ගින්න නිසා දුම ඇතිවන්නක් මෙන්ද ගස නිසා ගෙඩිය ඇති වන්නාක් මෙන්ද තමා නිසා පෙර නොතිබූ අන් දෙයක් ඇති වීමට හේතු වන්නා වූ දෙයට හෙවත් ධර්මයට “පටිච්චසමුප්පාදය” යි කියනු ලැබේ.
අවිද්‍යාව ඇති කල්හි ඒ අවිද්‍යාව නිසා පුණ්‍යාභි සංස්කාරාදී ත්‍රිවිධ සංස්කාරයෝ හටගනිති. එබැවින් සංස්කාරයන්ට හේතු වූ අවිද්‍යාව පටිච්චසමුප්පාදයකි. අවිද්‍යාව නිසා හටගන්නා වූ සංස්කාරයන් නිසාද විඥානය ඇතිවේ. එබැවින් සංස්කාරයෝද පටිච්චසමුප්පාදයකි. සංස්කාර හේතුවෙන් හටගත් විඥානය නිසා නාම රෑප හටගනී. එබැවින් විඥානයද පටිච්චසමුප්පාදයකි. විඥානය නිසා හටගත් නාම රෑපය නිසා ෂඩායතන පහල වේ. එබැවින් ෂඩායතනයට හේතු වූ නාම රෑපයද පටිච්චසමුප්පාදයකි. මෙසේ ස්පර්ශය ඇති වීමට හේතුවන බැවින් ෂඩායතනයද පටිච්චසමුප්පාදයකි. වේදනාව ඇති වීමට හේතු වන බැවින් ස්පර්ශයද පටිච්චසමුප්පාදයකි. තෘෂ්ණාව ඇති වීමට හේතු වන බැවින් වේදනාවද පටිච්චසමුප්පාදයකි. උපාදානය ඇති වීමට හේතු වන බැවින් තෘෂ්ණාවද පටිච්චසමුප්පාදයකි. භවය ඇති වීමට හේතු වන බැවින් උපාදානයද පටිච්චසමුප්පාදයකි. ජාතිය ඇති වීමට හේතු වන බැවින් භවයද පටිච්චසමුප්පාදයකි. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෞමනස්‍යෝපායාසයන් ඇති වීමට හේතු වන බැවින් ජාතියද පටිච්චසමුප්පාදයකි. ජරාමරණාදිය ද අවිද්‍ය තෘෂ්ණාවන්ට හේතු වන බැවින් පටිච්චසමුප්පාදයකි.
මෙසේ අවිද්‍යාවේ පටන් ජරා මරණ දක්වා ඇති මේ ධර්ම සියල්ලම එකිනෙකට හේතු වන බැවින් පටිච්චසමුප්පාදය නම් වේ. ඒ පටිච්චසමුප්පාදය ප්‍රකාශ කරන්නා වූ ” අවිජ්ජා පච්චයා සංඛාරා” යනාදි පාඨයට ද ඒ නම කියනු ලැබේ.
එක් ගලක් මත එය හා බැඳී සිටින සේ අනෙක් ගලද, ඒ ගල මත එය හා බැඳී සිටින සේ අනෙක් ගලක් ද, එය මත අනෙක් ගලක් දැයි මෙසේ උස් වී සිටින සේ එකින් එක මත තබන ලද ගල් සමුහයට වෙන් වෙන් වූ ගල් ගැන අපේක්ෂාවක් නොකොට කථා කරන කල්හි කුලුන යයි ද, කණුව යයි ද, කියනු ලැබේ.
එහෙත් එකක් උඩ එකක් පිහිටා තිබෙන ගල් සමූහය හැර එහි කුලුනය කියා අමුතු දෙයක් නැත. සත්‍ය වශයෙන් එහි ඇත්තේ ගල් සමූහය පමණකි. එමෙන් එකක් නිසා එය හා බැඳී පවත්නා සේ තවත් ධර්මයක් ඇති වීම වශයෙන් නො සිඳී පැවතී ගෙන යන්නා වූ අවිද්‍යාදී ධර්ම පරම්පරාවන්ට, ධර්ම සමූහයන්ට වෙන් වෙන් වූ ධර්ම ගැන අපේක්ෂාවක් නැතිව කථා කරන කල්හි ස්ත්‍රියය, පුරැෂයාය, දෙවියාය යනාදී නම් කියනු ලැබේ. එහෙත් ධර්ම සමූහ – ධර්ම පරම්පරා මිස සත්‍ය වශයෙන් ඇති ස්ත්‍රියක් පුරැෂයෙක් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත.
කුලුනයයි කී කල්හි සත්‍ය වශයෙන් කුලුනක් නොලැබී එක පිට එක පිහිටි ගල් සමූහයක් ලැබෙන්නාක් මෙන් ස්ත්‍රි පුරැෂාදීහු නොලැබෙත්. පටිච්චසමුප්පාදය යි කියනුයේ එක එකක් නිසා පවත්නාවූ ඒ ධර්ම සමූහයටය. එබැවින් පටිච්චසමුප්පාදයඅපෙන් ඈත අන් තැනක – අන් ලොවක ඇති නොවේ, අප ම බව හෙවත් සත්ත්වයන් පුද්ගලයන් සැටියට ව්‍යාවහාර කරන දෙයම බව දත යුතුය. පටිච්චසමුප්පාදය අප ම වුවද එය සත්ත්ව පුද්ගල කථාවෙන් අපය වැසී තිබේ. වැසී තිබෙන බැවින් තේරැම් ගැනීමට – දැන ගැනීමට දුෂ්කර ගැඹුරැ ධර්මයක් වී තිබේ.
අතිපූජ්‍ය රේරැකානේ චන්ද්‍රවිමල නාහිමියන්
බෞද්ධ භාවනා
____________________________________