අධික කෝපය පාලනය කරගනිමු.

පින්වත් ස්වාමීන් වහන්ස, අධික කෝපය පාලනය කිරීමට කුමක් කළ යුතු ද? විශේෂයෙන්ම අපහාස, චෝදනා ඉදිරියේ දී කෙසේ මුහුණ දිය යුතු ද?

මෙහි දී කෝපය නිසා, නොඉවසීම නිසා තමන්ට සිදුවෙන අවාසි, ආදීනව නුවණින් මෙනෙහි කිරීමත් – මෛත්‍රියෙහි, ඉවසීමෙහි ආනිශංස සිහිකිරීමත් ඉතා ප්‍රයෝජනවත් ය. අංගුත්තර නිකායට අයත් පඨම සහ දුතිය අක්ඛන්ති සූත්‍රවල දී නොඉවසීමේ, කෝප වීමේ ආදීනව භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දී තිබෙනවා.

■ බොහෝ ජනයාට අප්‍රිය අමනාප කෙනෙක් වෙනවා.

■ වෛරය බහුල කෙනෙක් බවට පත්වෙනවා.

■ වැරදි අඩුපාඩු බහුල කෙනෙක් වෙනවා.

■ පසුතැවීමට සිදුවෙනවා.

■ සිහි මුළා වී මරණයට පත් වෙනවා.

■ කය බිඳී මරණින් මතු අපාය, දුගතිය, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා.

එමෙන් ම මෛත්‍රියෙහි, ඉවසීමෙහි ආනිශංස ද භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දී වදාළා.

■ බොහෝ ජනයාට ප්‍රියමනාප වෙයි.

■ වෛර බහුල කෙනෙක් නො වේ.

■ වැරදි අඩුපාඩු අඩු කෙනෙක් වේ.

■ පසුතැවීමට සිදු නොවෙයි.

■ සිහි මුළා නො වී මරණයට පත් වේ.

■ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදී.

එම නිසා මෙම කරුණු හොඳින් තේරුම් ගෙන කරණීයමෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත වැනි පිරිත් අර්ථ මෙනෙහි කරමින් නිතර සජ්ඣායනා කරන්න. අන් අයගේ වැරදි – අඩුපාඩු මෙනෙහි නොකර ගුණ දකින, ගුණ මෙනෙහි කරන සත්පුරුෂ මානසිකත්වයක් ඇතිකර ගන්න උත්සහවත් වන්න.

මෛත්‍රී භාවනාවෙහි ආනිශංස ඉගෙනගෙන භාවනාවක් වශයෙන් ද මෛත්‍රිය පුරුදු කර ගන්න උනන්දු වෙන්න. එවිට තත්ත්වය බොහෝ යහපත් අතට හැරේවි.

අපහාස – චෝදනා ඉදිරියේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ඉවසීමත්, සත්‍යයත් තුළ පිහිටා එම වැරදි අඩුපාඩු තමන් තුළ තිබෙනවා ද නැද්ද කියා මෙනෙහි කර බලන ලෙසයි. එවිට එම චෝදනා අපහාස තමන්ට අදාළ නැත්තම් අතහැර දැමිය හැකියි. සාදාගත යුතු වරදක්, අඩුපාඩුවක් ඇත්නම් නිවැරදි කර ගත හැකියි.