඤ්ඤාණය මම වෙමියි නොකියමි. විඤ්ඤාණය හැර අනිකක් මම වෙමියි නොකියමි. ෴
මා විසින් පඤ්චොපාදානස්කන්ධයන්හි මම වෙමියි ගැනීම දැනගන්නා ලදී. මේ දෙය මම වෙමියි නොදක්නෙමියි” (කීයේය.)
“ඇවැත්නි, යම්සේ වනාහි උපුල් මලක හෝ රත් පියුම් මලක හෝ හෙළපියුම් මලක හෝ යම් සුවඳක් වන්නේද, යමෙක් වනාහි එය පත්‍රයාගේ සුවඳයයි හෝ වර්ණයාගේ සුවඳයයි හෝ රේණුවල සුවඳයයි හෝ මෙසේ කියන්නේද, (එසේ) කියන්නාවූ හෙතෙම මනාව කියන්නේද?” – “ඇවැත්නි, ඒ මනාව කීමක් නොවේ.
“ඇවැත්නි, මනාකොට ප්‍රකාශ කරන්නෙක් ඒ කෙසේ කියන්නේද?- “ඇවැත්නි, මනාකොට ප්‍රකාශ කරන්නෙක් මලේ සුවඳයයිම කියන්නේය.”
෴෴෴ඇවැත්නි, එපරිද්දෙන්ම රූපය මම වෙමියි නොකියමි. රූපය හැර අනිකක් මම වෙමියි නොකියමි.
වේදනාව මම වෙමියි නොකියමි. වේදනාව හැර අනිකක් මම වෙමියි නොකියමි.
සංඥාව මම වෙමියි නොකියමි. සංඥාව හැර අනිකක් මම වෙමියි නොකියමි.
සංස්කාර මම වෙමියි නොකියමි. සංස්කාර හැර අනිකක් මම වෙමියි නොකියමි.
විඤ්ඤාණය මම වෙමියි නොකියමි. විඤ්ඤාණය හැර අනිකක් මම වෙමියි නොකියමි.෴෴෴
එහෙත් මා විසින් පඤ්චොපාදානස්කන්ධයන්හි මම වෙමියි ගැනීම දැන ගන්නා ලදී. මෙනම් දෙය මම වෙමියි නොදකිමි.
෴෴෴ඇවැත්නි, හුදෙක් ආර්ය ශ්‍රාවකයාහට ඔරංභාගීය සංයොජන පස ප්‍රහීණවූවාහු වෙති. එසේද වුවත් ඔහුගේ පඤ්චොපාදානස්කන්ධයන්හි සියුම්වූ මම වෙමි යන මානයද මම වෙමි යන ආලයද මම වෙමි යන අනුසයද නොනැසුණේ වෙයි.෴෴෴
“හෙතෙම පසු කාලයෙහි රූපය මේය, රූපයගේ හේතුව මේය, රූපයගේ නැවැත්ම මේය, වේදනාව මේය, වේදනාවගේ හේතුව මේය, වේදනාවගේ නැවැත්ම මේය, සංඥාව මේය, සංඥාවගේ හේතුව මේය, සංඥාවගේ නැවැත්ම මේය, සංස්කාරයෝ මේය, සංස්කාරයන්ගේ හේතුව මේය, සංස්කාරයන් හෝ නැවැත්ම මේය, විඤ්ඤාණය මේය, විඤ්ඤාණයාගේ හේතුව මේය, විඤ්ඤාණය නැවැත්ම මේයයි පඤ්චොපාදානස්කන්ධයන්හි ඉපදීම හා විනාසය බලමින් වාසය කරයි.
මේ පඤ්චොපාදානස්කන්ධයන්හි ඉපදීම හා විනාශය බලමින් වසන්නාවූ ඔහුගේ පඤ්චොපාදානස්කන්ධයන්හි නොනැසුණු යම් සියුම්වූ මම වෙමි යන මානයෙන් වේද, මම වෙමි යන ආලයෙක් වේද, මම වෙමි යන අනුසයෙක් වේද, ඔහුගේ ඒ ක්ලෙශයද සහමුලින් නැතිවීමට යෙයි.
