ප්‍රිය විප්‍රයෝග දුක්ඛය.

ආදරයෙන් රැස් කොට ආරක්ෂා කරගෙන සිටින ධනයෙන් හා පුත්‍ර‍ භාර්‍ය්‍යාදි පුද්ගලයන්ගෙන් ද වෙන් වීම ප්‍රිය විප්‍රයෝග දුක්ඛය යි.

ධනය වනාහි වියදම් වීමෙන් ද සොරුන් විසින් රජුන් විසින් පැහැර ගැනීමෙන් ද ගිනි දිය ආදියට අසුවීමෙන් ද හිමියාගෙන් වෙන් වෙන දෙයකි. හිමියා වෙත යම් ධනයක් ඉතිරි වුව ද මරණයට පැමිණීමෙන් ඔහු එයින් ඒකාන්තයෙන් වෙන් වන්නේය. පුත්‍ර‍ කලාත්‍රාදි ප්‍රිය පුද්ගලයන් හා වාසය කරන තැනැත්තාට තමාට ඔවුන් හැර අන් පෙදෙසකට යන්නට සිදුවීමෙන් ද ඔවුන් තමා හැර යාමෙන් ද, මරණයට පැමිණීමෙන් ද ඔවුන්ගෙන් වෙන් වන්නට සිදු වේ. තමාගේ මරණයෙන් හෝ වෙන් වන්නට සිදුවේ.

එබැවින් ප්‍රිය විප්‍රයෝගය ද සසර සැරිසරණ පුද්ගලයා හට ජාතියක් පාසා ම සිදු වන දෙයකි. එය ම ඒකාන්තයෙන් දුකක් නො වතුදු බොහෝ කායික මානසික දුක්ඛයන්ට හේතුවන බැවින් එය දුකකි. එහි උග්‍ර‍තාවය කොතෙක් ද කියතහොත් සමහරු රෝගී වෙති. සමහරු මිය යති. සමහරු සිය දිවි නසා ගනිති.

____________________________________

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.