ධර්මයට කීකරු ද? නැතිනම් අකීකරු ද?

පිංවත, ඔබ වයෝවෘද්ධ අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් ද? පිංවත් ඔබ දෙපළ ගොඩාක් සමගියෙන් නේද ජීවත් වෙන්නේ? කවුරුන් හෝ කිව්වොත් මම ඔබලාට ආයෙමත් තරුණකම ලබා දෙනවාය කියලා, ඔබලා එක පයින් ඊට කැමති වෙනවා නේ ද? තරුණකමට කවු ද අකමැති? සමහරක් පිංවත් වයෝවෘද්ධ සිත්, තවමත් හරිම තරුණයි. ලස්සනට ඇඳුම් පැළඳුම්, රන් ආභරණ පළඳින්න, විනෝද වෙන්න, සතුටු වෙන්න, යහළු යෙහෙළියෝ ඇසුරු කරන්න තවමත් කැමති වයෝවෘද්ධ දෙමාපියන් කොච්චර නම් සිටිනවා ද? සමහර වයෝවෘද්ධ දෙමාපියන් දරුවන්ට කියනවා, පුතේ මට සුවඳ තිබෙන පවුඩර්, සුවඳ විලවුන් ගෙනත් දෙන්නය කියලා. වයසින් වයෝවෘද්ධ වුණත්, තරුණ කාලයේ දී රූපය කෙරෙහි ඇතිකොටගත් ආශ්වාදය, තවමත් වයසට ගිහින් නැහැ. බුදුරජාණන් වහන්සේ වයෝවෘද්ධ දෙමාපියන්ට දේශනාකොට තිබෙන්නේ තමන්ගේ දුවා දරුවන් ආවාහ විවාහ කොට දුන්නට පස්සේ, වයෝවෘද්ධ දෙමාපියන්ගේ වගකීම වෙන්නේ, තමන්ගේ ඊළඟ පටිච්චසමුප්පන්න උපතට සූදානම් වෙන්නය කියලා. තම දරුවන්ගේ වගකීම් වලින් නිදහස් වූ දෙමාපියනි, පිංවත් ඔබලා ඉහත බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කීකරු ද, එසේත් නැතිනම් අකීකරු ද?

ලෝකයේ ජීවත්වෙන බහුතරයක් වයෝවෘද්ධ පිංවතුන්ලා තම සැඳෑ සමය විවේකයෙන් ගත කරන්නේ. සැඳෑ සමය විවේකයෙන් පමණක් ගත කරල හරියන්නේ නැහැ. ඒ විවේකය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වෙන්න ඕනේ. පිංවත් වයෝවෘද්ධ දෙමාපියනි, ඔබලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරලා, සම්මා සතිය ඇතිකොට ගන්න ඕනේ. සම්මා සතියයි ඔබලාට කියලා දෙන්නේ, මෙතෙක් ජීවිතය තුළින් ඔබ අත්වින්ද සියළුම ප්‍රණීත සහ අප්‍රණීත සංස්කාරයෝ වෙනස් වෙලා යනවාය කියලා. මෙන්න මේ ඇත්ත දැක්මයි, පිංවත් ඔබට නිසල සමාධිමත් සිතකට පාර කියන්නේ. මේ නිසල සමාධිමත් සිත, තාමත් වයෝවෘද්ධ ඔබට ප්‍රමාදී නම්, ඉන් අදහස් වෙන්නේ, තාමත් අපි, කාමච්ඡන්දයන්ට ගොඩාක් කැමතියි කියලා. පිංවත් දරුවන් නිරතුරුවම අපිට ඇවිත් කියනවා, අපේ දෙමාපියන් මරණය ගැන සිතනවා ගොඩාක් අඩුයි කියලා. මරණය ගැන නුවණින් මෙනෙහි කිරීම අඩුවෙනකොට, අපේ ජීවිතවල වටිනාකම ගොඩක් අඩු වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ අපේ ජීවිතවල වටිනාකම වැඩිකොට දෙන්න. පිංවත් මනුෂ්‍ය ජීවිතයක්, දිව්‍ය ජීවිතයක් බවට පත්කොට දෙන්න. පිංවත් මනුෂ්‍යයෙක්, බ්‍රහ්මයෙක් බවට පත්කොට දෙන්න. පිංවත් මනුෂ්‍යයෙක්ගේ ජරා, ව්‍යාධි, මරණ දුක නිරෝධය කොටදෙන්න. බලන්නකෝ ජීවිතයක තිබිය යුතු සැබෑම වටිනාකම. ඒත් සමහරක් පිංවත් වයෝවෘද්ධ දෙමාපියන්ට නම්, සියල්ලටම වඩා වටින්නේ මාසේ විශ්‍රාම වැටුපයි. විශ්‍රාම වැටුප් දිනය එනතෙක් කැලැන්ඩරයේ දින ගනිනවා. හදිස්සියේම අපේ දෑස් පියවුණොත් අපේ උපාදානයන්ගෙන් බැඳී ගිය පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, තැපැල් කන්තෝරුව ළඟම, බැංකුව ළඟම නතර වෙන්න පුළුවන්.

