වස් කාලය ගෙවී ගිහින්, චිවර මාසයේ අවසාන පොහොය අදයි. පිංඩපාත මඩුවට දානය රැගෙන පැමිණි දායක මහත්මයෙක් ප‍්‍රකාශ කලා, තමන්ගේ ගමේ පන්සලේ මුල්ම වතාවට අටපිරිකර පනහක් පූජා කරලා වස්පිංකම බොහෝම උත්කර්ෂවත් අන්දමින් සිද්ධකලාය කියලා. එක ස්වාමීන් වහන්සේ නමක් පමණක් වැඩ සිටින ගමේ පන්සලේ දායක මහත්වරුන්ට හරිම සන්තෝෂයි පිංකම ගැන. අනේ සාදු සාදු පිංවතුන් ගොඩාක් පිංකම් කරගන්නවා. ගෞරවනීය ස්වාමීන්වහන්සේලාත් කුසලයේ අර්ථයන් කඨින පිංකම තුලින් මතුකොට ගන්න දක්ෂවෙන්න ඕනේ. භික්ෂුව වැඩ සිටි කුටියේ දායක පිංවතුන් භික්ෂුවට කඨින වස්ත‍්‍රය හැටියට අදනයක් පූජා කළේ. භික්ෂුවගේ තුන් සිවුර පරිපූර් නිසා එම අදනයත්, කුටියේ අතහැර දමලයි භික්ෂුව දැන් වැඩ සිටින කුටියට වැඩියේ. අතිරික්තය කියන්නේ හිසරදයක්. අතිරික්ත දෙය අතහරින කම්, භික්ෂුවට සැනසිල්ලක් නැහැ. ඉහත අතහැරීම තුළ අර්ථවත්ව ජීවත් වන ගෞරවනීය ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් වර්තමානයේ වැඩ සිටිම අපි කාටත් සතුටක්, වගේම අපේ භාග්‍යයක්.
වසරකට වතාවක් එළඹෙන කඨින පිංකම ගිහි පිංවතුන්ලා සිදුකරන්නේ බොහෝම ගෞරවයෙන්. ඒ ගෞරවයේ තරමටම පිංවතුන්ලාට පින් රැුස්වෙනවා. වර්තමානයේ කඨින පිංකම බොහෝම මිල අධික පිංකමක් බවට පත්වී ගෙන යනවා. මේවා ගැන සිතීම පැත්තකින් තියලා පිංවත් ඔබ උත්සහ ගන්න ඕනේ කඨින චිවර පූජාවේ සැබෑම අර්ථය ජිවිතයට එකතුකොට ගන්න. ලෝකයටම සඟවා, අනුන්ගේ පිංකමෙන් තමා ගත හැකි උපරිම ප‍්‍රයෝජනය ලබාගැනීමට. පින කියන්නේ සංස්කාරයන් බව ඇත්ත. නමුත් ප‍්‍රඥාව වඩවා ගැනීම උදෙසා පින අත්‍යාවශ්‍ය වෙනවා. ගෞරවනීය ස්වාමීන්වහන්සේලාට වස් ආරාධනා කිරිමත් සමඟම එළඹෙන තුන් මාසයේ පිංවතුන්ලා දානමය, ශීලමය, සද්ධර්ම ශ‍්‍රවණය පිංකම් ගොඩාක් සිද්ධකරගන්නවා. මේ කර ගන්නා වූ පිංකම් විදර්ශනා නුවණ ඇති කර ගැනීම උදෙසාමයි ප‍්‍රයෝජනයට ගත යුත්තේ. පිංවත් ඔබ වස් පිංකම් ආරම්භ කිරිමේදී පූජා කරන වැසි සළුවේ පටන් මුළු වස් පිංකම පුරාවටම ලෝභ, ද්වේෂ, මෝහ සිතක් සකස් වෙන්න දෙන්න එපා. වර්තමානයේ කඨින පිංකම කියන කාරණයේදී තරඟයක් කියන කාරණය අපි දකිනවා. වියදම් පක්ෂයේ වැඩිභාවය තමයි, පිංකමේ සාර්ථකත්වය මනින මිනුම් දණ්ඩ වෙන්නේ. සමාජය යන දිශාවකට ගියාදෙන් පිංවතුන් දක්ෂ වෙන්න ඕනේ සමාජයේ ඇස වහලා ඔබගේ විදර්ශනා ඇස තියුණු කරගන්න. පිංවත් ඔබ තුල ලෝභ, ද්වේෂ සිත් හීනකර ගැනීම තුලයි අමෝහය කියන අර්ථය වැඩෙන්න සුදුසු පරිසරය ඔබතුල නිර්මාණය වන්නේ. එතැන සිට පිංවත් ඔබ සිතන්න අතීත සංසාර ගමන පුරාවට අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඉපිද පිංවත් ඔබ වැසි සළු ලක්ෂ කීයක් පූජා කරගන්න ඇතිද, ඔබේ දෑතින් අතීත සංසාරයන්හිදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාටත් වැසි සළු පූජා කරලා වස් ආරාධනා කරන්න ඇති. සංසාරයක් පුරාවට ඔබ පූජා කල කඨින වස්ත‍්‍ර ප‍්‍රමාණය එක ගොඩක් කලොත් එය ගිජ්ජකූට පර්වතය ප‍්‍රමාණය ඉක්මවා යාවි. වස් පිංකම් උදෙසා ඔබ පූජා කලාවූ ආහාර, දානය එක ගොඩක් කලොත් එයත් ගිජ්ජකුට පර්වතයේ ප‍්‍රමාණය ඉක්මවා යාවි. ඒ වාගේමයි කඨින චිචර පිංකම් නිසා රැස්කොට ගත් කුසල් සංස්කාරයන් නිසා ඔබ සක්විත රජ සැප, ශක‍්‍ර සැපය කොතෙක් ලබන්නට ඇතිද. මේ අනිත්‍ය භාවය දකිමින් විදර්ශනා නුවණ දියුණු කොට ගන්න.
පිංවත් ඔබලා පසුගිය වසරේ ගෞරවයෙන් පූජා කල කඨින චිවරය මේ වන විට දිරාගොස් ඇති, පාංශකූල චිවරයක් බවට පත්වෙලා ඇති. පසුගිය වසරේ පූජා කල කඨින චිවරයේ අනිත්‍යභාවය දකිමින්, මේ මොහොතේ ඔබ පූජාකරන නැවුම් කඨින චිවරයේද අනිත්‍ය භාවය විදර්ශනා නුවණින් දකින්න. පිංවත් ඔබගේ අතේ තිබෙන කඨින චිවරය, පාංශකූල චිවරයක් වනවා මනසින් දකින්න. දැන් ඔබ තුලින් මෝහයයි දුරුවෙන්නේ. වස් පිංකමේදී අලෝභ, අද්වේෂ සිතුවිලි අතරින් අමෝහය කියන අර්ථවත් ධර්මය මතුකොට ගන්න දක්ෂවෙන්න. එසේ නොමැතිව යන්නන් වාලයේ ඔබත් ගියොත් අතීතයේ ඔබ පූජා කල ගිජ්ජකූට පර්වර්තයේ ප‍්‍රමාණයට වැඞ් කඨින චිවර ගොඩට තවත් එක් කඨින චිවරයක් පූජා කොට, අනිත්‍යභාවයට පත්වෙන සංස්කාරයන් පමණක් රැස්කොටගත් අදක්ෂයෙක් වේවි. එම නිසා අතීතයේ ඔබ සිදුකරගත් සෑම පිංකමකම යථාර්ථය රැස්කරගත්තාවූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය විදර්ශනා නුවණින් දකිමින් රාත‍්‍රී නින්දට යන්න. එවිට එම රාත‍්‍රීය ඔබට යහපත් රාත‍්‍රියක් වේවි.
මතු සම්බන්ධයි!
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!