පින් අනුමෝදන් කරන්න පුළුවන් වගේම පාපයත් අනුමෝදන් කරන්න පුළුවන්. දැන් බලන්න අපේ සමහර පැරැණි අය කියනවා මං ඉසේ කෙස් ගානට ගෝණ්නු මරල තියෙනව. මම ඉසේ කෙස් ගානට රා බීල තියෙනව. ඒක අහන තවත් වෙන මනුස්සයෙක් හරි මිනිහෙක් තමයි කියල බොහොම සතුටු වෙනව. අන්න අකුසල් අනුමෝදන් වුනා.
ගාථාවකුත් ඕන නම් හදා ගන්න පුළුවන්. කෙනෙක් කියනව මම අර මිනිහට හොඳ පාඩමක් අද ඉගැන්නුවා. ගහල ඇට කටු කුඩුවෙන්න තරම් දඬුවම් දුන්නා කියල. ඒක අහන; කනා කියනව බොහොම හොඳයි. එයාට ඔහොම කරල මදි මරන්නයි වටින්නෙ මමත් හිටිය නම් දෙකක් අනිනව කියල. අන්න පව අනුමෝදන් වුණා.
ත‍්‍රස්තවාදියෙක් වෙඩි තියල මරල දැම්ම කිව්වම අපේ සිංහලයො බොහොම සතුටුවෙලා අර පාපය අනුමෝදන් වෙනවා. අනවබෝධය නිසා අද බොහෝ දෙනෙක් පින් අනුමෝදන් වීමට වඩා කරන්නෙ අනුන්ගෙ පව් අනුමෝදන් වීම.
බෝසතාණන් වහන්සේ පෙර ජාතියක මාළු මරණ කුලයක උපන්නා ගඟක් අයිනෙ. එක දවසක් තවත් ළමයි සමඟ මාළු මරණව බලන්න ගියා. ගිහින් බැලුවාම එදා එම ගමේ නෑයෝ පෙර දවසෙ ගඟට වස වගයක් දාලා විශාල ප‍්‍රමාණයක් මාළු ගොඩ දාල. ඒ දැකල මේ බෝසත් දරුව කියනව අද නම් හරිම හොඳයි ලොකු මාළු ගොඩක් ගොඩදාල කියල. අන්න පාපය අනුමෝදන් වුණා. ඒ පාපය අනුමෝදන් වීම නිසා බුදු බවට පත්වීමෙන් පසුවත් හිස රදයක් පැවති බව ධර්මයේ සඳහන් වෙනව. මෙසේ අකුසලය අනුමෝදන් වෙන්න ඕන තරම් පුළුවන්.
කුසලය නිසා කුසල් සිද්ධ වෙනව. අකුසලය නිසා අකුසල් සිද්ධ වෙනව. ඒ වගේම අකුසලය නිසා කුසල් සිද්ධ වෙනව. අකුසලය නිසා අකුසල් සිද්ධ වෙනව. ඔය ක‍්‍රම හතරම ලෝකෙ පවතිනව.
යම්කිසි පුද්ගලයෙක් දානයක් දෙනවයි කියල හිතමුකො. තවත් කෙනෙක් එය බලා අනේ සාදු සාදු කොච්චර වටිනා පිනක් ද කෙළේ කියල සතුටු වෙනව. අන්න කුසලයෙන් කුසලය සිද්ධවුණා. එබඳු පින්කමක් දැකල තව සමහර විට කෙනෙක් අපොයි ඔය උපාසකයගෙ හැටි මම දන්නව දැන් ඔය පන්සල් ගියාට එයා මහ කපටියෙක්, පව්කාරයෙක්, මහා බොරුකාරයෙක් සල්ලිකාර කමට මාන්නෙට කරන වැඩ කියල හිත නරක්කර ගන්නවා. අනුන් කරන කුසලය නිසා තමා අකුසලයක් කර ගන්නවා.
තව කෙනෙක් අපි හිතමු. යම් අකුසලයක් කරනව. එය අහන්න දකින්න ලැබුනම අනේ ඒ මනුස්සය මොනතරම් අපරාධයක්ද කෙළේ. මේ උදවියට කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය ලැබී ධර්මය අවබෝධ වී මේ අකුසල් වලින් මිදේවා. සුගති මග නිවන් මග ලැබේවා යනාදී වශයෙන් ඒ උදවියට මෛතී‍්‍ර කරල මම නම් කවමදාවත් මෙබඳු පාපයක් කරන්නෙ නැහැ. සසර වසන තුරු මගෙන් මෙබඳු පාපයක් සිදු නොවේවා. කියල හිතල අනුන්ගෙ අකුසලයෙන් තමා කුසලයක් සිදු කරගන්නවා. අකුසල් කරන දුසිරිතේ හැසිරෙන කෙනෙක් පිළිබඳ අහන්න දකින්න ලැබුනම අර මුලින් කීව වාගෙ හරිම වටිනව බොහොම හොඳයි එහෙම කරපු එක මමත් හිටියනම් ඒකමයි කරන්නෙ කියල අනුන් කළ දේ අනුමත කරනව. එයින් අනුන්ගෙ පාපයට තමනුත් සම්බන්ධ වෙනවා. පාපයෙන් පාපයක් සිදු කර ගන්නවා.
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.