අනුන්ව පාලනය කිරීමට යන ඔබ.

පාලකයෙක්‌ වෙන්න අපි මොනතරම් කැමතිද? පංති කාමරයක වේවා, වැඩබිමක, ආයතනයක, පන්සලක, ගමක, නගරයක, රටක පාලකයා, නායකයා වෙන්න අකමැති කෙනෙක්‌ නොමැත. ඔබ ඔබෙන් අහල බලන්නකො නායකයෙක්‌ වෙන්න ඔබ අකමැතිද කියලා. ඔබ දැනටමත් නායකයෙක්‌ වෙන්න පුළුවන්. මිනිසා තරග කරන්නේද, සටන් වදින්නේද, අනුනට කැපිලි කෙටිලි දමන්නේද නායකත්වයට පාර සකස්‌ කර ගැනීමටය. නැතිනම් නායකත්වය ආරක්‍ෂා කරගැනීමටය.

වෛරය, ක්‍රෝධය, සැකය නායකත්වය සොයා යන ගමනේ අතුරු ඵලයක්‌ය. නායකත්වය සෙවීම මිනිසාට පමණක්‌ උරුම දෙයක්‌ නොවේ. සෑම සත්වයෙකුටම පොදුය. සත්වයා මහා අකුසල් ප්‍රමාණයක්‌ රැස්‌ කරගන්නේ මේ නායකත්වයට ඇති ගිජුභාවය නිසාය. මෙවැනි අකුසල් රැස්‌කරමින් ඔබ මේ පාලනය කිරීමට යන්නේ කවුරුන්වද? අනුන්මය. අනුන්ව පාලනය කිරීමට යන ඔබ මොහොතක්‌වත් සිතුවාද තමාට තමාවත් පාලනය කර ගැනීමට නොහැකි ලෝකයක තමාට අනුන්ව පාලනය කිරීමට නොහැකි බව. කවුද ඔබට මේ අවබෝධය ලැබීම වලක්‌වන්නේ. තන්හාවයි. අනන්ත අප්‍රමාණ අකුසල් සිදුකරගනිමින්, විවිධ සටකපට උපක්‍රම යොදමින්, මුසාබස්‌ දොඩවමින්, නැතිගුණ පෙන්වමින් ඔබද පාලනය මුවහත් කරගන්නවා.

බලය උදෙසා මොනතරම් ගහමරා ගන්නවාද, පාවාදීම් කරනවාද, කුලල් කාගන්නවාද, අනුනට මඩ ගසනවාද? බලයට ඇති කෑදරකම, ගිජුබව නිසාම තළුමරමින් ඉහත චර්යාවන් සිදුකිරීම බලය ලබාගැනීමට කළයුතු චාරිත්‍රයක්‌ බවට පත්වෙලා. මේ හැම දෙයම මේ අය සතුටින්මයි කරන්නේ. තිබෙන සැප ආරක්‍ෂා කරගන්න, ඇති සැප වැඩිකරගන්න, නැති සැප ඇතිකරගන්න ලෝකය පස්‌සෙ දුවනවා. දුක්‌ විඳිමින් සැප සොයනවා. වර්තමානයේ සොයන සැප ලැබිලා නැහැ. ඒ නිසා අනාගතය තුළ සොයනවා. ඔවුන් දන්නෙ නැහැ අනාගතය කියල කියන්නෙ වර්තමානයටමයි කියලා. වර්තමානයමයි අතීතය වූවේත් කියලා. මේ අයට හති දැනෙන්නෙ නැහැ. විඩාවක්‌, නිදිමතක්‌ දැනෙන්නෙ නැහැ. සැප සෙවීමට, ආරක්‍ෂා කරගැනීමට, වැඩිකර ගැනීමට ඇති තන්හාව නිසා.
තන්හාව කියන්නේ හොඳ දක්‍ෂ මැහුම්කාරියක්‌. ඇය විසිහතර පැයේම ඉඳිකටුවයි, නූලයි අත තබාගෙනයි සිටිනුයේ. ඉන්ද්‍රියයන්ට පස්‌සයවන හැම කැමැත්තක්‌ම තද මැස්‌මකින් මසන්න. දක්‍ෂ මැහුම්කාරියගේ මේ වෙලීම කල්ප ගණනාවකට කැඩෙන්නේ නැහැ. කැමැත්තෙන්ම සසර බන්ධන වලට කොටුවෙන සත්වයාට, මේ තන්හාවේ මැහුම්කාරිය අතදිගහැර උදව්කරනවා. කුමක්‌ සඳහාද? ඔබව බවය සමඟ බන්දන්න, උපාදානය කරවන්න. අපිට හිතෙනවා ලෝකයේ දක්‍ෂම මැහුම්මහන දරුවෝ ඉන්නේ කටුනායක පැත්තේ කියලා. ඒත් ඒක මුලාවක්‌. ඒ අය මහන මැහුම් අවුරුද්දකින්, දෙකකින් නැතිනම් පහකින් දිරලා යනවා. ගැලවිලා යනවා. ඒත් තන්හාවේ මැහුම්කාරිය මහන මැහුම, ගසන වෙළුම කල්ප ගණනාවකට කැඩෙන්නේ නැහැ. ඇයට විඩාවක්‌, නිදිමතක්‌, වෙහෙසක්‌ නැහැ. හැම තත්පරයකම ඔබ ඉදිරියේ ඇය සීරුවෙන් සිටිනවා. ඔබට පස්‌සය වන සෑම රූපයක්‌ සමඟම ඔබව වේදනාව විඳීමට සලස්‌වනවා. ඇලීම්, ගැටීම්, උපේක්‍ෂා වශයෙන්.