පිංවත, උපාදානය යැයි කියන්නේ, තෘෂ්ණාව හේතුවෙන් සකස්වෙන බැඳීයෑම් වලට. වයෝවෘද්ධ දෙමාපියන් වැඩිපුරම බැඳී යන්නේ කාම උපාදානයන්ට. වයස අවුරුදු හතේ දී උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ විශාකා උපාසිකාවට කාම උපාදානයන් නිසාම මරණාසන්න මොහොතේදීවත් උතුම් සකෘදාගාමී ඵලයට පත්වෙන්න නොහැකි වුණා. නකුල පියා බුදුරජාණන් වහන්සේට කියනවා, ඊළඟ ජීවිතයේදීත් නකුල මාතාව මගේ බිරිඳ කරගැනීමට මාර්ගය කියල දෙන්නටය කියලා. බලන්නකෝ සෝවාන්ඵලයට පත් වූ පිංවතුන්ලා තුළත් තෘෂ්ණාව හේතුවෙන් කාම උපාදානයන් ඇතිවෙන අපූරුව. පිංවත, උතුම් අනාගාමීඵලයට පත් වූ සමහරක් ස්වාමීන් වහන්සේලාත්, තමන් තුළ තිබෙන අනුශය තෘෂ්ණාව නිරෝධය නොකර, අපවත්වීමෙන් පසු අනාගාමී බ්‍රහ්ම තලවල ඉපදීමේ කැමැත්ත ඇතිකොටගත් අවස්ථා තිබෙනවා. මෙවැනි ස්වාමීන් වහන්සේලාටයි බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ, අශූචි බිඳත්, අශූචි කන්දත් එකම දුගඳකින් යුක්තය කියලා. පිංවත, උපාදානයෝ පරිපූර්ණ වශයෙන් නිරෝධය නොකළ පංච උපාදානස්කන්ධ ලෝකය හරිම භයානකයි. වයෝවෘද්ධ දෙමාපියනි, ජීවිතය ආශ්වාදය තුළ පමණක් දකින්නට එපා. කාම උපාදානයන් පෝෂණය කොටදෙන දුවා දරුවන්, මුනුපුරු, මිනිබිරියන්, දේපළ, ඉඩකඩම්, සමාජයීය බැඳීම්, විශ්‍රාම වැටුප, තමන්ගේ සළායතනයෝ, මම ය, මගේ ය, මගේ ආත්මය යැයි දකින්න එපා. සිතුවිල්ලෙන්, සිතුවිල්ල බැඳීයෑම් වලින් ඔබේ වයෝවෘද්ධ ජීවිතය ලිහා ගන්න. බැඳීයාම් වලින් නිදහස්ව ලබන ආර්ය විවේකය මොනතරම් නම් නිදහස් දෙයක් ද? සමහරක් වයෝවෘද්ධ දෙමාපියන් සමාජ සේවයට හරිම කැමතියි. සමාජ සේවය කාම උපාදානයන්ට ලොකු ජවයක් දෙනවා. සමාජ සේවය මාරයාගේ ඇස් බැන්දුමක්.

