▼
ලොව භාග්‍යවත් පුද්ගලයින් බොහෝ ඇත. සතර අපායෙන් මිදී මිනිස් භවයක උපන්නා භාග්‍යවත්ය. මිනිස් ලොව බොහෝ ලෙස ලෞකික සැප විඳින්නන් වේ. දෙව් ලොව ඉපදුනු අයට දුකක් කියා දෙයක් නොදැනෙන තරම්ය. එතරම් සැප එම ලෝක වල ඇත. බ්‍රහ්ම ලොව ගත් කල ඔවුන් ධ්‍යාන සුඛයෙන් යුතුව කල් ගෙවති. බ්‍රහ්ම ලෝක වලද ඉහල ඉහල බ්‍රහ්ම ලෝකයන්හි ඇති සුවය පහල පහල ලෝකයන්ට වඩා වැඩිය. මේ සියල්ලටම වඩා නිර්වාණය අවබෝධ කල තැනැත්තාගේ සුඛය වැඩිය…”නිබ්බානං පරමං සුඛං” ලෙස බුදුරජාණන්වහන්සේ එය වදාරා ඇත. නිර්වාණ අවබෝධය පරම සුඛයයි. නිවන් ලැබූ අයගෙන් පවා තම තමන් අවබෝධ කල මාර්ග ඵල සහ ඒ ඒ අයගේ සති, සමාධි, ප්‍රඥා මත නිවන් සුවය වෙනස් වේ. මේ සියළු පුද්ගයලින් අභිභවමින් ලොව්තුරු බුදු කෙනෙකු භාග්‍යවත් වේ. උන්වහන්සේ බුද්ධත්වයට පත් වුයේ යම් මොහොතකද ඒ මොහෙත් පටන් ලොව සිටින භාග්‍යවත්ම පුද්ගලයා බවට උන්වහන්සේ පත්වේ. උන්වහන්සේගේ භාග්‍යත්වයට සම කිරීමට තබා කිට්ටු වීමට වත් ලොව අන් බුදු කෙනෙකුට හැර වෙන කිසිම අයකුට නොහැකිය.
බෝධිසත්වයින් වහන්සේ නමක් පාරමිතා පුරන කාලය සිතා නිම කල නොහැක. ඒ පිලිබඳ වැටහීමක් ඇති කරගත හැකි වන්නේ බුදු කෙනෙකුටම පමණි. කිමද, ඒ සා කාලයක් පිටිපසට අතීතය බැලීමට හැකි වන්නේ බුදු කෙනෙකුට පමණක් වන නිසාය. උන්වහසේ පාරමී පුරන්නේ අසංඛ්‍ය ගණන් බුදු රජාණන් වහන්සේලා අභියසය. අප දන්නා පරිදි අප බෝධිසත්වයාණන් වහන්සේ බුදුවරු විසි හතර නමක් අභියස නියත විවරණ ලබා ඇත. කාලය ලෙස ගත් කල ඒ සඳහා සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගත විය. එසේ නම් අසංඛ්‍ය ගණනින් බුදුවරු පසු කරමින් ආ මග කොපමණ නම් දීර්ග කාලයක් ද කියා සිතා ගැනීම පවා අපහසුය. ඒසා කාලයක් බුද්ධත්වය වෙනුවෙන් තම වස්තුව, අඟ පසඟ, ජීවිතය පවා දන් දෙමින් පැමිණි ගමනේ රැස් වුනු කුසල ශක්තියක් වේ නම් විපාක දිය යුතු කුසල් බුද්ධත්වයට පත්ව පිරිනිවන් පෑමට පෙර විපාක දිය යුතුය. දාන, සීල, නෛෂක්‍රම්‍ය, ප්‍රඥ, වීර්යය, ක්‌ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී හා උපේක්‌ෂා ආදී ලෙස වැඩු පාරමිතා ප්‍රමාන කල නොහැකිය. එවැනි වූ අසම සම පාරමී ශක්තියකින්, කුසල ශක්තියන්කින් යුතු බුදු කෙනෙකුන් ලොව භාග්‍යවත්ම පුද්ගලයා නොවන්නේ කෙසේද?
