සද්ධර්මයේ සරණක් ඇතිමුත් අපිත් අසරණය.

පිංවත, අපි මොනවා නම් දිනා ගන්නද මේ තරඟ කරන්නේ? මොනවාද අපි මෙතෙක් දිනාගෙන තිබෙන්නේ? ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරල අහන්නකෝ, ඔබ මෙතෙක් දිනාගෙන තිබෙන්නේ මොනවා ද කියලා. ඔබේ යැයි කියලා, ඔබ දිනාගෙන තිබෙන්නේ ජරා, ව්‍යාධි, මරණයන් පමණක්මයි. ඔබ දිනාගත්ත සහතික, සම්මාන, ගෞරවනාම, නම්බුනාම, තනතුරු මේ සියල්ලම අනිත්‍ය වූ විඳීම්, අනිත්‍ය වූ හඳුනා ගැනීම්, සංස්කාරයෝ, විඤ්ඤාණයෝ පමණක් ම නේද? පිංවත, ලෝකය කියන්නේ ආශ්වාදයේ මිරිඟුවක්. ලෝකය කියන්නේ මෝහයේ අකුරු කියලා දෙන හෝඩි පොතක්. අපි තාමත් පුංචි දරුවෝ. අපි රූපය සමග සෙල්ලම් කරනවා. වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ සමග අපි හුරතල් වෙනවා. අවිද්‍යා තොටිල්ලේ ඇතිරූ, පංච නීවරණ ඇතිරිලි පුංචි ශරීරයට හරිම සනීපයි. ආශ්වාදයේ නින්ද අපිව පාට, පාට සිහින වලින් කුල්මත් කරනවා. අපි එක සිහිනයකින් අවදි වෙන්නේ තවත් සිහිනයක් දකින්න. ජීවිතයම සිහින ගොඩක්. පිංවත, අනේ කරුණාකර අවදි වෙන්න. දැන් හොඳටෝම ප්‍රමාද වෙලා. අකුසලයේ කුකුළා දැන් කී පාරක් හැඬලුවා ද, ඒත් නිනව්වක්වත් නැහැ. තාමත් අපි මද නින්දේ ආශ්වාදයේ සිහින දකිනවා.

පිංවත සංසාර බිය, සංසාර ගැඹුර, සංසාර දුර ගැන සිතන්න. කල්ප විනාශයක් කී දාහකට හසු වී අපි පටිච්චසමුප්පන්නව පිච්චි, පිච්චී මැරුණා ද? මෘග සංඥාවන් කී දාහකට අපි කොටු වී අපේ ප්‍රණීතම ආහාරය ලෙස මිනී මස් අපි අනුභව කළා ද? සංසාර බිය නොදකින්නා, තම ජීවිතයට ධර්මානුකූල වටිනාකමක් දෙන්නේ නැහැ. ජීවිතයට සතුට සොයා අයාලේ යන්න දෙනවා. වරෙක ජීවිතය රාගය සොයාගෙන යනවා. තවත් වරෙක ජීවිතය ද්වේශය, ව්‍යාපාදය සොයාගෙන යනවා. තවත් වරෙක ජීවිතය මෝහය සොයාගෙන යනවා. සමහර පිංවතුන් ඉහත අකුසල් මූලයන් තුනම එක පොදියට ජීවිතයට තුරුළුකොට ගන්නවා. අපි කාගේත් ලෞකික ප්‍රඥාවේ ඇස් වහලා කෙටි ආශ්වාදය මෝහයට සිත්සේ අකුසලයෙන්ම කප්පම් ගෙවනවා. පිංවත, අපෙන් කප්පම් ගන්නේ පාතාලේ පමණක් නොවේ. ඔබ දිනකට කී වතාවක් රාග, ද්වේශ සිතුවිලි ඇතිකොටගෙන අකුසල් මාරයාට කප්පම් ගෙවනවා ද? සමාජය තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දුර්වල වෙමින්, මෝහය ධනවත් වෙන්නේ අපිම අකුසල් මාරයාට නිතිපතා සිතුවිල්ලෙන් සිතුවිල්ල ගෙවන කප්පම් නිසා නේද? පසුගිය කාලයේ රටේ ඇති වූ කලබලකාරී තත්ත්වයන් හේතුවෙන් අපි කොතෙක් නම් අකුසල් මාරයාට කප්පම් ගෙව්වා ද? වර්තමානයේ මෝහය මහා ධනකුවේරයෙක් බවට අපි පත්කොට තිබෙනවා. සද්ධර්මය නොවේ වැදගත්, අරගලයයි වැදගත් යැයි ගෝරනාඩු කරන තරමට මෝහයේ ගිණුම් පිරී ඉතිරී යනවා. පිංවත, අන්ත අසරණ ලෝකය තුළ අපිත් සරණක් ඇති, එහෙත් අසරණයෝ වෙලා. මොන අවාසනාවක් ද පිංවතුනි, අයෝමය සද්ධර්මයේ සරණක් ඇති අපිත් අන්ත අසරණයෝ වෙලා.

