මනුෂ්‍ය ආදරය දිව්‍ය ආදරයක් බවට පත්වීම.

පිංවත, අවිද්‍යාව යම් තැනක ද, එතැන කුසලය සහ අකුසලය යන කාරණා දෙකම තිබෙනවා. ඒ නිසාම අපි විවේචන වගේම පැසසුම් ද සම සිතින් පිළිගන්න ඕනේ. සංස්කාරයන්ට අදාළව ලෝකය දැකීමේ ශක්තිය දුර්වල වන සමාජයක ඉහත දෙධර්මයන්ටම ඔරොත්තු දෙන්නෙක් බවට අපි පත්වෙන්න දක්ෂ වෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව වැඩි වී, අවිද්‍යාව බලවත් වෙන සමාජයක මුල්ම අභියෝගය එල්ල වෙන්නේ උතුම් ධර්ම විනයටයි. තෘෂ්ණාව විනය ධර්මයන් තුළින් හික්මෙන්න කැමති නැහැ. තෘෂ්ණාව කැමති නිදහසේ ස්වාධීනව ජීවත් වෙන්න. ලෝකය අයිති අවිද්‍යාවට නිසා මේ හුටපටයට වගකියන්න ඕනේ, අපිම පුහුණු කළා වූ අතීත සංස්කාරයි. පිංවත, භික්ෂුවගේ පසුපස එන්නේ භික්ෂුවගේම සෙවනැල්ලයි. එම නිසාම අපි ඉදිරියට පැමිණෙන, සිතට වදදෙන විවේචන ඉදිරියේ දී වුව ද කර්මය කර්මඵල විශ්වාසයමයි අපි මතුකොට දැකිය යුත්තේ. කුසලය සහ අකුසලය ඉදිරියේ නොසැලෙන්නා, විදර්ශනාවේ ගල් කණුවක්ම වෙනවා. අවිද්‍යාවෙන්ම උපන් අප්‍රණීත සංස්කාර අවිද්‍යාවටම භාර කරලා, අපි විදර්ශනාත්මක මෙත් සිතින් මේ තෘෂ්ණාවේ වියරු ලෝකය තරණය කරමු. අවිද්‍යාවට අපි ආහාර නොදී ප්‍රඥාවේ ආලෝකය දෙමු.

පිංවත, අවිද්‍යාවේ මවුකිරි වරන්න නම්, පංච නීවරණ දෙපියයුරුවල ලෞකික ප්‍රඥාවේ කොහොඹ තෙල් ගාන්නම වෙනවා. එවිටයි ශීලය, සමාධිය, ප්‍රඥාව, ඥාන දර්ශන, විමුක්තිය මේ ආහාරයන්ට අපේ ජීවිත හුරු වෙන්නේ. යම් ජීවිතයක කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණු සිත, විචිකිච්ඡාව තිබේ ද එම ජීවිතය තවමත් භව නිරෝධය දෙසට නැමී නැතැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත, උතුම් සෝවාන්ඵලයට පත් වූ පිංවතා තුළත් කාමච්ඡන්දයන් තිබෙනවා. නමුත් එම කාමච්ඡන්දයන් ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැක්ම කියන සීමාව තුළයි. පිංවත, ජීවමාන ධර්ම විනය නමැති ශාස්තෘන් වහන්සේ වැඩ සිටිනවා. චතුරාර්ය සත්‍යය ධර්මයෝ අපේම ජීවිත තුළ විවෘතව ප්‍රකට වෙනවා. දුක නිරෝධය කිරීමේ මාර්ගය සක්සුදක් සේ වැඩ සිටිනවා. ඒත් අපි තව තවත් කාර්යබහුලයි. පංච නීවරණ දෙපියයුරු තුඩුවල එල්ලී අවිද්‍යාවේ මවුකිරි රසයම