උන්වහන්සේ බුද්ධත්වයට පත් වුයේ සියලු කෙලෙස් ගිනි නිවා දමමිනි. කිසි දින කිසිවකුට සිතා නිම කල නොහැකි ඇති දීර්ඝ වූ සංසාරයේ රාග ගින්නෙන් දැවෙමින් , ද්වේශයෙන් දැවෙමින්, මෝහයට යට වෙමින් අපාය බොහෝ ලෙසින් නිවහන කර ගනිමින් පැමිණි ගමන නිම කලේ නම් එය කොපමණ භාග්‍යක්ද…උන්වහන්සේ කෙලෙස් ගිනි නිවා දැමුයේ ලොව අන් කිසි කෙනෙකුට වඩා උත්තරීතර ලෙසය. ලොව අවබෝධ කල යුතු යම් තාක් කරුණු වේද ඒ සියල්ල අවබෝධ කරමින්, සිත, කය, ලෝක ධාතු, අතීත , වර්තමාන , අනාගත කාලය පිලිබඳ ආදී ලෙසින් දත යුතු සියල්ල අවබෝධ කර, කිසිදු අඩුවක් නොමැතිව, මේ සිත නිවා දැමිය හැකි උපරිමයක් වේ නම් ඒ උපරිමයෙන්ම සිත නිවා දැමුයේය. පෙර පුරුදු, චරිත ලක්ෂණ සියල්ල සුනු විසුනු කරමින් කිසිවකුට කරුණු සහිතව වරදක් පෙන්වීමට කිසිවක් ඒ බුද්ධතත්වයට පත් වූ මොහොතේ පටන් උන්වහන්සේ තුල නොවීය. මේ අයුරින් ලොව උත්තරීතරම සිතක් උදා කරගත් උන්වහන්සේ අතිශයින්ම භාග්‍යවත්ය.
උන්වහන්සේගේ ධ්‍යාන, සමාධි ශක්තීන් අසම සමය. සම වන්නේ තව බුදු කෙනෙකුට පමණි. උන්වහන්සේට සිතු සැනින් ඕනෑම ධ්‍යානයකට ක්ෂණයකින් සම වැදිය හැකිය. ඕනෑම අරමුණක් තුලින් ධ්‍යාන ගත විය හැකි උන්වහන්සේ ධයන විෂය අචින්තය කියා ප්‍රකාශ කොට ඇත. කොපමණ නම් වූ අවබෝධයකින් එම ප්‍රකාශය කරන්නට ඇතිද. බුදුවරුන්ට පමණක් විෂයය වන එවැනි ධ්‍යාන පිලිබඳ දත යුතු සියල්ල දන්නා අවබෝධයක් උන්වහන්සේ සතුය.උන්වහන්සේට ඕනෑම ඵල සමවතකට ක්ෂණයෙන් සම වැදිය හැකිය. ඒ ඵල සමවත් ද කෙනෙකුට සම වැදිය හැකි උපරිමය වේ. නිරෝධ සමාපත්ති, චේතෝ විමුක්ති, ප්‍රඥා විමුක්තින් ගෙන යුක්තය. සතර බ්‍රහ්ම විහරණයන් ගෙන් යුක්තය. උන්වහන්සේගේ මෛත්‍රියට සම කල හැකි මෛත්‍රියක් ලොව නොමැත. උන්වහන්සේගේ කරුණාව හඳුන්වන්නේ මහා කරුණාව ලෙසය. ලොව සත්වයින්ට උපරිම සුවයට මග හෙළි කර දෙන උන්වහන්සේගේ මුදිතාව උත්තරීතරය. උන්වහන්සේගේ උපේක්ෂාව අසමසමය. ලොව කිසිම ධර්මතාවයකට බිඳකුදු නොසෙල්වෙන සිතක් උන්වහන්සේ සතුය. එලෙසින්ම ලොව කිසිම අයකුට සම කල නොහැකි පරිදි වන ඉර්ධි ශක්තියකින් යුක්තය. අහසට පැන නැග යමා මහා පෙළහර පෑමට හැකියාවක් ඇති උන්වහන්සේට දස දහසක් ලෝක ධාතු වලට ඇසෙන සේ කතා කල හැකිය. උන්වහන්සේගේ ඉර්ධි ශක්තියට කල නොහැක්කක් නොමැත. ඉර්ධියෙන් අග තැන්පත් මුගලන් මහරතන් වහන්සේ දින හතක් විශ්වයේ කෙලවර සෙවීමට ගොස් නැවතුනු වෙලාවේ ඒ දුටු බුදු රජාණන්වහන්සේ උන්වහන්සේව නැවත ගෙන්වා ගත්තේ ඒ මොහොතේමය. එවැනි දුරක් නොව ඊට වැඩි දුරකට වුවද උන්වහන්සේට ක්ෂණයකින් යා හැකිය…උන්වහන්සේගේ ධ්‍යාන, ඉර්ධි ශක්තීන් එවැනි පරිදි අති විශිෂ්ඨය. අසම සමය. එබැවින්ද උන්වහන්සේ භාග්‍යවත්ය.