ඇවැත්නි, යම්සේ වනාහි කිලිටිවූ කුණු බැඳුණු වස්ත්‍රයක්වේද, ඒ වස්ත්‍රය හිමියෝ දන්නාහුය. රෙදි සෝදන්නාහට ඔහු ඒ වස්ත්‍රය අලු මැටි ගොම යනාදියකින් තෙමා මැඩ පිරිසිදු ජලයෙහි දමා සෝදයි. එයින් ඒ වස්ත්‍රය පිරිසිදු වුවද එසේ ඒ වස්ත්‍රයාගේ නොනැසුණාවූ සියුම්වූ අලු ගඳ හෝ කර මැටි ගඳ හෝ ගොමගඳ හෝ ඇත්තේය. ඒ වස්ත්‍රය රෙදි සෝදන්නා හිමියන්ට දෙයි. හිමියෝ වස්ත්‍රය සුවඳ කැවූ කරඬුවෙහි දමන්නාහුය. ඒ වස්ත්‍රයාගේ සියුම්වූ යම් අලු ගඳක් හෝ කර මැටි ගඳක් හෝ ගොම ගඳක් හෝ නොනැසුණේද ඒ සියුම්වූ ගඳද එයින් සහමුලින් නැසීමට යෙයි.
ඇවැත්නි, එපරිද්දෙන්ම ආර්යශ්‍රාවකයාගේ ඔරම්භාගිය සංයොජන පස නැතිවූයේ වී නමුත් පඤ්චොපාදානස්කන්ධයන්හි සියුම්වූ මම වෙමි යන මානයද මම වෙමි යන ආලයද, මම වෙමි යන අනුසයද සහමුලින් නොනැසුනේ වෙයි.
෴෴෴෴හෙතෙම පසු කාලයෙහි “රූපය මේය, රූපයගේ හේතුව මේය, රූපයගේ විනාශය මේය, වේදනාව මේය වේදනාවගේ හේතුව මේය, වේදනාවගේ විනාශය මේය, සංඥාව මේය, සංඥාවගේ හේතුව මේය, සංඥාවගේ විනාශය මේය, සංස්කාරයෝ මේය, සංස්කාරයන්ගේ හේතුව මේය, සංස්කාරයන්ගේ විනාශය මේය, විඤ්ඤාණය මේය, විඤ්ඤාණයාගේ හේතුව මේය, විඤ්ඤාණයාගේ විනාශය මේයයි” පඤ්චොපාදානස්කන්ධයන්හි ඉපදීම හා විනාශය නැවත නැවත බලමින් වාසය කෙරෙයි. මේ
පඤ්චොපාදානස්කන්ධයන්හි ඉපදීම හා විනාශය නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ පඤ්චොපාදානස්කන්ධය නොනසන ලද්දාවූ ඉතා සියුම්වූ මම වෙමි යන යම් මානයෙක් වේද, මම වෙමි යන යම් ඡන්දයෙක් වේද, මම වෙමි යන යම් අනුසයයෙක් වේද, ඒ ක්ලෙශයද නැසීමට යෙයි” (කීයේය.)෴෴෴෴
මෙසේ කී කල්හි ස්ථවිර භික්ෂූහු ආයුෂ්මත් ඛෙමක භික්ෂුවට මෙය කීහ. “අපි වනාහි ආයුෂ්මත් ඛෙමකයන් වෙහෙසනු කැමැත්තෙන් නො ඇසුවෙමු. එහෙත් ආයුෂ්මත් ඛෙමකතෙම ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනය විස්තර වශයෙන් කියන්නට ප්‍රකාශ කරන්නට දන්වන්නට පෙන්වන්නට විවෘත කරන්නට මනාව බෙදන්නට ප්‍රකට කරන්නට සමර්ථවේ. ආයුෂ්මත් ඛෙමකයන් විසින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඒ මේ ශාසනය කියන ලද්දේය, ප්‍රකාශ කරන ලද්දේය, පෙන්වන ලද්දේය, පිහිටුවන ලද්දේය, විවෘත කරන ලද්දේය. මනාව බෙදන ලද්දේය, ප්‍රකට කරන ලද්දේය.”
මේ සූත්‍රය ආයුෂ්මත් ඛෙමක භික්ෂුතෙම කීයේය. සතුටු සිතැති ස්ථවිර භික්ෂූහු ආයුෂ්මත් ඛෙමක භික්ෂුවගේ වචනයට සතුටුවූහ.
මේ සූත්‍රය කියන කල්හි සැටක් පමණ ස්ථවිර භික්ෂූන්ගේද, ආයුෂ්මත් ඛෙමක භික්ෂුවගේද සිත් උපාදානයන් විසින් අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙන් මිදුණහුය.
සංයුත්ත නිකාය ඛේමක සූත්‍රය
(යම් හෙයකින් ඔබේ දෘෂ්ඨීයට හෝ දැනුමට මෙම සටහන නොගැලපේ නම් කරුණාකර නොගැටී තමන් දන්න දහම අනුගමනය කරත්වා)