මනුෂ්‍යයාට ගොඩාක් ඵල ප‍්‍රයෝජන තිබෙන ගින්දර බොහෝම පරිස්සමෙන්, පරිහරණය කරන්න ඕනේ වගේම පින කියන කාරණය අපි බොහොම පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනේ. ගින්දර යම් සේ මනුෂ්‍යයාට අත්‍යවශ්‍යද, පිනද මනුෂ්‍යයාට අත්‍යවශ්‍ය සාධකයකි.
පරණිම්මිත වසවර්තිය කියන දිව්‍යථලය, වසවර්ති මාර පුත‍්‍රයාට අයත් දිව්‍යතලයයි. මෙම දිව්‍යතලයේ දිව්‍යසැප කොතරම්ද කියනවා නම් මනුෂ්‍ය ලෝකයේ අවුරුදු දෙදහක් එම දිව්‍යතලයට එක දවසක් කියලයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේසා අසිරිමත් අති දීර්ඝකාලීන සැපයක් බුක්ති විඳින පරණිම්මිත වසවර්තියේ බහුතරයක් දෙවිවරු සද්ධර්මයට ප‍්‍රියනැහැ. ඔවුන්ගේ ශබ්ද කෝෂයේ තිබෙන එකම වචනය, කාමයේ ආශ්වාදයයි. පෙර පින නිසාම ආදීනවය ඉක්මනින් ප‍්‍රකට වෙන්නේ නැහැ. අතීත පින්වල ශක්තිය විසින්ම ආශ්වාදයත්, ආදීනවයත් අතර තිබෙන පරතරය වැඩිකොට තිබෙනවා. පිනේ ශක්තිමත්භාවය විසින් ඇතිකරන්නා වූ ආශ්වාදය, හේතුවෙන් සකස් වෙන ආදීනවය ප‍්‍රමාද කිරිම හේතුවෙන් එම දිව්‍යතලයේ දෙවියන් තව තවත් ප‍්‍රමාදභාවයටමයි පත්වෙන්නේ. ආදීනවය ප‍්‍රමාදවීම හේතුවෙන් තමන් කරනා ක‍්‍රියාවේ හරි වැරැද්ද දකින්න, එම දෙවියන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
වසවර්ති මාර දිව්‍ය පුත‍්‍රයා ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මොනතරම් බාධාවන් සිදු කලාද, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකොට ගත් මොහොතේ මාරයා දැඩිව ප‍්‍රකාශ කරනවා. දැන් ඔබ වහන්සේ අවශ්‍ය කාරණය ඉටුකර ගත්තා. දැන් ඉතින් පිරිනිවන් පාන්නටය කියලා. ඒ වේලාවේ බුදුරජාණන් වහන්සේ පවිටු මාරයාට ප‍්‍රකාශ කරනවා මාරය ඔබ කී ආකාරයට මම පිරිනිවන්පාන්න සුදානම් නැහැ. මාගේ ශ‍්‍රාවකයින්, ධර්මධර, විනයධර ව්‍යක්ත වෙනතුරු අනුශාසනා කරන තුරු ධර්මය පතුරුවන තුරු, ධර්මයේ අර්ථයන් මතුකොට පෙන්වන තුරු මම පිරිනිවන් පාන්නේ නැහැය කියලා. බුදුරජාණන් වහන්සේගේ සිංහ නාදය සමඟ මාරයා පසුබැස යනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ආයුසංස්කාරය අතහරින මොහොතේදී ද, ඉහත කාරණා නැවත මතක්කොට දී පිරිනිවන් පාන්නට යැයි කියලා බලකෙරුවා. ඔබ වහන්සේ ජය ශ‍්‍රී මහා බෝධි මූලයේදී දේශනා කල කරුණු කාරණා දැන් සියල්ල පරිපූර්ණයි, ඔබ වහන්සේ දැන් පිරිනිවන් පාන්නටය කියලා. පවිටු මාරයා ඔබ කලබල වෙන්න අවශ්‍ය නැහැ තව නොබෝ දිනකින් මා පිරිනිවන් පාන බව බුදුරජාණන් වහන්සේ ප‍්‍රකාශ කළා.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මේසා බලවත් තර්ජන බලපෑම් කරමින් මාරයා සහ මාර පිරිවර අකුසල් සිදුකර ගනිත්දීත් මාරයා තුල කාමයේ ආශ්වාදයමයි මතුවී එන්නේ. අතීත පිනේ ශක්තිය නිසා ආදීනවය මතුකොට පෙන්වන්නේ නැහැ. පින ගින්දරක්ය කියන කාරණය මුලින්ම සඳහන් කලේ ඒ නිසාමයි. නමුත් අනාගතයේදී යම් දවසක වසවර්ති මාර දිව්‍ය පුත‍්‍රයා පින පිරිහිමට පත්වී සතර අපායට වැටුනොත්, ඔහු ආශ්වාදයෙන් මත්වී කරගත් සියළුම ප‍්‍රබල අකුසල් නිසා කල්ප ගණන් නිරයෙහි දුකට වැටීමට ඔහුට අනිවාර්යෙන්ම සිදුවෙනවා.
සද්ධර්මයේ සැබෑම අර්ථයන්ගෙන් මනුෂ්‍යයා ඈතට යන කොට ආමිසයට බර වූ පිංකම් තමයි මුල් තැනට එන්නේ. එවිට සමාජය තුලින් ධර්මයේ අර්ථයන් ගිලිහි යනවා. පිංකම් තුලින් ආශ්වාදයයි බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ ආශ්වාදය කියන ඵලය සෑම මොහොතකම අනිත්‍යයි කියලා දකින්න ඔබ දක්ෂවෙන්න. ආමිස පූජාවන්ගෙන් අපි ලබන ඵලය සෑම විටම නිත්‍ය සංඥාවන්ටයි අපිව යොමු කරන්නේ. පිංකම් සිදුකරනකොට සමාජයෙන් කීර්ති, ප‍්‍රශංසා, ගරු බුහුමන් ලැබෙනවා. ලකුණු ලබන ලකුණු එකතු කරන ගමනකුයි අපි යන්නේ. ලකුණු වැඩිවෙන කොට මමත්වයේ දැඞ්භාවයයි වර්ධනය වෙන්නේ.
භික්ෂුව දන්න වැඩිහිටි මහත්මයෙක් සිටියා. මොහු ඉතාමත් කැමැත්තෙන් උවමනාවෙන් පිංකම් විශාල ප‍්‍රමාණයක් සිදුකරගත්තා. මේ පිංකම් වල ඵලය නිසාම මොහුගේ ජිවිතයට කීර්ති, ප‍්‍රශංසා වේගයෙන් ගලාගෙන පැමිණියා. සමහර විට පිංවත් එම මහත්මයාට ඒවා දරාගන්න බැරිව ගියා. මේ අනිත්‍ය භාවයට පත් වෙන ලෞකික ආශ්වාදයන් මේ මහත්මයාම මොනතරම් මුලාවට පත් කලාද කියනවා නම්, ඔහුට හොඳ නරත පහදා දුන් කල්‍යාණමිත‍්‍රයාගේ අවවාදයන් අභිබවායන්න, එම පිංවත් මහත්මයා යොමුවුණා. බලන්න පින කියන කාරණය අර්ථවත්ව ජිවිතයට ගලපා නොගතහොත් එහි ඇති අනතුරුදායක භාවය විදර්ශනා නුවණ අපෙන් ඈත් කරන අධිමානය කියන කාරණය ආමිසය තුළ සැගවී තිබෙන්න පුළුවන්. පින බලවත් වෙනකොට ඔබ ලබන ආශ්වාදයේ ශක්තිමත් භාවය නිසාම ආදීනවය ප‍්‍රකට වෙන්න ප‍්‍රමාද වෙනවා. එම නිසාම පින නිසා ලැබෙන ආයුෂ, වර්ණ. සැප, බලය, ගින්දරක් වශයෙන් දකින්න. එවිට පින කියන කාරණය ප‍්‍රඥාව උදෙසා සැබෑම ආයෝජනයක් කරගැනීමට ඔබට පුළුවන්. කාලය වේගයෙන් ගෙවී යනවා. ඒ වේගයෙන්ම ලෝකය දුශ්ශීල භාවයට පත් වෙනවා. ආමිසය කෙරෙහි මනුෂ්‍යයා බැඳෙන කොට සැපය, බලය, වර්ණය මනුෂ්‍යයා තුල වැඩෙනවා. ඒ හේතුවෙන් සැපය,බලය,වර්ණය තව තව වැඩි කර ගැනීමේ තෘෂ්ණාව ඇති වෙනවා. මුල් අදියරේදී පිංකම් තුලින් ලබාගත් වර්ණය, සැපය, බලය දෙවැනි අදියරේදී ලෝහ,ද්වේශ,මෝහ, අකුසල් මූලයන් තුලින් ලබාගැනීමටයි උත්සහ ගන්නේ. මෙම බියකරු අනතුර නුවණින් දකිමින් ඔබ කරගත් පිංකම් වල ආශ්වාදයේ අනිත්‍යභාවය සිහිපත් කරමින් රාත‍්‍රී නින්දට යන්න. එවිට එම රාත‍්‍රිය යහපත් රාත‍්‍රියක් වේවි.
මතු සම්බන්ධයි!
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!