උන්වහන්සේගේ ප්‍රඥාව , ප්‍රඥා විෂයයේ මුදුන් මල් කඩය…විනිවිද යන, අති වේගවත්, ජවන ප්‍රඥාවකින් උන්වහන්සේ යුතු වේ. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍යය, මාර්ග සත්‍යය , නිරෝධ සත්‍යය යන චතුරාර්ය සත්‍ය පිළිබඳ දත යුතු යම් තාක් කරුණු වේද ඒ සියලු අවබෝධයන්ගෙන් උන්වහන්සේ සමන්නාගතය. මේ විශ්වයේ යම් තාක් සත්වයින් සිටීද, අතීතයේ, අනාගතයේ යම් තාක් සත්වයින් සිටියාද, සිටීද ඒ සත්වයින් විඳින දුක චිත්තක් ක්ෂණයක් ගානේ බැලීමට තරම් හැකියාවක්, ඒ දුක තමන් වහන්සේටම දැනෙන මෙන් අවබෝධ වන හැකියාවක් උන්වහන්සේ සතුය. මේ විශ්වයේ සත්වයින් යම් තාක් ලෙස දුකට යට වී ඇතිද ඒ සියල්ල තතු පරිදි දන ගැනීමට හැකි පරිදි ඥානයක් උන්වහන්සේ සතුය.එමෙන්ම මේ මේ කරුණු නිසා මේ දුක් ඇති විය , මේ අයුරින් එම දුක නැති කර දැමිය හැකිය ලෙස සමුදය සහ මාර්ග සත්‍ය පිලිබඳ දත යුතු සියල්ල උන්වහන්සේ දන්නේය. සත්වයින් සමුහයක් ගත කල ඔවුන්ට නිවන් ලැබිය හැකිද, නොහැකිද, කොපමණ කාලයක් ගතේ වේද, ඒ සඳහා සුදුසුම ප්‍රතිපදාව කුමක්ද ලෙසින්ද දත යුතු සියල්ල උන්වහන්සේ දන්නේය. ධර්මය විනිවිද දකිමින් තම ඇස් ඉදිරිපස ඇති යමක් විග්‍රහ කරන පරිදි , ආර්ය අෂ්ඨාංගික මාර්ගය, චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාද ධර්ම, ඉන්ද්‍රිය ධර්ම , බල ධර්ම, සත් තිස් බෝධි පාක්ෂික ධර්ම ආදිය ඒ ඒ පුද්ගලයාට සුදුසුම අයුරින් විග්‍රහ කිරීමේ ඥානයකින් උන්වහන්සේ සතුය. දෙව්ලොව දී අභිධර්මය දේශනා කලේ එක දිගට මාස තුනක් තිස්සේය. දාන වෙලාව වැනි අවස්ථා වලදී ධර්මය නවත්තන්නේ නැතිව බුදු රුවක් මවා ධර්මය දේශනා කිරීමට සලස්වා එය අසා සිටින දේව බ්‍රහ්ම ආදී අයට කිසිදු වෙනසක් නොවන පරිදි ධර්මය දේශනා කලේය. උන්වහන්සේ අසූ වන වියේදී කියා සිටියේ සතර සතිපට්ඨානය ගැන උගත්, වියත් සතර දෙනෙකු එකම ප්‍රශ්නය නැවත නොඅසා අවුරුදු සියයක් මුළුල්ලේ ප්‍රශ්න ඇසුවද උන්වහන්සේගේ සතර සතිපට්ඨානය ගැන පිලිබඳ කීමට තවත් කරුණු ඇති බවය. මෙවැනි වූ මහා ප්‍රඥා සාගරයකින් යුතු වූ බැවින්ද උන්වහන්සේ භාග්‍යවත්ය.
