“මම වෙමි” යන හිතා ගැනීම ඇති තාක් සසර සකස් වෙනවා. ජාති ජරාමරණ සෝක වැළපීම් දුක් දොම්නස් උපායාස ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ මේ හිතා ගැනීම ඇති තාක් මාරයා සමග බැඳෙනව, හිතාගැනීම් නැත්තං මාරයාගෙන් මිදෙනව කියලයි. (මඤ්ඤමානො භික්ඛවෙ බද්ධො මාරස්ස, අමඤ්ඤමානො මුත්තො පාපිමතො). ‘මම’ කියන්නෙ නො වෙනස් වන නිත්‍ය ධර්මයක් හැටියට පුහුදුන් සිතට කල්පනා වෙනව. පුහුදුන් කාගේත් පැතුම ඒ ‘මම’ අමරණීය පිරිපුන් සැපතකට පත් කර ගන්නයි. ඒ අමරණීයත්‍වය මේ යයි නොයෙක් සංකල්ප ද ආගමික වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනව. නො දන්නා ප්‍රාසාදයකට නගින්න ඉනිමං බඳිනව වගේ නැතුව තමන්ට ම යෝනිසෝමනසිකාරයෙන් විමසා දැනගෙන සිහියෙන් කටයුතු කරන්න පුළුවන් දහමකුයි ඕන කරන්නෙ.
බුදුරජාණන් වහන්සේ වදාරණ දහම අනුව “මම වෙමි” කියන්නෙ හිතාගැනීමක් විතරයි. මම වන්නේ මෙන්න මේකයි කියල යමක් ගත්තත් ඒකත් හිතාගැනීමක් විතරයි. වන්නෙමි, නො වන්නෙමි, රූපී වන්නෙමි, අරූපී වන්නෙමි, සංඥී වන්නෙමි, අසංඥී වන්නෙමි, නෙවසඤ්ඤී නාසඤ්ඤී වන්නෙමි කියල ගත්තත් හිතාගැනීමක් විතරයි. මේ හිතා ගැනිල්ල රෝගයක්. ගඩුවක්. උලක්. මහණෙනි, ඒ නිසා හිතාගැනීම් නැති සිතින් වාසය කරමියි නුඹලා විසින් හික්මිය යුතුයි, කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනව
අස්මීති භික්ඛවෙ මඤ්ඤිතමෙතං, අයමහමස්මීති මඤ්ඤිතමෙතං, භවිස්සන්ති මඤ්ඤිතමෙත, න භවිස්සන්ති මඤ්ඤිතමෙතං, රූපී භවිස්සන්ති මඤ්ඤිතමෙතං, අරූපී භවිස්සන්ති මඤ්ඤිතමෙතං, සඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතමෙතං, අසඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතමෙතං, නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතමෙතං, මඤ්ඤිතං භික්ඛවෙ රොගො මඤ්ඤිතං ගණ්ඩො මඤ්ඤිතං සල්ලං, තස්මාතිහ භික්ඛවෙ අමඤ්ඤමානෙන චෙතසා විහරිස්සාමාති, එවං හි වො සික්ඛිතබ්බං.
( සංයුත්ත නිකා යවකලාපී සූත්‍රය)
අපි මේ සසර කල්ප ගණන් ජරාමරණ දුකට, දුගති දුක් වලට, සෝ වැළපුම් වලට පත්වුණේ, “මම වෙමි” යන්න හිතා ගැනීමක් විතරයි කියල නො දැන සිටි හින්‍ද. ‘මම’ කියන්නෙ හිතා ගැනීමක් විතරක් බව නො දන්න හින්‍ද වෙච්ච වැඩේ. ඒ බව නො දන්න හින්‍දයි මම, මගේ කියන චින්තාවෙන් ඉදිරියට පැනල ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිත, කය, වචනය හැසිරෙව්වෙ. නවකර්ම හද හද අප්‍රමාණ දුක් කන්‍දරාවක් විඳල තියෙන්නෙ. තාමත් විඳින්නෙ. පුහුදුන් සිත නැවත නැවතත් භවය සකස් කරන්න ම යි හිතන්නෙ (අස්සුතවා පුථුජ්ජනො ආයතිං පුනබ්භවාය චෙතෙති). මෙය දෙවියකුගෙ වැඩක් වත්, අහේතුක සිදුවීමක් වත් නො වෙයි. මෙතන තියෙන්නෙ හේතුප්‍රත්‍ය සම්බන්‍ධතාවක්. බුදුරජාණන් වහන්සේ ඒ සත්‍යය තේරුම් අරගෙන අපට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් කරුණාවෙන් දේශනා කරල තියෙනව. අපි ඒ හේතුප්‍රත්‍ය සම්බන්‍ධතාව ටිකක් විමසල බලමු.
