එක් දිනක් දසබලධාරී බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවක දෙනම ප්‍රධාන පන්සියයක් පමණ මහරහතුන් පිරිවරාගෙන තව්තිසා දෙව්ලොවට වැඩම කරන සේක්, මහාමේරු පර්වතය මුදුනෙහි නන්දෝපනන්ද නාග රජුගේ නාග විමානයට ඉහළින් වැඩි සේක .
මෙය දුටු නා රජු,,,
“මේ මුඩු මහණුන් කිසිම බියක් සැකක් නැතිව මාගේ විමානයට උඩින් ගමන් ගන්නා සැටියක මහතක්. මොවුන්ට මගේ තරම පෙන්වමි.සියලු දෙනාම සුණු විසුණු කොට අළු ගොඩක් කොට දමමි” යි
සිතා මහ කළු නයි වෙසක් මවාගෙන මහමෙර තම දරණින් සත්වරක් වෙළා ඒ මත්තෙහි පෙනය තබාගෙන තව්තිසා දෙව්ලොවත් යටිකුරු කොට පෙණයෙන් වසාගෙන සිටියේය .
🐍
එකල්හි මහත් ශ්‍රද්ධාවෙන් පැවිදි වූ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබාගත් රට්ඨපාල මහරහතන්වහන්සේ
“අද මෙහි වෙනසක් පෙනෙන්නට තිබේ ය”
සිතා, භාග්‍යවතුන්වහන්සේ වෙත එළැඹ
“ස්වාමීනී, භාග්‍යවතුන්වහන්ස, වෙනදාට මේ සීමාවේදී බොහොම හොඳින් මහමෙර පෙනෙයි. මහමෙරේ බඳත් පෙනෙයි. තව්තිසා දිව්‍ය භවනත් පෙනෙයි. එපමණක් නොවෙයි . සක්දෙව් රජුගේ මහානුභාව සම්පන්න විජයොත්පහයත් හොඳින් පෙනෙයි .
ස්වාමීනී, වෙනදාට එසේ වුවත් අදනම් මේ සීමාවේදී මහමෙර පෙනෙන්නේ නැහැ . මහමෙරේ බඳ පෙනෙන්නෙත් නැහැ .තව්තිසා දෙව්ලොව පෙනෙන්නෙත් නැහැ .විජයොත්පහය පෙනෙන්නෙත් නැහැ .
ස්වාමීනී, අද ඒ කිසිවක් නොපෙනෙන්නේ කුමක් නිසාද?” යි ඇසූ සේක.
” රට්ඨපාලයෙනි, අපගේ ගමන් මග ගැන නන්දෝපනන්ද නාග රාජයා නොසතුටු වී අතිශයින්ම කිපී මහ කළු නයි වෙසක් මවාගෙන මහාමේරුව වටා දරණ ගසා ඒ මත්තෙහි පෙණය තබා තව්තිසාවත් යටිකුරු කොට සියල්ල වැසෙන සේ පෙණය තබාගෙන සිටියි.
රට්ඨපාලයෙනි , නන්දෝපනන්දයා එසේ සිටිනා විට මහමෙර පෙනෙන්නේ කෙසේද ? මහමෙරේ බඳ පෙනෙන්නේ කෙසේද ? තව්තිසා දෙව්ලොව පෙනෙන්නේ කෙසේද ? ශක්‍ර දේවේන්ද්‍රයාගේ විජයොත්පහය පෙනෙන්නේ කෙසේද ?”
යි භාග්‍යවතුන්වහන්සේ අසා වදාළ සේක. එකල්හි රට්ඨපාල තෙරණුවෝ ඇඳිලි බැඳ ගෙන
” ස්වාමීනී, භාග්‍යවතුන්වහන්ස , එසේ නම් මම ඔය නා රජුගේ තේජස බිඳ දමමි. තේජස බිඳ දමා ඔහුව දමනය කරමි. ස්වාමීනී, ඒ සඳහා මට අවසර දෙන සේක්වා !”
යි කීහ.