උන්වහන්සේගේ ශ්‍රද්ධාව ලොව උත්තරීතරමය. ධර්මය පිලිබඳ සියල්ල දන්නා උන්වහසේට කොපමණ නම් ඒ පිලිබඳ පැහැදීමක් ඇතිද? එමෙන්ම අතීතයේ වැඩ සිටි බුදුවරුන්, උන්වහන්සේලාගේ සිත්, ඒ ශ්‍රාවක සංඝ රත්නය පිලිබඳ ඕනෑම කරුණක් අවබෝධ කිරීමට තරම් ශක්තියක් උන්වහන්සේ සතුය. උන්වහන්සේගේ වීර්යය අසම සමය. එය කල්ප අසංඛ්‍ය ගණන් දිව යන වීර්යයකි. ඒ වීර්යයෙන් ලොව ලඟා විය හැකි තැනක්, නොමැත. එපමණට ප්‍රබලය. උන්වහන්සේගේ සතිය පිහිටන්නේ ක්ෂණයක් ගානේය. බුද්ධත්වයට පත්වූ දින සිට පිරිනිවන් පාන මොහොත දක්වා නොපිරිහුණ සතියකින් යුතුව උන්වහන්සේ වැඩ විසීය. උන්වහන්සේගේ සිත තුල කිසි කෙනෙකුට මෙවැනි වැරදි සිතිවිල්ලක් පහල වුවා කියා පෙන්වීමට තරම් කිසිදු සිතිවිල්ලක් ඇති නොවන්නේය. උන්වහන්සේගේ මුවින් පිටවන වචන අරුත්බරය. කිසිදු අනවශ්‍ය වචනයක් පිට වන්නේ නොමැතිය. උන්වහන්සේ සිනහ පහල කරන්නේ පවා හේතු සහිතවය. උන්වහන්සේගේ දිවි පැවැත්ම අති පිරිසිදුය. කිසිදු ලෙසකින් අඩුවක්, වරදක්, එහි නොමැත. සියල්ලන්ට ආදර්ශවත්ය. පිඬු සිගා වඩින්නේ උන්වහන්සේමය. විටක එයද තනිවමය. රජ ගෙදරද , දිළිඳු නිවසද එකමය. සැම දෙනා කෙරෙහිම පවතින්නේ එකම සිතය. නින්දට යන්නේ සතියෙන් යුතුවය. සතපෙන්නේද, අවදි වන්නේද සතියෙන් යුතුවය. සෑම දෙයක්ම මනා ලෙස පිලිවලය. හදිසියක් නොමැත. මන්දගාමීත්වයක්ද නොමැත. දකින්නන් පැහැදෙන දිවි පැවැත්මක් උන්වහන්සේට සතුය. සිත, කය , වචනයෙන් කිසිදු වරදක් සිදු කරන්නේ නැත. වරදක් කරනවා තබා එවන් සිතිවිල්ලක් පවා නොමැත. මෙවැනි වූ ගුණයන්ගෙන සහ දිවි පැවැත්මෙන් යුතු වූ උන්වහන්සේ භාග්‍යවත්ය.
කොපමණ ප්‍රබල පිරිස් සිටියද උන්වහන්සේගේ දිවි නැති කිරීම යනු කිසි දින සිදු නොවන ධර්මතාවයකි.කර්ම ශක්තියක් විපාක දුන් මොහොතක් ඇරෙන්න උන්වහන්සේට පීඩා කිරීමට ලොව කිසිම සත්වයකුට නොහැකිය. උන්වහන්සේගේ සිත මෙහයවීමට ලොව කිසිම බලවේගයකට නොහැකිය. සිතට කිසිදු ලෙස කිසිම කෙනෙකුට පීඩා කල නොහැකිය. අමනුෂ්‍ය බලවේගයකට උන්වහන්සේට ලංවීමට පවා නොහැක. උන්වහන්සේ දෙස එක එල්ලේ බලා කතා කිරීමට කිසිවකුට නොහැකිය. උන්වහන්සේ ඉදිරියේ ලොව සියලු සත්වයින් යටහත්ය. බුද්ධත්වයට පත්ව පස්වග තවුසන් දැකීමට එන විට ඔවුන් ගණනකට නොගෙන සිටීමට කතිකා කර ගත්හ. නමුත් උන්වහන්සේ ලං වත්ම කෙනෙකු ආසන පැනවීය. උන්වහන්සේව හොඳින් පිලිගෙන කතා බහ කළේය. එය උන්වහන්සේගේ අසම සම භාග්‍යයයි. එය වෙනස් කිරීමට ලොව කිසිවකට නොහැකිය.