වයෝවෘද්ධ දෙමාපියනි, ඔබලාගේ සමාජ සේවය විය යුත්තේ, ඔබේම ජීවිතය මේ ජරා, ව්‍යාධි, මරණ දුකෙන් මුදා ගැනීමයි. පිංවත, කෙලෙස් සහිත ලෝකය පූර්වාදර්ශයට ගන්න එපා. නික්ලේශී බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාම පූර්වාදර්ශයට ගන්න. වයෝවෘද්ධ දෙමාපියනි, සැමවිටම තමා, තමාම වෙන්න. තමා තමන් නොවී, තමන් අනුන් වෙන්නට ගියොත් කවදාකවත්ම තමාට, තමා අවබෝධ කොටගන්න බැරි වෙනවා. වයෝවෘද්ධ දෙමාපියනි. ඔබලා වයසට ගියත්, එසේත් නැතිනම් තවමත් ඔබලා තරුණ යැයි සිතුනත්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා, කවදාකවත් වයසට යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කවදාකවත් තරුණ වෙන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හැමදාමත් ජීවත් වෙන්නේ, අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං. පිංවතුනි, මෙයයි ශ්‍රාවකයාගේ ජීවිතය; මෙයයි ශ්‍රාවකයාගේ ඥාන දර්ශනය; මෙයයි ශ්‍රාවකයාගේ විමුක්තියේ මාර්ගය. පිංවත, හරිම ලස්සන ලෝකයක්, කෙලෙස් අවලස්සන නැතිනම්.

පිංවත් වැඩිහිටි දෙමාපියනි, ඔබලාට පුළුවන් ද ඔබලා ප්‍රියකරන සියල්ලම මොහොතක් අමතක කරන්න. ඔබේ ඵස්සයේ, අවිද්‍යාවේ වේගය වැඩිනම්, එකපාරටම විඳීමේ තිරිංග තද කරන්න යන්න එපා. පිංවත් ඔබට සද්ධර්මයත් එපා වේවි. මධ්‍යස්ථ වීර්යයෙන් ධර්මය පටන් ගන්න. ලෝකය ඉපදුනේ තෘෂ්ණාවෙන්. ලෝකය වැඩෙන්නේ තෘෂ්ණාවෙන්. ලෝකය නිරෝධය වෙන්නේ තෘෂ්ණාවේම නිරෝධයෙන්. පිංවත, සියල්ලටම පෙරතුව ඔබේ ලෝකය උපද්දවන තෘෂ්ණාව තේරුම් ගන්න. පිංවත, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන සළායතනයෝ ඉපදුනා ද ඵස්සය උපදිනවා. ඵස්සය ඉපදුනා ද විඳීම්, තෘෂ්ණා, උපාදානයෝ, භව, ජාති, ජරා, ව්‍යාධීන් උපදිනවා. පිංවත, ඇසේ ඵස්සය කෙරෙහි තෘෂ්ණාව පහ කරන්න. එවිට ඇස නිසා සකස්වෙන වේදනාවෝ නිවී යාවි. පිංවත, සළායතනයන් නිසා සකස්වෙන ඵස්සය කෙරෙහි තෘෂ්ණාව පහ කරන්න. එවිට සළායතනයෝ නිසා සකස්වෙන වේදනාවෝ නිවී යාවි.

වයෝවෘද්ධ දෙමාපියනි, දැන් විවේකීව පුටුවක වාඩි වෙන්න. නාසයේ අගට හොඳට සිත යොමු කරන්න. දැන් ස්වභාවිකව ආශ්වාස, ප්‍රශ්වාස කරන්න. ආශ්වාසය ඉහළ ගනිද්දී “ඇතිවීමත්” පහළට දමද්දී “නැතිවීමත්” හොඳින් සිහියෙන් දකින්න. වේගවත් වෙන්න එපා. ආශ්වාස, ප්‍රශ්වාසය තෘෂ්ණාවෙන් ගන්නත් එපා. ආශ්වාසය, ප්‍රශ්වාසය මම යැයි දකින්නත් එපා. කාය සංස්කාරයෝ කයට අදාළවම පවතින්න දෙන්න. ඔබේ පිංවන්ත ජීවිතයෙන් ධම්මානුපස්සනාවට ඉඩ අරගෙන දෙන්න. පිංවත, ආශ්වාස, ප්‍රශ්වාසය කෙරෙහි ඔබේ සිත දැන් ඍජුව පිහිටල ද තිබෙන්නේ? ඒ ඍජුව පිහිටියා වූ සිත දැන් සමාධිමත්ව නේද තිබෙන්නේ? බාහිර අරමුණු වලට ඔබේ සිත දුවන්නේ නැහැනේ. බාහිර අරමුණු වලට සිත දුවනවා නම් නොගැටී, නොඇලී ආශ්වාස, ප්‍රශ්වාසය කෙරෙහිම සිහිය පිහිටුවා ගන්න.

