නිර්වාණ සුඛයෙහි උසස් බව.

නිවනෙහි කාම සුඛය සම්පූර්ණයෙන් ම නැත. කිසි ම කාම වස්තුවකුදු එහි නැත. නිර්වාණය ම විමුක්ති සුඛය ය. එබැවින් එය කිසියම් ආකාරයකින් ප්‍ර‍මාණ කළ හැකි ද්‍ර‍ව්‍යයක් ද නො වේ.

එය සත්ත්වයන්ට ආධාරස්ථානයක් වශයෙන් කථා කරනුයේ ව්‍යවහාර පහසුව පිණිස ය. නිර්වාණ සංඛ්‍යාත විමුක්ති සුඛයාගේ වටිනාකම කෙලෙසකින්වත් ප්‍ර‍මාණ කළ නො හේ.

දින ගණනකින් ඒකාන්තයෙන් මරණයට පමුණුවන දරුණු රෝගයක් යම් කිසිවකුට වැළඳුන හොත් ඒ රෝගය සුව කිරීමට සමර්ථ වෛද්‍යවරයා එක් කෙනෙක් ම නම්, ජීවිතාශාව ඇති රෝගියා තමාගේ සකල සම්පත්තිය ම වුව ද ඒ වෙදැදුරාට දී රෝගය සුව කරවා ගෙන මරණයෙන් විමුක්තිය ලබා ගන්නේය.

ඒ රෝගියා සිටුවරයෙක් නම්, සියලු සිටු සම්පත ම නො දෙත හොත් රෝගයට පිළියම් නො කළ හැකි ය යි වෛද්‍යවරයා කියා නම්, ඔහු මුළු සිටු සම්පත ම දී මරණයෙන් විමුක්තිය ලබා ගන්නේ ය.

රෝගියා රජකු වී නම් රාජ්‍යය වුව ද දී මරණයකින් ම මිදීම ලබා ගන්නේ ය.

මෙසේ බලන කල්හි එක මරණයකින් මිදීම වූ විමුක්ති සුඛය ම සිටු සම්පතක් පමණ ද රජ සම්පත් පමණ ද වටිනා බව කිව යුතුය.

නිවනට නො පැමිණ විසුව හොත් අනාගතයෙහි එක් සත්ත්වයකුට ම ඒ ඒ ජාති වලදී පැමිණෙන මරණ සියයක් දහසක් ලක්ෂයක් කෝටියක් නො ව අනන්ත ය. එක මරණයකින් නිදහස් වීම ම රාජ්‍යයක් තරම් වුව ද වටිනා කල්හි අනන්තාපරිමාණ මරණයන්ගේ විමුක්තිය වූ නිවන් සුඛය කොතෙක් නො වටී ද? එහි වටිනාකම කවරෙකුට කෙලෙසින් නියම කළ හැකි වේ ද? නො හැකි ම ය.

එක මරණයකින් මිදීමේ වටිනාකම ශතයක් පමණ වේ යයි සලකා ගණන් බැලුයේ ද නිවන් සුවයේ වටිනාකම ප්‍ර‍මාණ කළ නො හේ. නිවනට පැමිණීමෙන් ලැබෙනුයේ මරණ දුඃඛයෙන් මිදීම පමණක් නො වේ. ඇති තාක් සියලු ම දුක් වලින් නිදහස් වීම නිවනය. මරණ දුකින් නිදහස් වීමේ වටිනාකම ම පිරිසිඳිය හැකිද? නොහැකි ම ය.

____________________________________

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.