උන්වහන්සේගේ කටහඬ මිහිරිය. ලොව කිසිවකුට සමාන නොවන පරිදි රූප ස්වභාවයකින් යුතු විය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තය. උන්වහන්සේ ධර්මය දේශනා කරන විට කිසිදු අපහසුවකින් තොරව එය කරන්නේය. ඉතා දීර්ඝ කාලයක් ධර්මය දේශනා කිරීමට සමත්ය. කුඩා කාලයේ, තරුණ වියේදී පවා, ලෙඩෙක්, මල මිනියක් පවා නොදැක දිවි ගෙවීමට තරම් සුදුසු පරිසරයක් සැදී තිබින. රම්‍ය, සුරම්‍ය, සුභ ආදී සැප පහසු මාලිගා ඉතා යහපත් දෙමාපියන්, ලොව උතුම්ම වූ බිරිඳක්, යහපත් මිතුරන් බෝධිසත්ව වියේදී තිබින. මෙම කරුණු නිසාද උන්වහන්සේ භාග්‍යවත්ය.
උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස අසංඛ්‍ය ගණනින්ය.මහා සංඝ රත්නය,අ දෙවියන් , බ්‍රහ්මයන්, රජවරුන්, සිටුවරුන්, ආදී ලෙසින් කියා නිම කල නොහැකි ප්‍රමාණයකින් යුතුය. උන්වහන්සේ පිරිනිවන් පා අවුරුදු දෙදහස් පන්සියයක් ගියද අද පවා උන්වහන්සේට ජීවිතයෙන් පුජා වේවා කියා පුජා කරන්නන් අපමණය. මෙවැනි පිරිස් ශක්තියකින් උන්වහන්සේ සමන්නාගතය. උන්වහන්සේට එදා ලැබුණු දානය කෙළවරක් නොමැත. අසදෘෂ දානයකින් පවා පිදුම් ලැබූ උන්වහන්සේගේ ජීවිත කාලය පුර ලැබුණු දානදිය කෙළවරක් නොමැත, ජේතවනාරාමය, ඉසිපතනාරාමය, නීග්‍රෝධාරමය වැනි වෙහෙර විහාර වලින් උන්වහන්සේ පිදුම් ලැබීය. ඉතා සුව පහසු ලෙස තැනුණු මෙම වෙහෙර විහාර උන්වහන්සේට වාසස්ථාන විය. පාරමී පුරා පැමිණි ආනන්ද ස්වාමීන්වහන්සේ උන්වහන්සේට මෙත් සිතින්ම නීති උවැටන් කලේය. අද පවා උන්වහන්සේ වෙනුවෙන් කොපමණ නම් වෙහෙර විහාර , දන් පැන් නිති ලැබෙන්නේද? මෙම කරුණු නිසාද උන්වහන්සේ භාග්‍යවත්ය…
බුදු ගුණ කල්පයක් පුරා බුදුරජාණන් වහන්සේ නමක්ම සිහි කලද කල්පය ගෙවී යන්නේය.තවත් බුදු ගුණ ඉතිරි වන්නේය. යම්තාක් ගුණ බුදුකෙනෙකු සතුව පවතින්නේද ඒ සියල්ල ලොව උතුම්ම ධර්මතාවයන්ය. බුදු කෙනෙකුට හැර අන් කෙනෙකුට එලෙසින් නොපිහිටන්නේය. ඒ සෑම ගුණයක් නිසාම උන්වහන්සේ අතිශයින්ම භාග්‍යවත්ය. එමනිසා කල්පයක් පුරා බුදු රජාණන්වහන්සේ නමක් භාග්‍යවත් වන්නේ ඇයි කියා බුදුකෙනෙකු විසින්ම සිතුවද කල්පය ගෙවී යනු මිස උන්වහන්සේගේ භගවා ගුණය කෙලවර වන්නේ නැත…