ධම්මපදය
දණ්ඩ වග්ගය
කාටවත්ම නපුරු වචන කියන්ට එපා! නපුරු වචන කියන්ට ගියොත් අනිත් උදවිය ඔබට පෙරලා, නපුරු වචන කියාවි. රණ්ඩු ඇතිවෙන කතා බස් ඇති කරගැනීම දුකක්. එයින් ඔබටමයි පෙරළා කරදර වෙන්නෙ.
ශබ්දය හටගන්න ලෝහ බඳුනක් කඩලා දැම්මා වගේ වචනය සංවර කරගෙන, තමන්ගේ ජීවිතය නිශ්ශබ්ද කරගත්තොත්, තමන් තුළම නිවිලා යනවා. එතකොට ආරවුල් හටගන්නෙ නෑ.
ගොපල්ලෙක් කෙවිටෙන් පහර දිදී හරකුන්ව ගොදුරු බිමට දක්කනවා වගේ, මේ ජරා – මරණ දෙකත් ඒ විදිහටම සත්වයන්ගේ ආයුෂ අවසන් කරලා දානවා.
අඥාන පුද්ගලයා කොච්චර පව් කෙරුවත්, ඒකෙ බරපතලකම තේරුම් ගන්නෙ නෑ. අන්තිමේදී ඒ ප්‍රඥා රහිත පුද්ගලයා තමන්ගේම කර්මයෙන් හටගත් විපාක වලින් දුක් විඳිනවා. ගින්නෙන් පිච්චෙන කෙනෙක් වගේ.
දඬු මුගුරු රහිත, හැම සතුන් කෙරෙහි මෙත් වඩන, රහතන් වහන්සේ කෙනෙකුට යමෙක් දුෂ්ට සිතින් පීඩා කළොත්, මේ දස වැදෑරුම් කරදර වලින් එකකට ඉක්මනටම මුහුණ දෙන්ට ඒ පුද්ගලයාට සිදුවෙනවා.
එක්කෝ දරුණු ශාරීරික වේදනාවලට භාජනය වෙන්ට වෙනවා. එහෙම නැත්නම්, අත පය හෝ කැඩෙනවා. එක්කෝ දරුණු රෝග වැළඳෙනවා. එක්කෝ සිහිය විකල් වෙනවා.
එක්කෝ රජවරුන්ගේ උදහසට ලක්වෙනවා. එහෙමත් නැත්නම් නොකළ අපරාධවලට දරුණු ලෙස චෝදනාවට ලක්වෙනවා. එක්කෝ නෑදෑයෝ පවා අහිමි වෙනවා. ධන සම්පත් හරි විනාශ වෙලා යනවා.
ඒ වගේම ගෙවල් දොරවල් ගින්නට අහුවෙනවා. ඒ මෝඩ තැනැත්තා මැරුණට පස්සේ නිරයේ ගිහින් උපදිනවා.
අන්ධබාල පෘථග්ජන සත්වයා පිරිසිදු වෙන්ට හිතාගෙන නිර්වස්ත්‍රව තපස් රැක්කට, ඔළුවෙ ජටා බැඳගෙන හිටියට, දත් මැලියම් බැඳුණට, නොයෙක් ව්‍රත සමාදන් වුණාට, නොයෙක් ආසන ක්‍රමවලට වාඩිවුණාට, ඇඟ පුරා අළු දූවිලි තවරගත්තට, උක්කුටිකයෙන් වාඩිවෙලා හිටියට, ඔවුන් ඉන්නේ සැකයෙන් එතෙර නොවී නිසා, ඔවුන් පිරිසිදු වෙන්නෙ නෑ.
ලස්සනට හැඳ – පැළඳගෙන හිටියත්, ඒ තැනැත්තා ධර්මයේ හැසිරුණොත්, ශාන්ත වුණොත්, ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වුණොත්, නිවන් මගේ ස්ථිරව පිහිටියොත්, බ්‍රහ්මචාරී වුණොත්, සියලු සත්වයන් කෙරෙහි දඬු මුගුරු අත්හැරියොත්, ඔහු තමයි නියම බ්‍රාහ්මණයා. ඔහු තමයි නියම ශ්‍රමණයා. ඔහු තමයි නියම භික්ෂුව.
යම් පුරුෂයෙක් ලැජ්ජාව නිසා අකුසල් දුරුකරනවා නම්, ලෝකයේ එබඳු අය ඉන්නෙ ටික දෙනයි. ඉතා යහපත් අශ්වයෙක් කස පහර කන්ට අකැමැත්තෙන් හික්මෙනවා වගේ ඔහුත් නින්දාවට අකැමැත්තෙන් හික්මෙනවා.
තමන්ගේ ප්‍රමාදයෙන් කසපහර වැදුණට පස්සේ ආජානීය අශ්වයා තව තවත් වීරියවන්ත වෙනවා. අන්න ඒ වගේ ඔබත් මේ සංසාරය ගැන කළකිරිල, කෙලෙස් නැතිකරන්ටමයි වීරිය ගන්ට ඕනෙ. ශ්‍රද්ධාවන්තව, සිල්වත්ව, සමාධියෙන් යුක්තව විදර්ශනා ප්‍රඥාවෙන්මයි තීරණ ගන්ට ඕනෙ. අවබෝධයයි, හැසිරීමයි එකක් වෙන්ට ඕනෙ. හොඳට සිහි නුවණ පිහිටුවාගෙන, මේ මහා සසර දුක නැතිකරලා දාන්න.
වතුර ගෙන යන උදවිය තමන් කැමති දිසාවට ඇල වේලි බැඳගෙන වතුර අරගෙන යනවා. හී වඩුවො තමන්ට ඕනෙ පිළිවෙළට ඊතල සකස් කරගන්නවා. ලී වඩුවෝ තමන්ට ඕනෙ පිළිවෙළට ලී බඩු හදාගන්නවා. ධර්මයට කීකරු අය තමන්ගේ සිත දමනය කරගන්නවා.
සාදු! සාදු!! සාදු!!
සම්මා සම්බුදු සරණයි පින්වත් යාලුවො හැමෝටම යහපතක්ම වේවා