ඉහත කී පරිදි මල් ආදිය ගෙන උදෑසනින් ම විහාරස්ථානයට ගොස් සිල් සමාදන් වී පූජා කරනු සඳහා ගෙන ආ මල් ආදිය පසෙක තබා සිල් දෙන භික්ෂූන් වහන්සේ වෙත එළඹ, පසඟ පිහිටුවා වැඳ උක්කුටියෙන් හෝ දන බිම ගසා හෝ හිඳ දොහොත් මුදුනේ තබා වැඳගෙන මේ වාක්‍යය කියා භික්ෂූන් වහන්සේගෙන් සිල් ඉල්ලනු.
අට සිල් සමාදන් වීම
සිල් ඉල්ලීමේ වාක්‍යය:
ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ:
අනුකම්පං උපාදාය. දුතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මෙ භන්තේ අනුකම්පං උපාදාය.
තතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ. අනුකම්පං උපාදාය.
සිල්දෙන භික්ෂූන් වහන්සේ විසින් “යමං වදාමි තං වදේථ” ය යි කී කල්හි “ආම භන්තේ” යි කියා, නමස්කාරය ද කියනු. ඉක්බිති භික්ෂූන් වහන්සේ කියවන පරිදි මතු දැක්වෙන සිකපද කියනු.
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
.
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
සිල් දෙන භික්ෂූන් වහන්සේ “තිසරණ ගමනං සම්පුණ්ණං” යි කී කල්හි “ආම භන්තේ” යි කියා උන් වහන්සේ කියවන පරිදි මේ සිකපද කියනු.
1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
3. අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි
4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
6. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි
7. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධවිලේපන ධාරණමණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
8. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මේ සිකපද අට කියවා නිම වූ පසු සිල් දෙන භික්ෂූන්වහන්සේ විසින් “තිසරණෙන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදෙන සම්පාදේථ” යි කී කල්හි “ආම භන්තේ” යි කියනු.
සිල් දෙන කෙනෙකු නැතිව තමා ම සිල් සමාදන්වන කල්හි සිල් ඉල්ලීමේ වාක්‍යය නො කියා නමස්කාරය හා “බුද්ධං සරණං ගච්ඡාමි” යනාදි පද නවය හා “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනාදි සිකපද අට ද කියා සිල් සමාදන් වනු. සිල් සමාදන් කරවීමේදී “අජ්ජ ඉමං ච දිවසං ඉමං ච රත්තිං අට්ඨංග සමන්නාගතං උපෝසථං උපවසාමි” යන වැකිය ද ඇතැම් හිමිවරු කියවති. සිල් දෙන භික්ෂූන් වහන්සේ කියවුව හොත් එය ද කියනු.
දස සීලය සමාදන් වීම
සිල් ඉල්ලන වාක්‍යය:-
ඕකාස අහං භන්තේ තිසරණේන සද්ධි ගහට්ඨ දස සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ, අනුකම්පං උපාදාය.
දුතියම්පි ඕකාස………………..
තතියම්පි ඕකාස………………..
සිල් පද :-
1.පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
2.අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
3.අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
4.මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
5.සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
5.විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
7.නච්ච ගීත වාදිත විසූකදස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
8.මාලා ගන්ධවිලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
9.උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
10. ජාතරූප රජත පටිග්ගහණා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මෙයට අයත් මුල් සිකපද නවය අටශීලයට අයත් සිකපද ම ය. විශේෂයෙන් ඇත්තේ අන්තිම සිකපදය ය. එහෙත් මේ ශීලය උසස් ශීලයෙකි. මෙය උත්කෘෂ්ට ලෙස සමාදන් වෙනවා න් තමාට අයත් රන් රිදී හා මුදල් කිසිවක් තබා නො ගෙන සමාදන් විය යුතුය. සාමාන්‍යයෙන් එක් දිනකට පමණක් සමාදන් වන්නහු විසින් තමා අයත් රන්රිදී හා මුදල් තිබෙන තැන්වල තිබෙන්නට හැර අලුතෙන් කිසිවක් නො පිළිගත යුතු ය. තිබෙන මුදල් පිළිබඳ සංවිධානයක් ද නො කළ යුතු ය.
අතිපූජ්‍ය රේරැකානේ චන්ද්‍රවිමල හිමි
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.