ඔබ කවදාහරි නිවීම ලබන්නේ තන්හාවේ මැහුම්කාරිය හඳුනාගෙන ඇයගෙන් මිදුනුදාටය. එතෙක්‌ ඔබ කුසල් අකුසල් පිsරුණු මඟක නායකයින්ද, පාලකයින්ද වීමේ දොළදුක සංසිඳුවාගැනීමට අකුසල්ම කරගසාගනිමින් ගමන් කරයි.

තිරිසන් ලෝකයේ සතුන් සහ පක්‍ෂීන් දෙස ඔබ හොඳින් බලන්න. ඔය තිරිසන් සතුන් කිසිවෙක්‌ රාත්‍රියට හෝ දවාලට එක දිගට පැයක්‌ නිදාගන්නේ නැහැ. ඒ සතුන්ට නිදාගන්න වාසනාවක්‌ නැහැ. පිනක්‌ නැහැ. ගසක අත්තක්‌ සෙලවුනොත්, කොළයක්‌ වැටුනොත්, තවත් සතෙකුගේ හඬක්‌ ඇසුනොත්….. මේ ආකාරයට නිරතුරුව බියට පත්වී නින්ද කැඩෙනවා. තිරිසන් සතුන් මුළු රැයම නිදාගන්නේ බයෙන්. මෙය අහම්බයක්‌ නොවේ. කර්ම විපාකයක්‌මයි. කර්මය තමයි පෙර ජාතිවල මිනිස්‌ ආත්ම වල ඉපැදිලා ලොකු කුඩා පාලකයෝ වෙන්න ගිහින් කරපු අකුසල්. මිනිස්‌සු බියගන්වලා, පීඩනයට පත්කරලා, මුලාකරලා, අතීත භවවල කරපු අකුසල් මරණින් මතු විපාක දෙන්නේ ඔය විදිහට. ලොකු කුඩා පාලකයන්, නායකයන් මියගිය පසු පාංශකූල පොලේදී අනුශාසනා, දේශනා, ගුණකථා, බැනර, ශෝක ප්‍රකාශ, සැරසිලි වලින් ඔවුන්ව නිවන් දැක්‌වුවද සැබෑ යථාර්ථය කටුකය. ඔබ හොඳින් නිරීක්‍ෂණය කර බලන්න. තිරිසන් සත්ව ප්‍රජාවේ නායකත්වය වෙනුවෙන් එම සතුන් වියරුවෙන් ගැටෙන හැටි. වියරුව මරාගනිමින් නායකත්වයට සටන්වදින විලාසය. මේ සියල්ල එම සතුන්ගේ සංසාරික හුරුපුරුදුය.

ශ්‍රී සද්ධර්මය පවතින අවස්‌ථාවක, වාසනාවන්ත මනුෂ්‍ය විලාසයක්‌ ලබා, නායකත්වයට ඇති ගිජුභාවය නිසා, අනන්ත අප්‍රමාණ අකුසල් සිදුකර තිරිසන් ආත්මයක්‌ ලැබූ පසු, නැවතනම් කල්ප ගණනාවකට සුගතිගාමී ජීවිතයක්‌ නම් ලැබිය නොහැකිය. මන්ද තිරිසන් සත්ව ප්‍රජාව තුළ ඇති වෛරය නිසා දුකෙන් දුක කරාම, තිරිසන් ලෝකයෙන් නිරය කරාම ඇදී යාම එම ස්‌වභාවය නිසාය. බලන්නකො මේ තරම් වටිනා මනුෂ්‍ය ජීවිතයක්‌ ලබපු ඔබ, අනුන්ව පාලනය කරන්න ගිහිල්ලා කල්ප ගණන් අපාදුක්‌ විඳින සත්වයන් බවට පත්වෙනවා. මොන තරම් අවාසනාවක්‌ද.