“මම වෙමි” කියන හැඟීම තියෙනව නම් තණ්හාව ක්‍රියාත්මකයි. තණ්හාවයි පුද්ගලත්‍වය උපදවන්නේ (තණ්හා ජනෙති පුරිසං). තණ්හා කරන්නෙ වින්‍දන වලට (වෙදනා පච්චයා තණ්හා). තණ්හාව නිසා අල්ලගන්නව (තණ්හා පච්චයා උපාදානං). අල්ලගන්න නිසයි සත්වයා කියන්නේ. රූප, විඳීම්, හැඳිනීම්, චේතනා, දැනීම් වලට කැමැත්තෙන් රාගයෙන්, සතුටුවීමෙන්, තණ්හාවෙන් ඇලෙන හින්‍දයි සක්තයා කියන්නෙ
රූපෙ.. වෙදනාය.. සඤ්ඤාය.. සඞ්ඛාරෙසු,. විඤ්ඤාණෙ යො ඡන්දො යො රාගො යා නන්‍දි යා තණ්හා තත්‍ර සත්තො තත්‍ර විසත්තො තස්මා සත්තොති වුච්චති.
( සංයුත්ත නිකාය, සත්ත සූත්‍රය,)
ඇලෙන්නෙ තණ්හාව හින්දයි. ඇලෙන්නයි සසරට එළඹෙන්නෙ (සත්තො සංසාරමාපාදි). (සංයුත්ත නිකාය පඨමජනෙති සූත්‍රය) ඇලෙන්නෙ ආයතන හයේ නිමිති වශයෙන් ගන්න උපාදාය රූප වලට. මැරුණත් ආයෙ උපදින්නෙ උපාදානය හින්‍ද. උපාදානයට ප්‍රත්‍යය වෙන්නෙ තණ්හාව. ආත්මයක් හින්ද නෙවෙයි. තණ්හාව පුනර්භවය ඇති කරන ශක්තියෙන් යුක්තයි. “තණ්හා පොනොභවිකා නන්‍දිරාග සහගතා තත්‍රතත්‍රාභිනන්‍දිනී” කියල විස්තර වෙන්නෙ ඒ හින්‍දයි. තණ්හාව මේ මොහොතෙත් භවය හදනව. මියයන මොහොතෙත් ඊ ළඟ භවයට නාමරූප නිමිති අල්ලනව. ආත්ම පදාර්ථයක සංක්‍රමණයක් නැතුව තණ්හාව උපාදානය ඔස්සේ භවය හදන ආකාරයයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නෙ. වච්ඡගොත්ත පිරිවැජියාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනන්නෙ “උපාදානය ඇත්තාටයි මම උපතක් පෙන්වන්නෙ, උපාදාන නැත්තහුට නො වේ” කියලයි
ස උපාදානස්ස ඛො’හං වච්ඡ උප්පත්තිං පඤ්ඤාපෙමි, නො අනුපාදානස්ස.