සොයනවා. පිංවත, සියළුම රසයන් අතරින් ධර්ම රසය හරිම ශ්‍රේෂ්ඨයි. ධර්ම රසය ශ්‍රේෂ්ඨ වෙන්නේ රසයත්, නීරසත් යන දෙකම නිරෝධය වූ නික්ලේශී රසය එහි තිබෙන නිසාමයි. පංච උපාදානස්කන්ධයෝ මියදුණ නික්ලේශී ධර්ම රසය විදර්ශනාමය සප්ත බොජ්ඣඬ්ඟයන්ගෙන් ප්‍රණීත වෙලයි තිබෙන්නේ. පිංවත, ඔබේ ජීවිතය ධර්මයෙන් ජීවත් කරවන්න. එවිට අධර්මයෝ මියයාවි. අධර්මයෝ මියගිය ජීවිතයක ආයුෂය වෙන්නේ උපාදානයෝ නිරෝධය වූ විදර්ශනාමය සප්ත බොජ්ඣඬ්ඟයෝමය. පිංවත, මොහොතක් ඔබේ දෑස් පියාගෙන තෘෂ්ණා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ කියන ධර්මතාවය නුවණින් දකින්න. මේ පුංචි විනාඩියේ දී ඔබ ලැබුවේ තාවකාලික විදර්ශනාමය සප්ත බොජ්ඣඬ්ඟයන්ගේ රසයක්මය. පිංවත, ඔබේ ජීවිතය පුංචි ධර්ම පර්යේෂණාගාරයක් කරගන්න. චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව, පටිච්චසමුප්පාද ධර්මයන්ට අදාළව, පංච උපාදානස්කන්ධ ධර්මයන්ට අදාළව පුංචි පුංචි පර්යේෂණ විවේකීව සිටින විට අත්හදා බලන්න. එවිට ඔබ තුළ ප්‍රඥාවට අදාළ ධර්මයන් කෙරෙහි ඡන්දය ඇතිවේවි. ගැහැනු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් ගැන සිත සිතා සිටිනවාට වඩා, රටේ ලෝකේ ඕපාදූපයක් ගැන සිත සිතා සිටිනවාට වඩා අනේ මම ඉපදුන නිසා නේද මේ ජරා, ව්‍යාධි, මරණ දුක යැයි සිතුවොත්, එම සිතුවිල්ල සප්ත බොජ්ඣඬ්ඟයන්ටමයි පාවඩ එළන්නේ. පිංවත, හිස් අවකාශය තුළ පාවඩයක් එළා තිබෙනවා. ඒ නිසල පාවඩය මත කවුරුවත්ම වඩින්නේ නැහැ. භව ගමන නිමා කළ අතීත ශ්‍රවකයෙක්ගේ මතකය පිළිබඳව අපේ මතක සටහනක් වෙන්න ඇති. ඒ ගමන නිමා කළ හිස් පාවඩය, භික්ෂුව ධර්මය කෙරෙහි ඡන්දයයි මේ ඔබ තුළ මෝදු කරන්නේ. පිංවත, එන්න නිදහසේ ධර්මයේ සුවය ලබන්නට, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පියාපත් සෙවනට. ශ්‍රද්ධාවේ, ශීලයේ, සමාධියේ, ප්‍රඥාවේ උණුසුමෙන් පංච උපාදානස්කන්ධ ලෝකය විනිවිද දකින්න. ලෝකය අපිට අයිති නැහැ. ලෝකය අයිති අවිද්‍යාවට. අපි අවිද්‍යාවේ මෙහෙකරුවෝ. අවිද්‍යාව අපිට ගෙවන වැටුප තමයි ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවන්. පෙරළා ඒ වැටුපත් අවිද්‍යාව විසින්ම උදුරා ගන්නවා. අපි හැමදාමත් සංස්කාරයන්ගෙන් අවිද්‍යාවටම ණය ගෙවනවා.