” රට්ඨපාලයෙනි , එයින් පලක් නොවෙයි, අවසර නොදෙමි. නා රජු දමනය කිරීම ඔබට රුචි නොවේවා !”
යි භාග්‍යවතුන්වහන්සේ වදාළ සේක .
එකල්හි,
උසස් කුලයෙන් පැමිණ පැවිදි බව ලැබූ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබාගත් කාළිගෝධා පුත්‍ර භද්දිය මහරහතන්වහන්සේ ද භාග්‍යවතුන්වහන්සේ වෙත එළැඹ ඇඳිලි බැඳගෙන ,
” ස්වාමීනී, භාග්‍යවතුන්වහන්ස, අවසර දෙන සේක්වා !. මම ඔය නා රජුගේ තේජස බිඳ දමමි. බිඳ දමා ඔහු දමනය කරමි ”
යි කී සේක.
” භද්දියෙනි, එයින් පලක් නොවෙයි. අවසර නොදෙමි . නා රජු දමනය කිරීම ඔබටත් රුචි නොවේවා !.”
යි භාග්‍යවතුන්වහන්සේ වදාළ සේක .
එකල්හි ,
ශික්ෂාකාමි භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබාගත් ජිනපුත්‍ර රාහුල මහරහතන්වහන්සේ ද භාග්‍යවතුන්වහන්සේ වෙත එළැඹ ඇඳිලි බැඳගෙන
” ස්වාමීනී, භාග්‍යවතුන්වහන්ස, එසේනම් මට අවසර දෙන සේක්වා !. මම ඔය නා රජුගේ තේජස බිඳ දමමි. තේජස බිඳ දමා ඔහුව දමනය කරමි ”
යි කී සේක.
” රාහුලයෙනි, එයින් පලක් නැත. අවසර නොදෙමි . නා රජු දමනය කිරීම ඔබටත් රුචි නොවේවා ! ”
යි භාග්‍යවතුන්වහන්සේ වදාළ සේක .
ඉක්බිති , අනෙකුත් මහේශාක්‍ය මහරහතුන් ද වෙන වෙනම භාග්‍යවතුන්වහන්සේ වෙත එළැඹ නාග රාජයා දමනය කිරීමට අවසර ඉල්ලා සිටියහ. භාග්‍යවතුන්වහන්සේ ඒ කිසි නමකට අවසර නුදුන් සේක .
☘️
අවසානයේදී ,
තථාගත වාම ශ්‍රාවක මහා ඍද්ධිමත් , මහානුභාව සම්පන්න මහ මුගලන් මහරහතන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේ වෙත එළැඹ ඇඳිලි බැඳගෙන
” ස්වාමිනි, භාග්‍යවතුන්වහන්ස, ඔය නාග රාජයාගේ තේජස බිඳ දමා ඔහුව දමනය කිරීම මට මහ බරක් නොවෙයි. එය බොහොම සුළු දෙයකි.
#ස්වාමීනී_අවසර_දෙන_සේක්වා_! #මම_ඔය_නන්දෝපනන්ද_නා_රජුගේ_තේජස_බිඳ_දමමි_බිඳ_දමා_ඔහුව_දමනය_කරමි ”
යි කී සේක.
භාග්‍යවතුන්වහන්සේ ද මහ මුගලන් තෙරුන්ගේ තරම හොඳාකාරවම දන්නා බැවින්
” #මුගලන් , #අවසර_දෙමි___ගොසින්_ඔහුගේ_තේජස_බිඳ_දමා_ඔහුව_දමනය_කරන්න.” යි වදාළ සේක .
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඉක්බිති ,
මහ මුගලන් තෙරණුවෝ නන්දෝපනන්ද නා රජුට ත් වඩා ප්‍රමාණයෙන් විශාල මහා කළු නයි වෙසක් මවාගෙන,
පෙණය නා රජුගේ පෙණය මත්තෙහි තබා ඔහු මහමෙරට තද කොට, වඩ වඩාත් තද කොට සිටියහ .
මෙයින් මහත් සේ කෝපයට පත් නා රජු “මේ මොකෙක්දෝ “යි සිතා,
“මොකෙක් වුවත් මට කම් නැත. මගේ තරම පෙන්වමි.” යි යන අදහසින් දුම් පිටකරන්නට පටන් ගත්තේ ය.