පිංවත, ලෞකික ප්‍රඥාව ගිලගෙන මතුවෙන මෝහයේ මහාමේරුව සියතින්, සිය කැමැත්තෙන්ම පිළිගැනීම ඔබේ මනාපයක්. නමුත් අපි එක දෙයක් පිළිගන්න ඕනේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ හැර උතුම් සද්ධර්මයේ සියළුම අර්ථයන් තවමත් සක්සුදක් සේ ජීවමානයි. පිංවත් ඔබ දෑස් හැර බැලුවත්, දෙකන් විවෘතකොට ඇසුවත්, ඔබ දකින්නේ, ඔබ අසන්නේ උතුම් ජීවමාන සද්ධර්මයේ ඒහිපස්සික ගුණයක්මයි. සම්මා සම්බුද්ධ ශාසනය වසර දෙදහස් හයසියයකින් පරණ වෙලා නැහැ. සම්මා සම්බුද්ධ ශාසනය අද උපන් ශාසනයක්මයි. අපියි වසර දෙදහස් හයසියයක් මෝහයේ අකුසලයෙන් පරණ වෙලා තිබෙන්නේ. උතුම් චතුරාර්ය සත්‍යය ජීවමානව පවතින තාක්කල් සම්මා සම්බුද්ධ ශාසනය අද උපන් ශාසනයක්මයි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ බෝධිසත්ත්වයන් හැටියට පිරූ දසපාරමී ශක්තියේ අයෝමය බලය, අපේ අකුසල් වලින්, අපගේ මෝහයේ බලවත්භාවයෙන් දෙවෙනි තැනට දැමිය යුතු නැහැ. ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු අසිරිය, උතුම් ඥාන ශක්තිය, උතුම් සද්ධර්මයේ ශක්තිය, චතුරාර්ය සත්‍යය ධර්මයෝ ජීවමානව පවතින තාක්කල් අද උපන් ධර්මයෝමයි. අපි මෝහයේ ගිණුම් ශක්තිමත් කොටගත් පළියට, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආත්ම ගරුත්වයට හානි කළ යුතු නැහැ. මෙය සටහන් තබන භික්ෂුව නොබියව, සැකයකින් තොරව පිංවත් ඔබට කියනවා, අද දවසේ පිංවත් ඔබ ස්වාක්ඛාත ගුණයෙන් ඕපනයිකව, අත්දකින්නේ වසර දෙදහස් හයසියයක් පැරණි යල්පැනගිය ශාසනයක් නොව, ජීවමාන ශාස්තෘන් වහන්සේ විසින් අද දවසේ දේශනා කරන, අද උපන් නැවුම් සම්මා සම්බුද්ධ ශාසනයක්ය කියලා.

ගෞරවනීය පිංවත, අතීතයේ නැවුම් සම්මා සම්බුද්ධ ශාසනයේ රැකවරණය සොයා පැමිණි කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී ශ්‍රාවකයින් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ රැකවරණය ලැබුවා සේම, පිංවත් ඔබත් අද දවසේ විශ්වාසයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ රැකවරණය තුළට එන්න. උතුම් සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ ජීවත් වීමට මාර්ගය කියාදෙන, අවිද්‍යාවේ දුගඳ පිරි තෘෂ්ණාවට පාවඩ එළන මාර්ගයක් නොවේ. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අපිට තෘෂ්ණාවේ වියරු දුකෙන් මිදෙන මාර්ගය කියලා දෙන ශාසනයයි. භව නිරෝධයට පාවඩ එළන ශාසනයයි. තෘෂ්ණාව නමැති මාරයාගෙන් ඔබව ගලවා ගන්නා ශාසනයයි. පිංවත, ඔබට මේ පාර කියන්නේ, මෙය සටහන් තබන භික්ෂුව නොව, අපි සියල්ලන් තුළ තවමත් ඉතිරිව ඇති කුසල් ධර්මයන්ගේ ශක්තියයි. පිංවත, තෘෂ්ණාවෙන් අන්ධ, විනය අවිනය කරන, ධර්මය අධර්මය කරන අකුසලයේ මාර ධර්මයන්ගේ ශක්තිය කොතෙක් වැඩි වුණත්, තෘෂ්ණාවේ වියරුව හඳුනන, සත්පුරුෂ කුසලයේ ශක්තිය තවමත් අපිට ආශීර්වාද කරනවා. පිංවත, ඔබ අසරණයෙක් නොවේ. ඔබ අද උපන් නැවුම් ශාසනයක ශ්‍රාවකයෙක්, ශ්‍රාවිකාවක්. විශ්වාසයෙන් ශාසන ප්‍රතිපදාවන්ට පෙළ ගැසෙන්න. ඔබ තෙරුවන්ට අවංක නම් ඔබට අසරණ වෙන්න ජීවමාන ශාස්තෘන් වහන්සේ වන උතුම් ශ්‍රී සද්ධර්මය ඉඩ දෙන්නේ නැහැ. පිංවත, අද උපන් නැවුම් සම්මා සම්බුද්ධ ශාසනයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍යය ජීවමානව තිබෙන තාක්කල් ශාසනය පරණ වෙන්නේ නැහැ. ඔබ අකුසලයෙන් බර වුණොත් ශාසනය ඔබට පරණ වේවි. ශාසන අර්ථයන් ඔබට පරණ වේවි. පිංවත සම්මා සම්බුද්ධ ශාසනයේ උරුමය තිබෙන්නේ තෘෂ්ණාවේ මාරයාට නොවේ. තෘෂ්ණාවේ නිරෝධය සොයන, විනය විනය වශයෙන් දකින සත්පුරුෂ ඔබටයි.