පිංවත, ඔබ ඔබේ ආදරණීය බිරිඳට, ස්වාමිපුරුෂයාට ආදරය කරද්දී බොහෝම පරිස්සමින්. ආදරය පසුපස හැම මොහොතකම අනාදරය සැඟවිලා තිබෙනවා. ඉන් අදහස් වෙන්නේ කුසලය පසුපස අකුසලය සැඟවී තිබෙනවාය කියන කාරණයයි. සිතුවිල්ලක් වේගවත් වෙලා, වචනයක් වැරදුණොත්, ඔබේ ආදරය අනාදරයක් වෙන්න පුළුවන්. එම නිසා වචනයෙන් වචනය හොඳින් සතිය සිහිය පිහිටුවා ගන්න. එවිට ඔබේ මනුෂ්‍ය ආදරය දිව්‍ය ආදරයක් බවට පත්වේවි. සශ්‍රීක දිව්‍යතල වලත් ආදරය නිසා ගොඩාක් ගැටුම්, විරහ වේදනාවන් තිබෙනවාය කියලා අතීතයේ පන්සිළු දෙවියා බුදුරජාණන් වහන්සේට විරහ වේදනාවෙන්ම දැනුම් දීමක් කළා. දිව්‍ය වේවා, මනුෂ්‍ය වේවා ආදරය යම් තැනක ද එතන තෘෂ්ණාව තිබෙනවා. තෘෂ්ණාව යම් තැනක ද එතැන දුක තිබෙනවා. පිංවත, ආදරයේ නිරෝධය උදෙසාම ආදරය කරන්න. ඔබේ ආදරය ආත්මීය සංඥාව මත නොව, උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දකින්න. රූපය අනිත්‍ය නම්, රූපය ඇසුරෙන් සකස්වෙන ආදරය අයිති අනිත්‍යයටමයි. රූපය අනිත්‍ය නම් රූපය ඇසුරෙන් සකස්වෙන විඳීම්, හඳුනා ගැනීම් අයිති අනිත්‍යයටමයි. ලස්සන ආදරය තුළින් විදර්ශනාමය ධර්මයක්ම දකින්න. එවිට ආදරය ඔබ ළඟ රැඳී, ආදරය කෙරෙහි කාමරාග, පටිඝයෝ ඔබෙන් නිදහස් වෙලා යාවි. පිංවත, මොහොතක් දෑස් පියාගෙන ආදරයේ නික්ලේශී රසය, තෘෂ්ණාවෙන් තොරව මොහොතක් ලබන්න. එය අනාගාමී උපතකට පුංචි අත්දැකීමක් වේවි. කලබල වෙන්න එපා. කාමරාග, පටිඝයෝ නිරෝධය කිරීමට පෙරාතුව, ඔබ ආදරය කෙරෙහි සක්කාය දිට්ඨිය නිරෝධය කරන්නට ඕනේ. ඔබ තුළ ඇය දකින, ඇය තුළ ඔබ දකින, ජාති ජාතිත් අපි යැයි දකින ආදරය කෙරෙහි මමත්වයේ දැඩිභාවය නිරෝධය කරන්නට ඕනේ. විඳීම් කෙරෙහි තෘෂ්ණාව වැඩිවෙනකොට ආදරය ගොඩාක් බොළඳ වෙනවා. ආදරය බොළඳ වෙද්දී භවය ගොඩාක් දීර්ඝ වෙනවා. ආදරය කියන පුංචි සිතුවිල්ල මොනතරම් නම් දුර ගමනක් ද, මොනතරම් නම් අනාගත දුක් සාගරයක් ද? පිංවත, ආදරයේ කෙටි ආශ්වාදය තුළ උපාදානය, භවය, ජාති, ජරා, ව්‍යාධි, මරණ සැඟවිලා තිබෙනවා. භික්ෂුව දෑස් පියාගෙන ආදරයට අදාළව අතීත පංච උපාදානස්කන්ධය නුවණින් දකිනවා. අතීත සංසාරයේ මම, මංගල පෝරු ලක්ෂ කීයකට සුභ නැකතින් නගින්නට ඇති ද? මේ සුළැඟිල්ල, ඔය සුළැඟිල්ල සමග රන් හුයෙන් බැඳෙන්නට ඇති ද? සංස්කාර පච්චයා විඤ්ඤාණං. සංස්කාර හේතුවෙන් සකස්වෙන දැනීම් අවිද්‍යාවට භාර නොදී, ආත්මීය සංඥාවෙන් ගත්තොත් ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේදීත් අවිද්‍යාවටම මංගල සීනු හැඬවෙනවා. පිංවත, ආදරයෙන් බැඳුණ ඔබේ විවාහ ජීවිතය දෙස ආදරයෙන්ම බලන්න. ඔබ දකින්නේ අනිත්‍ය වූ සංස්කාරයක් සමග අතින් අතගත් තවත් අනිත්‍ය වූ සංස්කාරයක් පමණක්මය. පිංවත, අවිද්‍යාව හරිම ගොරහැඬියි. අවිද්‍යාවේ ආයුෂ පරක් තෙරක් නොපෙනෙන ආකාශය වගේමයි. මේ ගොරහැඬි අවිද්‍යාවේ බැඳුන ආත්මීය මළකඩ පිරිසිදුකොට ඉවත් කිරීමට නම් ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ ශීලයෙන් ඉන්ද්‍රීය සංවර වූ සම්මා සමාධිමත් සිතක් තිබෙන්නටම ඕනේ. සම්මා සමාධියේ දී උපදින සප්ත බොජ්ඣඬ්ඟයෝ අවිද්‍යාවට කිරි පොවන පංච නීවරණයන් හඳුනා ගන්න ආලෝකමත් කැඩපත වෙනවා. පිංවත, එම කැඩපතෙන් ඔබේ ආදරය පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසිරුවා දකින්න. ආත්මීය දෘෂ්ටියේ වැරදි දැක්ම නිවැරදිකොට ගන්න. අවිද්‍යාව තිබෙන තුරා සංස්කාර තිබෙනවා. සංස්කාර තිබෙන තුරා දැනීම් තිබෙනවා. දැනීම් තිබෙන තුරා ඇය හෝ ඔහු මම ය, මගේ ම යැයි සිතා අයිතිකොට ගන්න දැනීම් ඇති වෙනවා. පිංවත, භව ගමනේ ආයෙමත් නම් අනිත්‍ය වූ සංස්කාරයක් සමග අතිනත ගන්න එපා. සංස්කාර අයිති අවිද්‍යාවට මිස ඔබට හෝ ඇයට නොවේ. අවිද්‍යාව ඔබ මගේ කොටගත්තොත්, සෙනෙහසේ නාමයෙන් ඔබට තුරුල් වෙන්නේ පංච නීවරණයෝමය.