එවිට , මහ මුගලන් තෙරණුවෝ ඒ දුමට වැඩියෙන් ඇඟෙන් දුම් පිට කළහ. නාගරාජයාගේ දුමෙන් මහ තෙරුන් වහන්සේට අංශු මාත්‍රයක හෝ පීඩාවක් සිදු නොවීය. එහෙත්, මහ තෙරුන් වහන්සේගේ දුමෙන් නා රජු දැඩිසේ පීඩාවට පත් විය..
🌪️
පීඩාවට පත් නා රජු,
“මොහු මා සිතූ තරම් පහසු නැතැ” යි සිතා එතැනින් නොනැවතී ඇඟෙන් ගිනි ජාලා පිට කරන්නට පටන් ගත්තේය. මහ මුගලන් තෙරණුවෝ එයටත් වඩා තදින් ඇඟෙන් ගිනිජාලා පිට කළහ.
නාග රාජයාගේ ගින්නෙන් මහ තෙරුන් වහන්සේට කිසිඳු පීඩාවක් නොවීය. එහෙත් මහ තෙරුන් වහන්සේගේ ගින්නෙන් නා රජු දැඩි සේ පීඩාවට පත් විය.
පීඩාව දරාගත නොහැකි වූ නා රජු
“මේ නම් මහා ම මහා අමාරුකාරයෙකි. රවටා ගෙණ මිස අන් මගකින් නම් බේරිය නොහැක. මොහු රැවටිය යුතුය” යි සිතා
” අහා ! පින්වත, ඔබ කවරෙක් ද? ඔබේ නම කුමක් දැ?”යි ඇසීය.
මහ තෙරණුවෝ නාග රාජයාගේ තරම දන්නා බැවින්ම
“#නන්දයෙනි__මම_මහ_මුගලන්_වෙමි__මගේ_නම_මහ_මුගලන්_ය.” යි උස් හඬින් කීහ.
“හොඳයි. ඔබ මහ මුගලන් නම් , දැන් ඒ භික්ෂු වේශයෙන් පෙනී සිටින්නැ” යි නා රජු කීහ.
ඉක්බිති , මහ මුගලන් තෙරුන් වහන්සේ මහ කළු නයි වෙස අතහැර පියවි වෙසින් පෙනී සිට කිසිවකුත් නොපවසා,
▪️නා රජු ගේ දකුණු කනින් ඇතුළු වී වම් කනින් නික්මුණු සේක.
▪️වම් කනින් ඇතුළු වී දකුණු කනින් නික්මුණු සේක.
▪️දකුණු නාසා සිදුරෙන් ඇතුළු වී වම් නාසා සිදුරෙන් නික්මුණු සේක.
▪️වම් නාසා සිදුරෙන් ඇතුළු වී දකුණු නාසා සිදුරෙන් නික්මුණු සේක.
ඒත් සමඟම නා රජු තම දැවැන්ත මුව එකවරම විවර කළේ ය.
එවිට මහ මුගලන් තෙරණුවෝ ” මොහු මගේ කටයුත්ත තවත් පහසු කළේ ය”යි සිතා නා රජුගේ මුවෙන් කුස තුළට පිවිස කුස තුළ සක්මන් කරන්නට පටන් ගත් හ..
එකල්හි, භාග්‍යවතුන්වහන්සේ
“මුගලන්, බලාගෙනයි. ඔය නාගයා මහානුභාව සම්පන්නයි. ඔහු කෙරෙහි විශ්වාසය තැබිය නොහැක. ප්‍රවේසම් වන්නැ” යි වදාළ සේක.
“ස්වාමීනී, භාග්‍යවතුන්වහන්සේ . මා විසින්
▪️ඡන්ද
▪️චිත්ත
▪️විරිය
▪️විමංසා
යන සතර ඍද්ධිපාද වඩන ලදී. නැවත නැවතත් වඩන ලදී. නැවත නැවතත් පුරුදු කරන ලදී. බහුල වශයෙන් වඩන ලදී. බහුල වශයෙන් පුරුදු කරන ලදී. 🌻
ස්වාමීනී, භාග්‍යවතුන්වහන්ස. එසේ තිබියදී මේ හීන දීන නා රජු මට කවරෙක්ද ?