(සංයුත්ත නිකාය කුතූහලසාලා සූත්‍රය)
උපාදාන කියන්නෙ අල්ල ගැනීම කියන එකයි. උපාදානය වෙන කම් “මම වෙමි” කියන පැනවීම වෙනව. උපාදානය නැත්තං පැනවෙන්නෙ නෑ. (උපාදාය ඛො ආනන්‍ද අස්මීති හොති නො අනුපාදාය). මොකක් අල්ලගෙන ද මම මැවෙන්නෙ? රූපය අල්ලගෙන ‘මම වෙමි’ යන්න වේ. අල්ලගත්තෙ නැත්තං මැවෙන්නෙ නෑ. ඔය විදියට වින්‍දනය, හැඳිනීම, චේතනා (සංඛාර), දැනීම (විඤ්ඤාණ) අල්ලාගෙන “මම වෙමි” යන්න වෙනව
රූපං… වෙදනං… සඤ්ඤං …. සඞ්ඛාරෙ…. විඤ්ඤාණං උපාදාය අස්මීති හොති නො අනුපාදාය). (සංයුත්ත නිකාය ආනන්‍ද සූත්‍රය,
මේ ස්කන්‍ධ වලට බැඳිල නිසා පුහුදුන් පුද්ගලයා සසර ගැන දන්නෙ නැතුව (අතීරදස්සී) නිවන ගැන දන්නෙ නැතිව (අපාරදස්සී) ස්කන්‍ධ වලට බැඳිල ම උපදිනව (බද්ධො ජායති). බැඳිල ම මියයනව (බද්ධො මීයති). බැඳුනේ මෙලොවින් පරලොවට යනව (බද්ධො අස්මා ලොකා පරං ලොකං ගච්ඡති).
( සංයුත්ත නිකාය, බන්‍ධන සූත්‍රය,)
රූප, විඳීම්, හැඳිනීම්, චේතනා, දැනීම් ස්කන්‍ධ සකස් වෙන්නෙ ඇස, කන, නැහැය, දිව, කය, මන කියන ඉඳුරන්ගෙන් නිමිති ස්පර්ශ වෙන කොට. පුහුදුන් කෙනාට හිතෙනව රූප, විඳීම්, හැඳිනීම්, චේතනා, දැනීම් තමා ය කියල. තමා ඒවා සහිතයි කියල. ඒවායේ තමා ඉන්නව කියල. තමා තුළ ඒවා තියෙනව කියල. මෙහෙම දකින කෙනාට ‘මම වෙමි’ කියන හැඟීම දුරු වෙන්නෙ නෑ. “වෙමි යන්න දුරු වෙලා නැතුවම ඇහැ, කන, නැහැය, දිව, කය කියන පසිඳුරන්ගේ ඉපදීම වෙනව. ඒවා අත්දකින මනසත් තියෙනව. අරමුණුත් තියෙනව. “අරමුණු ඇත” කියන අවිද්‍යාවත් තියෙනව. අවිද්‍යා ස්පර්ශයෙන් හටගන්න වේදනාව අත්දකින අශ්‍රැතවත් පෘථක්ජනයාට “මම වෙමි” කියල සිතෙනව. “මෙය මම වෙමි” කියල හිතෙනව. දැන් මම වෙමියි කියල හිතෙනව වගේ ම මතු මතුත් මම වෙමියි කියල හිතෙනව. රූපී වන්නේමි, අරූපි වන්නෙමි, සඤ්ඤී වන්නෙමි, අසඤ්ඤී වන්නෙමි, නෙවසඤ්ඤීනාසඤ්ඤී වන්නෙමි කියල හිතෙනව
අස්මීති ඛො පන භික්ඛවෙ අවිගතෙ, පඤ්චන්නං ඉන්‍ද්‍රියානං අවක්කන්ති හොති: චක්ඛුන්‍ද්‍රියස්ස … කායින්‍ද්‍රියස්ස. අත්‍ථි භික්ඛවෙ මනො අත්‍ථි ධම්මා, අත්‍ථි අවිජ්ජාධාතු. අවිජ්ජාසම්ඵස්සජෙන භික්ඛවෙ, වෙදයිතෙන ඵුට්ඨස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස අස්මීතිපිස්ස හොති අයමහමස්මීතිපිස්ස හොති භවිස්සන්තිපිස්ස හොති. රූපී .. අරූපී… සඤ්ඤී… අසඤ්ඤී …නෙවසඤ්ඤීනාසඤ්ඤී
භවිස්සන්තිපිස්ස හොති.