පිංවත, තෙරුවන්ට කීකරුභාවයෙන්, ලෞකික ප්‍රඥාවේ අර්ථයන්ට ගරු කරමින්, උතුම් ශීලයන්ට ජීවිතය තුළින් වටිනාකමක් ලබා දෙමින් පෙළ ගැසෙන්න. තෘෂ්ණාවේ වියරු අතීතය අනිත්‍ය වූ අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකිමින්, යල් පැන නොයන නැවුම් ශාසනයේ කොටස්කරුවෙක් වෙන්න. පිංවත, සියළු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. මේ සංස්කාරයෝ වංචාවක්, ප්‍රෝඩාවක්, ඇස් බැන්දුමක්. මේ වියරු සංස්කාරයන්ට රැවටී අවිද්‍යාවට කිරි පෙව්වා දැන් හොඳටෝම ඇති. පිංවත, අද ගතයුතු තීරණය හෙටට පමා කරන්න එපා. භික්ෂුව මේ සටහන තබන වෙලාව පාන්දර දෙකයි තිහයි. භික්ෂුව මේ සටහන ලිවීම හෙට දවසට පමා කරන්නේ නැහැ. හෙට දවස ඒ තරමටම අස්ථිර දවසක්. සියළු සංස්කාරයෝ වෙනස් වී යද්දී, අපි සංස්කාරයන්ට වඩා වේගවත් වෙන්න ඕනේ. අපි සංස්කාරයන්ට වඩා වේගවත් වෙන්න නම්, අපි පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, විදර්ශනාමය සති සම්බොජ්ඣඬ්ඟයේ ග්‍රහණයට නතුකොට ගන්න ඕනේ. එවිට සංස්කාරයන්ට අවශ්‍ය ආකාරයට විඤ්ඤාණය නටවන්නවත්, සංස්කාරයන්ගේ ජවයෙන් විඤ්ඤාණයට අවශ්‍ය ආකාරයට නැටීමටත් නොහැකි වෙනවා. එවිට ඔබ ලෝකය පාලනය කරන සැබෑම පාලකයෙක් වෙනවා. පිංවත, සද්ධර්මය ස්වාක්ඛාතයි, සන්දිට්ඨිකයි, අකාලිකයි, සද්ධර්මය ඒහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බෝ ගුණයන්ගෙන් පරිපූර්ණයි. සද්ධර්මය මේ දැන් ඉපදුනා සේ නැවුම්මයි. පිංවත, උතුම් සද්ධර්මය පරණ කරන්න එපා. එවිට ඔබ අධර්මයේ පරණ බඩු කඩයක්ම වේවි.

පිංවත, ඔබ අධර්මයේ පරණ බඩු කඩවල් දැකලා තිබෙනවා ද? මේ වෙළඳසල්වල විනය අවිනය කොට විකුණනවා. ධර්මය අධර්මය කොට විකුණනවා. තෘෂ්ණාවෙන් හරි හම්බ කරන පාඨමාලා හදලා විකුණනවා. මාසෙකට දෙපාරක් පොහොය කිරීම වෙනුවට, මාසෙකට දෙපාරක් බැංකු ගිණුම් ශේෂ, වත්කම් ශේෂ පිරිසිදු කොට ගන්නවා. ගෞවරනීය පිංවත මේ විවේචන නම් නොවේ. සතිය, සිහිය දුර්වල තැන් තිබේ නම් නිවැරදිවීම උදෙසා පමණක්මයි. අපි වරදක් කළොත් සමස්ත සම්මා සම්බුද්ධ ශාසනයටම එම වරද එල්ල වෙනවා. ගිහි සහ පැවිදි අපි ගොඩගසන අකුසල් කඳු වලින් ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ දශපාරමී පිනේ ශක්තිය දුර්වල කොට දමන්න එපා. අනාගතයේ දවසක උතුම් චතුරාර්ය සත්‍යය ලෝකයෙන් අතුරුදන්ව ගියා කියන්නේ, අපි සියල්ලෝම එකතු වෙලා අපේ අකුසලයේ ශක්තියෙන්, බුදුරජාණන් වහන්සේගේ අයෝමය දශපාරමී පිනේ ශක්තිය ඉක්මවා ගියාය කියන අර්ථයයි. පිංවත, දැන් වෙලාව පාන්දර හතරයි. අවදි වෙන්න. අද පටන් අළුත් මිනිසෙක් වෙන්න.

අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.