පිංවත, වැටුණොත් නැගිටින්න. වැටි, වැටී නැගිටින්න. එහෙත් චංචල සිතට දුවන්න නම් දෙන්න එපා. වැටෙන සිතත්, නොවැටෙන සිතත්, දුවන සිතත් ධම්මානුපස්සනාවටම භාර දෙන්න. ඔබ උපේක්ෂාව තුළ ජීවත් වෙන්න. වයෝවෘද්ධ දෙමාපියනි, භික්ෂුව මේ සටහන් තබන්නේ, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ, ඔබ විසින් ඔබට කරගතයුතු සමාජ සේවයයි. මේ උතුම් සමාජ සේවය ඔබ විසින් ඔබට නොකරගන්නා තාක්කල්, ඔබ ඔබටත් අයිති නැති, අනුනටත් අයිති නැති, සංස්කාර රසැති, දුකට අයිති මායාවේ සමාජ සේවයක්මයි සිද්ධ කරන්නේ.

පිංවත් දෙමාපියනි, ඔබගේම ආශ්වාස, ප්‍රශ්වාස කය කෙරෙහි ඔබ හොඳින් සිහිය පිහිටුවා ගත්තා නම්, දැන් ඔබේ සිත නිශ්චලව සමාධිගතවයි තිබෙන්නේ. ඒ සමාධිගත සිත ඔබ ආශ්වාදයෙන් ගන්න යන්න එපා. ඒ සමාධිමත් සිතට ලොල් වෙන්නත් එපා. ඔබ තුළ වැඩෙන සමාධිමත් සිත, අනිත්‍ය වූ උපේක්ෂා විඳීමක්ම යැයි වේදනානුපස්සනාවෙන්ම දකින්න. පිංවත, නොඇලෙන, නොගැටෙන උපේක්ෂා සහගත සිතින්, දැන් ඔබේම සළායතනයෝ විදර්ශනාවෙන් දකින්න. අවිද්‍යාවෙන් උපන් ඇස, අවිද්‍යාවෙන්ම පෝෂණය වෙන ඇසේ ඵස්සය, දුක භවාත්‍රය දෙසට ජීවත් කරවන හැටි නුවණින් දකින්න. පිංවත, ඔය ඇස ඇතුළු සළායතනයෝ ඉපදුනේ නාමරූප ධර්මයන් නිසාමයි. නාමරූප පච්චයා සළායතනං. ඇස මම නොවේ. ඇස මගේත් නොවේ. ඇස අනුන්ගේත් නොවේ. මමත්, ඇසත්, අනුනුත් අවිද්‍යාවෙන්ම උපන් සංස්කාරයෝය. පිංවත, නාමරූප ධර්මයෝ, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ ධර්මයෝ උපදින තාක්කල්, පංච උපාදානස්කන්ධ ධර්මයෝ නිත්‍ය වශයෙන් දකින තාක්කල් පටිච්චසමුප්පන්නව ඇස ඇතුළු සළායතනයෝ උපදිනවා.

පිංවත් දෙමාපියනි, ඇස ඇතුළු සළායතනයෝ ඉපදුන නිසා නේද මේ දුක. ඇස කෙරෙහි, සළායතනයෝ කෙරෙහි අවබෝධයෙන්ම කළකිරෙන්න. ඇස අනිත්‍යයි. ඇස නිසා සකස්වෙන ඵස්සය, විඳීම්, හඳුනා ගැනීම්, සංස්කාර, දැනීම් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි වශයෙන්ම දකින්න. ඔබේම ඇස තුළින් අවිද්‍යාව ජීවත් කරවන්න එපා. අවිද්‍යාවේ පෙකණි වැල විදර්ශනාවේ කතුරෙන් කපා දමා, ඔබත්, ලෝකයත් එකක් නොවී දෙකක් වෙන්න.

පිංවත, හිරු උදා වෙන්න දැන් හොඳටෝම ළඟයි. දැන් ඉතිං මූණ, කට සෝදා ගන්න ඕනේ, පාත්‍රය අරගෙන සිඟමනේ යන්න. විදර්ශනාත්මක මෙත් සිතින් සිඟා කාලා, අනුනට වර්ණය, සැපය, බලය දෝත පුරා ලබා දෙන පිරිසටයි සංඝයා කියලා කියන්නේ. මෙතනදි පාත්‍රය ද, පිඟාන ද කියන කාරණය ඔබ සිතන්න අවශ්‍ය නැහැ. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්, උජුපටිපන්න ගුණයෙන් පෝෂණය වූ චේතනාවන්මයි, වර්තමානයේ වැදගත් වෙන්නේ.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.