ආදරය, අපි කාටවත් නැතිවම බැරි ආදරය. ආදරය අවිද්‍යාව විසින් “සංස්කාර” පෙන්වා වෙන්දේසියේ දමන ආදරය. ආදරයෙන් බැඳුණ දවසේ පටන් සංස්කාරයන්ට ණය ගෙවන ආදරය. පිංවත, රූපය ඵස්සයකට සීමා කළොත් විඳීමට ආදරයක් නැති වෙනවා. විඳීම යම් තැනක ද, එතැන යළි යළිත් ආදරය උපදිනවා.

පිංවත, ගස්වල ඵලබර අතු, ඵලබර නිසාම බිමට නැමෙනවා. ඵල නැති ගස්වල අතු කෙසේ නම් බිමට නැමෙන්න ද? මනුෂ්‍යකම්, කෘතවේදීකම්, නිහතමානීකම් ඇති මනුෂ්‍ය ජීවිත සත්පුරුෂ ලෝකයා ඉදිරියේ හිස නමන්නේ ලෝකයේ තවමත් ඉතිරි වී ඇති ඒ උතුම් මනුෂ්‍ය ධර්මයන්ට ගරු කරන්නමයි. හැමදාමත් උදෑසන පිණ්ඩපාත මඩුවට වඩිද්දී, පිංවත් ගම්වාසීන් ශබ්ද නගලා සුපටිපන්න ගාථාව සජ්ඣායනය කරනවා. ගාථා සජ්ඣායනය ඉවර වෙනතෙක්ම, භික්ෂුව බිමට හෙලූ දෑසිනුයි වැඩ සිටින්නේ. ඒ භික්ෂුවගේ බෙල්ලේ ආබාධයක් නිසා නොවේ. පිංවත් ගම්වාසීන්ගේ අහිංසක ශ්‍රද්ධාවට ගරු කරන්න. ඒ ශ්‍රද්ධාව තව තවත් ශක්තිමත් කොටදෙන්න. ඒ වගේමයි භික්ෂුව ඉදිරියට එන, භික්ෂුවගේම අතීත ප්‍රණීත සංස්කාරයන්ට ගරු කරන්න. පිංවතුන්ලාගේ ශ්‍රද්ධාව ඔසවා තබන්න. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය ශක්තිමත් කොටදෙන්න. භික්ෂුව ගොඩාක් නිහඬ කැපවීම් සිදුකොට තිබෙනවා. ඒවා තේරුම් ගන්න අවම වශයෙන් ලෞකික ප්‍රඥාවවත් අපේ ජීවිතය තුළ තිබෙන්නට ඕනේ. ලෞකික ප්‍රඥාව වේගයෙන් දුර්වල වෙන සමාජයක මෙය සටහන් තබන භික්ෂුවටත් අනාගතයේ දී ගොඩාක් සැලසුම්සහගත විවේචනයන්ට මුහුණ දෙන්න සිද්ධ වේවි. පිංවත, අසත්පුරුෂ ධර්මයෝ සියල්ල අවිද්‍යාවට භාරදීලා, අපි අපේ ගමන නිමා කරගනිමු.

අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.