මිත්‍රයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ මිත්‍රයා…

සෑම කල්හි ම සියල්ල ම තමන්ගේ සමත් කමින් කාහටවත් සිදු කර ගත හැකි නොවේ. අනුන්ගේ උපකාර සොයන්නට සිදු වන අවස්ථා කාහටත් පැමිණේ. එබඳු අවස්ථාවල දී මිත්‍ර‍යන් නැත්තෝ අමාරුවට පත්වෙති. සමහර අවස්ථාවල දී ඉතා දුබල මිතුරකුගෙන් ලැබෙන සුළු උපකාරයේ අගය ද ඉතා මහත් වේ. එබැවින් නුවණැත්තෝ අනුන් හා මිතුරකම් පවත්වති. මිත්‍රයෝ නොයෙක් ආකාර වෙති. අංග සතකින් යුක්ත මිත්‍ර‍යා මිත්‍ර‍යන් අතුරෙන් ශ්‍රේෂ්ඨය. එබැවින් තථාගතයන් වහන්සේ විසින්:

“සත්තහි භික්ඛවෙ! අංගෙහි සමන්නාගතෝ මිත්තො සෙවිතබ්බො, කතමෙහි සත්තහි? දුද්දදං දදාති, දුක්කරං කරොති, දුක්ඛමං ඛමති, ගුය්හමස්ස ආවිකරොති, ගුය්හං අස්ස පරිගූහති, ආපදාසු න ජහති, ඛීණෙන නාතිමඤ්ඤති, ඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බො.”

යනු වදාරන ලදී. “මහණෙනි, අංග සතකින් යුක්ත මිත්‍ර‍යා සේවනය කළ යුතුය. කවර අංග සතකින් ද යත්? දීමට දුෂ්කර දෙය දෙයි. කිරීමට දුෂ්කර දෙය කරයි, ඉවසීමට දුෂ්කර දෙය ඉවසයි. රහස් ඔහුට කියයි, ඔහුගේ රහස් සඟවයි, විපත්හිදී නොහරී, ධනක්ෂයය නිසා පහත් කොට නොසිතයි. මහණෙනි, මේ අංග සතින් යුක්ත මිත්‍ර‍යා සේවනය කළ යුතු ය” යනු එහි තේරුමයි.