මෙබඳු එක නාගයෙක් නොව මෙබඳු නාගයන් සියයක් හෝ දහසක් හෝ දස දහසක් හෝ ලක්ශයක් හෝ කෝටියක් හෝ එයට වැඩි ගණනක් හෝ දමනය කිරීම මට මහ වැඩක් නොවෙයි. මම ඒ සැම දමනය කිරීමට සමත් වෙමි.
ස්වාමිනී, එසේ පවත්නා කල්හි මේ හීන දීන නා රජු මට කවරෙක්දැ”යි
මහ මුගලන් තෙරණුවෝ කීහ.
එකල්හි , නන්දෝපනන්ද නා රජු
“මේ මහණා නම් මහා ම මහා සටකපටියෙකි. මේ තරම් වෙලා ඇතුළට වී කුමක් කරනවා ද? මොහු වහා ම එළියට ගත යුතුයි. කුසෙන් නික්මෙනවාත් සමගම නසා වනසා දමමි”යි සිතා,
” පින්වත් ස්වාමීනී, ගැත්තාට අනුකම්පා කර කරුණාවෙන් පිටතට වඩිනු මැනවි. මට බොහෝම විඩාවයි. තව දුරටත් මා නොපෙළනු මැනවි. නොපෙළා පිටතට වඩිනු මැනවි” යි කීහ.
මෙය ඇසූ මහ මුගලන් තෙරණුවෝ සක්මන් කිරීම නවතා කුසින් ඉහළට නැග නාග මුවෙහි සිටියහ. එකෙණෙහිම නා රජු තමා මුවින් විස දුම් සහිත ගිනි ජාලා එවීය.
මුගලන් තෙරණුවෝ ක්ෂණයක් ඇතුළත චතුර්ථධ්‍යානයට සමවැදුණාහ.
න රජුගේ විෂ දුම් සහිත ගින්නෙන් මහ තෙරුන්ගේ ඉන්ද්‍රනීල මාණික්‍ය රත්නයක් බඳු සිරුරේ එක රෝම කූපයක් වත් නොදැවු ණි.
මේ අසිරිය දුටු නා රජු ,
“ඔහෝ ! මොහු නම් එසේ මෙසේ අයෙකු නොවෙයි. මොහු මහා ඍද්ධි ඇති මහානුභාව සම්පන්න තැනැත්තෙකි. මගේ විෂ සහිත ගින්නෙන් මොහු ගේ ඇඟේ එකම එක රෝම කූපයක් වත් දැවී අළු වී ගියේ නැතැ” යි සිතුවේ ය.
☘️
නා රජුගේ අදහස දැනගත් මුගලන් තෙරණුවෝ වහා ම දැවැන්ත තටු ඇති මහා ගුරුළු රාජ වේශයක් මවාගෙන ඉහළ අහසට පැන නැගී නා රජු පසු පස්සෙන් පන්න පන්නා පියඹා ගිය හ.
බියෙන් තැතිගත් නා රජු වහාම මානවක වේශයක් මවාගෙන
“අනේ ! මේ මහණාත් සමඟ ගැටීමෙන් වන සුගතියක් නැතැ”යි සිතා මහ ගුරුළා කවරෙක්දැයි කියා දන්නා බැවින් ගුරුළා දෙස බල බලා,
දොහොත් මුදුන් තබා වැඳ වැඳ ,
” ස්වාමීනී ! මම අද පටන් ඔබවහන්සේ සරණ යමි. තව දුරටත් මට හිරිහැර නොකරනු මැනවි. මට අනුකම්පා කරනු මැනවි. අනුකම්පා කොට පිහිටවනු මැනවි. මම අද පටන් දිවිහිමියෙන් ඔබවහන්සේ සරණ යමි “යි කීහ.