හැබැයි සමහරු ඉන්නවා, පෙර පිං නිසාම ආයාසයකින් තොරවම නායකත්වය, ප්‍රධානත්වය ලැබෙනා අය. ඒ අය බදාගැනීමකින්, තෘෂ්ණාවකින් තොරවම නායකත්වය දරනවා. බහුතරයේ අකමැත්තෙන් නායකත්වය අතහරිනවා. ඔහු තමන්ට ලැබූ අවස්‌ථාව නිසා කුසලයක්‌ රැස්‌කරගන්න දක්‍ෂ වෙනවා. ඔබම සිතන්න. ඔබ බදාගත්තොත් ඔබට උරුමවන්නේ සතර අපායමය. ඔබ අතහැරියොත්, මධ්‍යස්‌ථවූවොත් ඔබට සුගතිය උරුමවෙනවා.

මේ ලෝකයේ සැබෑම ශ්‍රේෂ්ඨම පාලකයා තමයි, මෙලොව තමාට පාලනය කිරීමට තරම් දෙයක්‌ නොමැති බව දකින තැනැත්තා. ඔහු ඉන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක පමණයි. ඒ තමයි අරිහත් උත්තමයා. උන්වහන්සේ තමා තුළ තමා නැතැයි දකිනවා. මම තුළ සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැතැයි දකිනවා. කුමක්‌ද එහෙනම් මෙතැන තිබෙන්නේ. වේගයක්‌. ඇතිවෙමින් නැතිවෙන රූපයක්‌ සහ සිතක්‌ පමණක්‌ බව දකිනවා. පස්‌සය නිසා හටගන්නා වේදනාව සත්වයාව ක්‍රියාකාරීත්වයට පත්කරනවා. ඇතිවුනාවූ පස්‌සයද, වේදනාවද අනිත්‍ය බව උනවහන්සේ අවබෝධයෙන් දකිනවා. පාලනය කිරීමට යමක්‌ නොමැති තැන පාලකයෙක්‌ අවශ්‍ය නැහැ. දැන් බලන්න පාලනය කිරීමට කිසිවක්‌ම නොමැති තැනක, පාලකයෝ වෙන්න ගිහිල්ලා මිනිස්‌සු මොන තරම් මෝහයකද වෙලී සිටින්නේ. අනේ දෙවියනේ අවිද්‍යාව මොනතරම් අසාධාරණයක්‌ද මේ සතවයාට කරන්නේ.

පාලකයන්. ප්‍රධානීන්, නායකයන් වෙන්න වෙරදරන ඔබට ලෝකයේ ශ්‍රේෂ්ඨම පාලකයා වෙන්න මඟක්‌ තියෙනවා. ඔබ මේ මඟ දිනාගත්තොත් එම ජයග්‍රහණය නැවැත උදුරාගන්න මේ තුන්ලෝකයේම කිසිවෙකුටත් බැහැ. ඔබට කරන්න තිබෙන්නේ සුළු දෙයයි.
“සිතේ පාලනයෙන් ඔබ මිදෙන්න. සිත පමණක්‌ ඔබේ පාලනයට යටත්කරගන්න”
මෙතෙක්‌ කල් ඔබ ක්‍රියාත්මක වූයේ ඔබට අයිති නැති සිත ඔබට අණකළ මග ඔස්‌සේය. ඔබ මේ මොහොතේම ඔබේ සිතට නියෝග කරන්න. “දැඩිව” නියෝග කරන්න.

“සිත ඔබ මෙතුවක්‌ කාලයක්‌ ඔබට අවශ්‍ය ආකාරයට මාව ක්‍රියාත්මක කළා. සතර අපායට, දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝකවල ගාල්කළා. කල්ප ගණන් සංසාරයේ ඇවිද්දුවා. මෙතුවක්‌ කල් මම අවිද්‍යාව නිසා ඔබට රැවටුණා. මින්මතු ඔබ කියන දේ කරන්නේ නැහැ. මම කියන දෙය ඔබ කළ යුතුයි”
ඔබට පුළුවන් නම් මේ තීරණය ක්‍රියාත්මක කරන්න, ඔබ තමයි මේ ලෝව ශ්‍රේෂ්ඨතම පාලකයා. ඔබට අයිති නැති, ආගන්තුක සිතක්‌, ඔබව බවයේ සිරකරුවෙක්‌ කරගෙන සිටින අසාධාරණයෙන් ඔබව මුදාගන්නා ශ්‍රේෂ්ඨම පාලකයා ඔබ වෙනවා.

තෙරුවන් සරණයි…!!!

අතිපුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ.