“රේරුකානේ නායක හාමුදුරුවන්ගේ බණ පොත්ටික හොඳින් කියෙවුවොත් එ තැනැත්තා හොඳ ධර්ම ධරයෙක්. ධර්මඥයෙක් වෙනවා” යි. දවසක් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ උත්සව සභාවකදී වදාළහ.
ඒ ප‍්‍රකාශයෙන් එහාට රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ධර්මධරත්වය ගැන තවදුරටත් පුන පුනා ප‍්‍රකාශ කිරීම අවශ්‍ය නැත.
තමන් වහන්සේ තුළ වූ ධර්මධරත්වයෙන් හා විනය ධරත්වයෙන් උතුම් බුද්ධ පුත‍්‍රයකු හැටියට කිසියම් අපේක්ෂිත අරමුණක් සාක්ෂාත් කරගත් බව රේරුකානේ නායක හාමුදුරුවන්ගේ මහ සඟ චරිතය පිළිබඳ සොයා බලන කළ හොඳින්ම පෙනේ.
අදත් අපේ විහාරස්ථානවල හා ආරණ්‍ය සේනාසනවල ධර්ම මාර්ගයේ ගමන්කරන ස්වාමින් වහන්සේලා රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ පොත් නිරන්තරයෙන් පරිශීලනය කරති.
ධර්මය දැන ඉගෙන ගන්නා ගිහි පැවැදි දෙපිරිසම රේරුකානේ හිමින්ගේ පොත් කියවති.
මිථ්‍යා දෘෂ්ඨියෙන් තොරව බුදු දහම දැන ඉගෙන ගෙන ධර්ම මාර්ගයේ යන්නට ඕනෑ නම් රේරුකානේ චන්දවිමල නායක හාමුදරුවන්ගේ පොත් කියවන්නැයි යක්කඩුවේ ප‍්‍රඥාරාම නාහිමියෝද නිතර වදාළහ.
පොත පත ලීවා පමණක් නොව ඉන් ඔබ්බට උන්වහන්සේ සසර නිවීමටද පත්වූවා යැයි බොහෝ දෙනා විශ්වාස කරති.
උන්වහන්සේ බුදු මගේ කිසියම් උසස් තලයක සිටි බව සමහර අවස්ථාවල කරන ලද ප‍්‍රකාශ මගින්ද තහවුරු වේ. තමන් වහන්සේ අසවල් ඵලයක් ලැබීයැයි කිසිවිටෙක ප‍්‍රකාශ නොකළත් රේරුකානේ හිමියන්ගේ උපස්ථායකයන් වහන්සේ හැටියට එදා වැඩ සිටි කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් සමඟ උන්වහන්සේ කළ ඇතැම් ප‍්‍රකාශ මත ස්ථිර වශයෙන්ම උන්වහන්සේ සසර නිවීමක් ලැබී දෝයි යන නිගමනයේ අපට නැවතීමට සිදුවේ.
කොළඹ හොරණ පාරේ පොකුණුවිට විනයාලංකාරාරාම විහාරය හෙවත් බුරුම පන්සල නමින්ද ප‍්‍රචලිත විහාරය රේරුකානේ චන්දවිමල නායක හිමියන් වැඩ සිටි විහාරස්ථානයය.
තවත් අතෙකින් රේරුකානේ චන්දවිමල හිමියන්ගේ උපස්ථායකව සිටි කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියන් අදටද වැඩ සිටින විහාරස්ථානයය. විහාර වාහල්කඩ මුදුනේ රේරුකානේ හාමුදුරුවන්ගේ රුව මනාවට නිමවා තිබේ.
මේ; විහාරයට නුදුරින් කැලේ ආරණ්‍යයේ භාවනාවෙන් වැඩ සිටින තරමක් වයෝවෘද්ධ ස්වාමින් වහන්සේ නමක් වන කිරිඔරුවේ ධම්මානන්ද නායක හාමුදුරුවන් කල ප්‍රකාශයක්…
” මම පැවිදි වුණේ රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ ලියූ දහම් පොත් පත් කියවලා බුදුදහම ගැන ඇතිවූ පැහැදීම නිසයි.”
“මට මුලින්ම ලැබුණේ උන්වහන්සේ ලියූ ‘අභිධර්ම මාර්ගය’ කියන පොත. එය කියවීමෙන් මට ධර්ම රසයෙන් ලොකු සැනසීමක් දැනුනා. මම රේරුකානේ හිමියන්ගේ පොත් නිතර කියෙව්වා.”
“උන්වහන්සේ පැවිද්ද පිළිබඳව ලියූ ‘ශාසනාවතරණය’ පොත කියවූ පසුව මටත් පැවිදි වෙන්නට අවශ්‍යය යන වුවමනාව ඇතිවුණා.”
“ඒ අනුව 1977 ජූනි 23 දා බිබිල යල්කුඹුරේ ටැම්ගොඩ රජමහා විහාරාධිපතිව වැඩ සිටි ලූණුගල සුනන්ද ලොකු හාමුදරුවන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි වුණා. ”
“පැවිදි වන විට මම ගුරුවරයෙක්. පැවිදි වුණාට පසුවත් යල් කුඹුර මහා විද්‍යාලයේ ඉගැන්වීම් කළා. එහෙම සිටිද්දී රේරුකානේ නායක හාමුදරුවන් ලියූ පොත් නිසා සද්ධර්මය ගැන දැන ඉගෙන ගන්නට ලැබුණු මට කෙටිකළක් හෝ උන්වහන්සේට උපස්ථාන කළ යුතුය යන අදහසක් ඇති වුණා.”
“මේ අදහස හිත පුරා දවසින් දවස මෝරා වැඩුණා. ඒ අනුව 1980 අගෝස්තු අන්තිම යල්කුඹුර විදුහලට අස්වීමේ ලිපිය භාරදී ගුරු හාමුදරුවන් වහන්සේටත් දායක දායිකාවන්ටත් දන්වා මේ විහාරස්ථානයට පැමිනුණා.”
“එදා මම එනවිටත් උන්වහන්සේ බොහොම වයෝවෘද්ධව, දුබලව සිටියෙ ඒ වන විට රේරුකානේ හාමුදුරුවෝ සැරයටියක් භාවිත කළා. තනිවම ඇඳෙන් නැගිට ගන්නත් අපහසුවෙන් හිටියෙ.”
“නිතර උපස්ථානයට හිටියෙ හේන්ගොඩ කල්‍යාණධම්ම හාමුදුරුවෝ. මම වැඩම කරන විට රාත‍්‍රි උදා වෙලා තිබුණත් නායක හාමුදරුවෝ අපහසුවෙන් නැගිටල මට ගිලන්පස හදා දෙන්නැයි කල්‍යාණ ධම්ම හාමුදුරුවන්ට වදාළා. උන්වහන්සේ තුළ තිබුණු ආගන්තුක සත්කාරය මට එවෙලේ දැන හැඳින ගන්නට ලැබුණා.”
“1980 ඔක්තෝම්බර් 05 වැනිදා මම පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ සීමා මාලකයේදී රේරුකානේ මහ නායක හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙකු හැටියට උපසම්පදාව ලබා ගත්තා.”
එතැන් සිට රේරුකානේ නායක ස්වාමින් වහන්සේ අපවත් වන තුරුම උන්වහන්සේගේ අග‍්‍ර උපස්ථායකයා වූයේ ධම්මානන්ද හාමුදුරුවෝය.
පසුකාලය වන විට රේරුකානේ නාහිමියන්ගේ දෑස් ද අන්ධ විය. එවිට කළයුතු උපස්ථාන පෙරට වඩා වැඩි විය.
සියලූ දේ ඉදිරියේ ධම්මානන්ද හිමියෝ කළ මනා උපස්ථාන නොපිරිහෙළා ඉටුකළහ. දෑස් අන්ධ වූවත් රේරුකානේ චන්දවිමල නාහිමියන් තුළ පැවති ධාර්මික ප‍්‍රතිපදාවන් බිඳකුදු අඩු නුවූහ. නිතර භාවනාවේ යෙදෙමින් ධර්මය සිහිපත් කරමින් කල් ගත කළහ.
රේරුකානේ හාමුදුරුවන්ගේ ගුණ බර චරිතය පිළිබඳව ධම්මානන්ද නාහිමියන් මෙම කරුණු වදාළහ…
පැවිදි වුණත් පුන්‍ය පහසුකම් හිඟ විය. පොල් අතු මඩුවක පැදුරක් එලා රාත‍්‍රියට සැතපෙන්නට සිදුවිය.
උදේට ලූණු කැඳ හකුරු කැබැල්ලක් සමඟ වළදන්නට සිදුවිය.
දුෂ්කරතා පැවතියද පාලි ඉගෙනගත් උන්වහන්සේ 1908 ජනවාරි මහේ බුරුම රටට පිටත් වූහ. එහිදී පාලි හා බුරුම භාෂාද ජන්ම භාෂාව මෙන්ම දැන ඉගෙන ගන්නට රේරුකානේ හිමියන්ට හැකිවිය.
ත‍්‍රිපිටකය, විනය, අභිධර්මය හොඳින් ප‍්‍රගුණ කරන්නටද හැකිවිය.
1917 ඔක්තෝම්බර් මාසයේ බුරුමයේ ධම්මිකාරාම සීමාවේදී උන්වහන්සේ උපසම්පදාව ලැබූහ. ඉන් පසුව යළි ලංකාවට වැඩම කළ චන්දවිමල හාමුදුරුවෝ දෙමටගොඩ විශුද්ධාරාමයේ නවාතැන් ගත්හ.
එදා එහි විහාරාධිපතිව වැඩ සිටියේ අරංගල සිරිධම්ම හාමුදුරුවෝය. එහිදී රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ විහාරයට දැන ඉගෙන ගන්නට එන අයට අභිධර්මය ඉගැන්වීම් කළහ.
විශුද්ධාරාමයෙන් පසුව පානදුර වැල්ලබඩ පන්සල, කළුතර කුමරිකන්ද පන්සල, බොල්ගොඩ බෝධිරුක්ඛාරාමයේද වැඩ සිට පසුව පොකුණුවිටට යළි වැඩම කළහ.
එතැන් පටන් අපවත්වන තුරුම රේරුකානේ චන්දවිමල මහ නා හිමියෝ පොකුණුවිට විනයාලංකාරාරාමයේ වැඩ සිටියහ.
උන්වහන්සේ හමුවීමට යම් කෙනකුට අවශ්‍ය නම් එය ලොකු පොඩි කියා භේදයක් තිබුණේ නැත. ඕනෑම කෙනකුට උන්වහන්සේ හමුවීමට හැකි විය. ඒ ඒ අයට කිසිම විටෙක මදි පුංචි කමින් සැලකිල්ලක් දැක්වූවේද නැත.
තවත් අතෙකින් රේරුකානේ හිමියන් තුළ පැවතියේ ඕනෑම සියුම් ගැඹුරු කාරණයක් වුවද, විනිවිද ගොස් දැකිය හැකි නුවණකි. මහාචාර්යවරු පවා උන්වහන්සේගේ දැනුම පිළිබඳ මවිත වූහ.
යමක් එක්වරක් කියැවූ පමණින් මතක හිටින ස්වාභාවයක් රේරුකානේ හාමුදුරුවන්ට තිබිණි. ඒ ධාරණ ශක්තිය දිවියේ 95 වැනි විය ගෙවෙන විටද එසේම පැවැතිණි.
“ධම්මානන්ද මම ගාථාවල් කවදාවත් අමාරුවෙන් පාඩම් කරල නෑ, මට යමක් එක්වරක් කියුවාම පාඩම් හිටිනවා. මට පාඩම් තියෙන ප‍්‍රමාණය නම් කොච්චරද කියල මමවත් දන්නෙ නෑ.”
ඇතැම් විට උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.
“මම ඉගෙනීම් කළේ පොත් පත් ලිවීමේ අදහසින් වත් අනුන්ට බණ කීමේ අදහසින්වත් උගතෙක් වශයෙන් ප‍්‍රසිද්ධ වීමේ අදහසින්වත් නොවේ. අපේ සම්මෝහය දුරු කර ගැනීමටයි.”
ධම්මානන්ද හිමියන් සමඟ ප‍්‍රකාශ කල එම අදහසත් උන්වහන්සේ ලියූ පොත් දෙස බලද්දී උන්වහන්සේ සම්මෝහය දුරු කරගන්නා ලදැයි සිතන්නට සැක සිතිය යුතුද නැත.
▪️චතුරාර්ය සත්‍යය,
▪️පාරමිතා ප‍්‍රකරණය,
▪️පට්ච්ච සමුප්පාද විවරණය,
▪️ධර්ම විනිශ්චය ,
▪️කෙලෙස් එක්දහස් පන්සීය,
▪️නිර්වාණ විනිශ්චය
▪️පුනරුත්පත්ති ක‍්‍රමය,
▪️බෝධි පාක්ෂික ධර්ම විස්තරය,
▪️විදර්ශනා භාවනා ක‍්‍රමය,
▪️පෞරාණික සතිපට්ඨාන භාවනා ක‍්‍රමය,
▪️චත්තාලීසාකාර මහා විපස්සනා භාවනාව,
▪️සතිපට්ඨාන භාවනා විවේචනය,
▪️අභිධර්ම මාර්ගය,
▪️පට්ටඨාන මහා ප‍්‍රකරණ සන්නය,
▪️අනුවාද සහිත අභිධර්මාර්ථ සංග‍්‍රහය,
▪️විනය කර්ම පොත,
▪️ශාසනාවතරණය,
▪️උපසම්පදා ශීලය රේරුකානේ හිමියන් ලියූ කෘති කීපයක් පමණකි.
“ධම්මානන්ද සාමණේර කාලයේ පටන් අපේ අදහස වුණේ කොහෝ හෝ තැනක හුදකලාව ඉඳගෙන මහණ කම හොඳින් කර ගැනීමයි.”
ඒ උදෙසා උන්වහන්සේ නිතර පිරිසිදු ශීලය ආරක්ෂා කර ගත්හ. විකාලයේ තැඹිලි වතුර ටිකක් හෝ නොවැළඳුහ.
”ධම්මානන්ද මා රැස් කළ විශාල ධනය පැවිදි ජීවිතයයි.” තම පැවිදි දිවියේ නිරාමිස ප‍්‍රීතිය නිතර විඳගත්හ.
රේරුකානේ චන්දවිමල නායක හාමුදරුවෝ අසූ-අනූ වියට එළැඹදේදි අමුතු විදිහේ ප‍්‍රකාශයක් කළහ.
ලෝකයේ සිටින ලොකුම පොහොසතාත් මමයි. ලොකුම දුප්පතාත් මමයි’ එය අර්ථකථනය කර දෙන්නටද උන්වහන්සේ උනන්දු වූහ.
“දුප්පත්කම කියන්නේ සෑහීමකට පත් නොවීමයි. තව ආකාරයකින් කියනවා නම් සෙවීම ඇති නොවීමයි. ලද දෙයින් සතුටුවී සෙවීම ඇති වී සිටින නිසා ලෝකයේ ලොකු ම පොහොසතා මමයි කියා හිතනවා. අපි හිඟන්නෙක් ගැන හිතල බලමු. ඒ හිඟන්නාට තියෙන පොල්කටුව හැරමිටිය වුණත් මගේ හැරමිටිය, මගේ පොල්කටුව කියා ඔහු විසින් සිතින් අල්ලාගෙනයි ඉන්නේ. ඒ නිසා ඒ හිඟන්නා යමක් ඇති කෙනෙක් නේද? මට අයිතිව තිබෙන මේ කිසිවක් මම හිතින් අල්ලාගෙන නැති නිසා කිසිවක් නැති කෙනෙක් හා සමානයි. ඒ නිසා ලෝකයේ සිටින දුප්පතාත් මමයි කියා මං හිතනවා”.
මානසිකව එතරම් දියුණු තලයක සිටි උන්වහන්සේ තමන්ට ලැබී තිබුණු මහා නායක කම්. උපාධි තනතුරු පිළිබඳ ලොකුවට සිතුවේ නැත. තමන් වහන්සේ ඒවා ඉල්ලා ලබාගත් ඒවා නොවන බවත් ඒවා ලැබුණත් ඉස්සරත් දැනුත් තමන් වහන්සේගේ තත්ත්වය එකම බවත් නිතර වදාළ දෙයකි.
රේරුකානේ හාමුදරුවෝ කුඩාකල සිටම යම් කිසි භාවනාවක යෙදුනහ. එය පිරිහීමට නොදී දිගටම කරගෙන පැමිණියහ. වයෝවෘද්ධ සමයේ උන්වහන්සේ දවසේ වැඩි වේලාවක් භාවනා යෝගිව ගතකළහ. දවල් කාලයේ සමථ භාවනාව වැඩූහ. රාත‍්‍රියේ ත‍්‍රිලක්ෂණය මෙනෙහි කළහ. 1986 අපේ‍්‍රල් 13 වැනිදා රේරුකානේ හාමුදුරුවෝ ධම්මානන්ද හිමියන්ට තවත් විශේෂ හැඳින්වීමක් කළහ.
”ධම්මානන්ද මේ කාලෙ ලෝකෙ ඉන්න විශේෂ පුද්ගලයෙක් තමයි මම ලෝකයා දන්නෙ නැතුවට. එය ලෝකයාට දැන ගන්නට විදිහක් නෑනේ.” එම ප‍්‍රකාශයෙන් කියැවිණි.
තෙරැවන් සරනයි..!
____________________________________
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.