( සංයුත්ත නිකාය සමනුපස්සනා සූත්‍රය,)
දැන් මේ මැවෙන්නෙ සසර. පුහුදුන් සිත ඇහැ, කන, නැහැය, දිව, කය, මන කියන ඉඳුරන්ගෙන් ලබන රූප, ශබ්ද, ගන්‍ධ රස, ස්පර්ශ, ධම්ම වශයෙන් තමන්ට ප්‍රිය අත්දැකීම් නැවත නැවතත් අනුභවයට කැමතියි. (අස්සුතවා පුථුජ්ජනො ආයතිං පුනබ්භවාය චෙතෙති) ඒ කැමැත්ත ඇති තාක් සසර සකස් වෙනව. තමන් කැමති දේ විඳින්න ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සිත කය වචනය හසුරුවන නිසා නොයෙක් පව්කම් කරල දුගති වලටත් වැටෙන එකේ ඉවරයක් නෑ. පිනේ හැටියට සුගති සැපත් ලබනව. පුහුදුන් සිත සියලු ආකාර සිතින් නිපදවීම්වලට නැඹුරුයි. මුලුමහත් සසර ම සිතින් නිපදවූවකට වැඩියමක් නො වෙයි. මේ සංසාරෙ කියන්නේ සිත පිළිබඳ කරුණක්. සමනුපස්සනා සූත්‍රයේ සසර නිම කළ රහතන් වහන්සේ ගැන කියන්නෙ මෙහෙමයි. “මහණෙනි, මේ පඤ්ච ඉන්‍ද්‍රියයන් තියෙද්දී ම ඒවා පිළිබඳ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේ අවිද්‍යාව ප්‍රහීණ වෙනව. විද්‍යාව උපදිනව. අවිද්‍යා විරාගයෙන් විද්‍යාව ඉපැදීමෙන් ඔහුට “මම වෙමි” යන්න වෙන්නෙ නෑ”
තිට්ඨන්තිඛො පන භික්ඛවෙ, තත්ථෙව පඤ්චින්‍ද්‍රියානි, අථෙත්‍ථ සුතවතො අරියසාවකස්ස අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති, තස්ස අවිජ්ජා විරාගා විජ්ජුප්පාදා අස්මීති’පිස්ස න හොති.
(සමනුපස්සනා සූත්‍රය)
උපන් විද්‍යාව පිරිපුන් වුණා නම් ඒ තමයි රහත් භාවය. එතකොට සසරක් මැවෙන්නේ ඉන්‍ද්‍රිය අත්දැකීම් ‘මගේ’ ය අත්දකින්නා ‘මම’ ය යන්න මඤ්ඤනාව, එහෙම නැත්තම් හිතාගැනීම නිසා, කියන එක දැන් තේරෙනව. ඉතින් ඒක තේරුණාට ම සසර නතර වෙන්නෙ නෑ. ඒකට මඤ්ඤනා නො කරන්න පුහුණු වෙන්න ඕන. අපි මේ උත්සාහ ගන්නෙ ඒ පුහුණුව පහසු වෙන්න දැනගතයුතු දහම් කරුණු හඳුනා ගන්න. උපාදානය ඇති තාක් සසර සකස් වෙන හැටි අපි තවදුරටත් විමසල බලමු.
මුලුමහත් සංසාරය ම සකස් වෙන්නෙ ආයතන අත්දැකීම් ක්‍රමයක් හැටියට. බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාරණව. “මහණෙනි, අවිද්‍යා නීවරණය ඇති, තණ්හාවෙන් යුක්ත බාලයාට මේ කය මෙසේ හටගත්ත. මෙසේ මේ කයත් බාහිර නාමරූපත් කියන දෙකක්. ඒ දෙක හේතු කරගෙන ස්පර්ශය වෙනව. ආයතන හයෙන් කවරකින් හෝ ස්පර්ශ වුණ ස්පර්ශයෙන් බාලයා සුවදුක් විඳිනව”
අවිජ්ජානිවරණස්ස භික්ඛවෙ, බාලස්ස තණ්හා සම්පයුත්තස්ස එවමයං කායො සමුදාගතො. ඉති අයඤ්ච කායො බහිද්ධා ච නාමරූපං ඉත්ථෙතං ද්වයං. ද්වයං පටිච්ච ඵස්සො, සළෙවායතනානි යෙහි ඵුට්ඨො බාලො සුඛදුක්ඛං පටිසංවෙදියති, එතෙසං වා අඤ්ඤතරං.
මෙතන බාලයා කිව්වෙ අවිජ්ජා තණ්හා දෙක නිසා කයක් අල්ලගත්ත පුහුදුනාට. මව්පිය සබඳතාවෙන් වෙන්නෙ මේ කයේ මූලබීජය සකස් වීමයි. කලින් සාකච්ඡා කරපු තිත්‍ථායතන සූත්‍රයේ දුක පැණවෙන තැන විස්තරය නැවතත් සිහියට අරගන්න. සංසාර සත්වයෙක් ඒක අල්ල ගත්තොත් තමයි, වැඩෙන්නෙ. කයයි, බාහිර නිමිති පිළිබඳ නාමරූපයි ස්පර්ශ වෙමින් ආයතන හයකින් සුවදුක් විඳිනව. මේ බාලයාගෙ අවිද්‍යාව ප්‍රහීණ වෙලත් නෑ. තෘෂ්ණාව ක්‍ෂය වෙලත් නෑ. ඒ ඇයි? බාලයා තාම දුක් කෙළවර කරන්න බඹසර හැසිරිලා නෑ. ඒ හින්‍ද බාලයා කය බිඳීමෙන් තවත් කයකට යනව. කයට එළඹුණ හින්‍ද ජාති ජරාමරණ සෝක වැළපීම් දුක් දොම්නස් උපායාස දුක් වලින් මිදෙන්නෙත් නෑ
න හි භික්ඛවෙ බාලො අචරි බ්‍රහ්මචරියං සම්මා දුක්ඛඛයාය. තස්මා බාලො කායස්ස භේදා කායූපගො හොති. සො කායූපගො සමානො න පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
(සංයුත්ත නිකාය බාලපණ්ඩිත සූත්‍රය,)
උපාදානය කියන ස්වභාවය බලගතු හින්‍දයි මිදෙන්නෙ නැත්තෙ. මෙතැන සිදුවන ක්‍රියාවලිය තේරුම් ගන්න අපට පුළුවන් දැල්වෙන ගින්නක උපමාවෙන්. “උපාදානය ඇත්තහුට උපතක් පණවමි, උපාදාන නැත්තහුට නො වේ”, කියල කුතූහලසාලා සූත්‍රයේ සඳහන් වෙන බව යට සඳහන් කළා නෙ. එතන උපමාව “යම් සේ වච්ඡ, උපාදානයක් ඇති කල්හි ගින්න දැල්වෙනව, උපාදානයක් නැති කල්හි දැල්වෙන්නෙ නෑ” (සෙය්‍යථාපි වච්ඡ අග්ගි සඋපාදානො ජලති, නො අනුපාදානො) කියන එකයි. ගින්නට දර දාන්නෙ නැත්තං ගින්නට නිවෙන්න වෙනව. සත්‍වයකුට පැවැත්මක් ඇති වෙන්නේ ගින්නට දර දානව වගේ අරමුණු විඳිමින් තණ්හා උපාදානයට වැටෙන හින්‍ද. ඉතින් ප්‍රතිඵලය භවය තමයි. ජාති ජරාමරණ තමයි. නුවණ මදකම හින්‍දයි, නැවත නැවතත් මව්ගැබක් කරා යන්නෙ (පුනප්පුනං ගබ්භමුපෙති මන්දො). නැවත නැවතත් උපදින්නෙ. මියයන්නෙ (පුනප්පුනං ජායති මීයති ච). නැවත නැවතත් සොහොනට ගෙනියන්නෙ (පුනප්පුනං සීවථිකං හරන්ති). ඉන්‍ද්‍රිය අත්දැකීම් පිළිබඳ වින්‍දනවලට තණ්හා උපාදාන කරන්නෙ නැත්නම් නිවන කියන්නෙ එතැනයි. ධර්මය සන්‍දිට්ඨිකයි කියන්නෙ ඒකයි. තථාගතයන් වහන්සේ කරුණු කියල දෙන්නෙ අපට තේරුම් ගන්න පුළුවන් මට්ටමට. නැවත නැවතත් භවයට නො ඇදෙන විදියට මාර්ගය ලබන නුවණැත්තා නැවත නැවතත් උපදින්නෙ නෑ (මග්ගං ච ලද්ධා අපුනබ්භවාය න පුනප්පුනං ජායති භූරිපඤ්ඤො).
( සංයුත්ත නිකාය උදය සූත්‍රය,)
තෙරුවන් සරණයි.
(අතිපූජනීය කොස්වත්තේ අරියවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ”සමස්ත සිතුවම” කෘතිය)