මෙය ඇසූ මහ මුගලන් තෙරණුවෝ ගුරුළු වෙස අතහැර අහසේම සිට,
“නන්දයෙනි, නාග රාජයාණෙනි, මා සරණ යෑමෙන් ඔබට පලක් නැත. #අප_ශාස්තෲන්වහන්සේ_මෙහි_වැඩසිටින_සේක_ඔබ_උන්වහන්සේ_සරණ_යන්නැ”යි
කියා නා රජු බුදුන් වෙත යොමු කළ හ.
එවිට න රජු, බුදුරජාණන් වහන්සේ වෙත එළැඹ දණින් වැටී
“මම අද පටන් බුදුරජ සරණ යමි” යයි කියා බුදුන් සරණ ගියේ ය.
____________
ඉක්බිති , අප භාග්‍යවතුන්වහන්සේ අගසව් දෙනම ප්‍රධාන භික්ෂු සංඝයා පිරිවරාගෙන දෙව්ලොව යෑමේ අදහස හැරදමා අහසින්ම සැවැත්නුවර අනාථ පිණ්ඩික මහ සිටුතුමාගේ නිවසට වැඩම කළ සේක.
බුදුපාමොක් මහ සඟරුවන දුටු අනේපිඬු මහ සිටුතුමා මහත් සතුටට පත්ව භාග්‍යවතුන්වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයා පණවා තිබූ අසුන්හි වඩා හිඳුවා එකත් පසෙකින් සිට,
“ස්වාමීනී, භාග්‍යවතුන්වහන්ස. අද මේ තරම් දහවල් වූයේ කුමන කරුණක් නිසාදැ”යි ඇසීය.
” පින්වත් සිටුතුමණි, දැන් මොහොතකට පෙර මා පුත් මහ මුගලන් හා නන්දෝපනන්ද නාග රාජයා අතර මහා යුද්ධයක් ඇති විය. මේ තරම් දවල් වූයේ ඒ යුද්ධය නිසාවෙනි ”
යනුවෙන් වදාළ සේක .
“#ස්වාමීනී, #මහා_යුද්ධයෙන්_ජය_කාටදැ”? යි අනේපිඬු මහ සිටුතුමා ඇසීය.
“පින්වත් සිටුතුමනි, #වෙන_කාටද? #මා_පුත්_මහ_මුගලන්ටම_ජය_ලැබුණි.නන්දෝපනන්දයාට පරාජය ලැබුණි.” යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
මේ බස් ඇසූ සිටුතුමා හුන් තැනින් නැගී සිට උතුරු සළුව එකස් කොට පොරවා තෙවරක්ම සාධුකාර දී බුදිහිමි දෙසට හැරී ඇඳිලි බැඳගෙන ,
“ස්වාමීනී, භාග්‍යවතුන්වහන්ස. එසේ නම් කොපමණ හොඳද ? ස්වාමීනී, අපේ මහ මුගලන් තෙරුන් වහන්සේ ගේ ජය සැමරුමට මම සතියක් පුරා බුදුපාමොක් මහ සඟ රුවනට මගේ මේ නිවසේදී ම මහ දන් පුදන්නෙමි.
“ස්වාමීනී, හෙට දිනයේ සිට පුරා දින සතක් ම බුද්ධ ප්‍රමුඛ පන්සියයක් භික්ෂු සංඝයාට දන් පුදමි. මාගේ ආරාධනාව පිළිගනු මැනවැ” කියා ආරාධනාවක් කළේ ය.
බුදුහු ඒ ඇරයුම නිහඬව පිළිගත්හ.
අනේපිඬු මහ සිටුතුමාද මහ මුගලන් තෙරුන් වහන්සේගේ ජය සැමරුමට පුරා සත් දිනක් ම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානාදියෙන් සංග්‍රහ කොට බොහෝ පින් රැස් කළේය..
ගයාන් චානුක මහතා විසින් රචිත ලිපි පෙළකින් උපුටාගෙන,
ikdr kodithuwakku විසින් අකුරුකර ධර්ම දානය පිණිස මුහුණුපොතේ බෙදා හරිමි .
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි