නාම-රූප.

සත්ත්වයාය පුද්ගලයාය කියා සලකනු ලබන දෙය ඉතා කෙටි ක්‍රමයකට බෙදන කල්හි නාමය රූපය කියා දෙකොටසෙක් වේ. ශරීරය යයි කියනු ලබන, බඹයක් පමණ උසට වැඩී තිබෙන කොටස වනාහි එක් ස්වභාවයකින් ම නො පවතින, නැවත නැවත අමුතු අමුතු ආකාරවලට පැමිණෙන දෙයකි. එය බාල කාලයේ දී බොහෝ දෙනාට ප්‍රිය වූ කුඩා දෙයකි. එය තරමක් පරණ වන කල්හි බඹයක් පමණට වැඩී අමුතු ආකාරයකට පෙරළෙන්නේය. එය තවත් පරණ වන කල රැලි වැටුණ, වක් වුණ. බොහෝ දෙනාට අප්‍රිය දෙයක් වේ. තවත් පරණ වන කල්හි බලන්නට වත් නුපුළුවන් වන සේ පිළිකුල් වූ, ගෙයක තබා ගමක වත් තබා ගත නොහෙන මළ කුණක් වේ. තවත් පරණ වන කල්හි වියළි ඇට ගොඩක් වේ. තවත් පරණ වන කල්හි පස් ගොඩක් වේ. මෙසේ පළමු තිබූ ස්වභාවය හැර නිතරම අමුතු ස්වභාවයකට පැමිණෙන බැවින් ඒ කොටසට රූපය යයි කියනු ලැබේ. රූප යන්නෙහි තේරුම පළමු ස්වභාවය හැර නැවත නැවත අන්‍ය ස්වභාවයනට පැමිණෙන දෙය යනුයි. ඒ වර්ගයට අයත් බාහිර වස්තූහු ද රූප නම් වේ.

ශරීරය යි කියනු ලබන රූප සමූහයන් වෙන් වෙන් වශයෙන් හැඳින්වීමට ජේමිස්, කරෝලිස්, ජුවානිස් යනාදි නොයෙක් නම් කියති.

“රූපං ජීරති මච්චානං නාමගොත්තං නජීරති”

යනාදි දේශනා වල නාමය යි කියා තිබෙන්නේ ඒ නම් වලට ය.

පරමාර්ථ ධර්ම කථාවෙහි නාමය යි කියනු ලබනුයේ ඒ නම් වලට නොවන බව මතක තබා ගත යුතුයි. ශරීරය වනාහි වැටුණු තැනක නොසෙල්වී එලෙස ම තිබෙන ක්‍රියා කිරීමේ ශක්තියක් නැති දැනීමක් නැති ලී කොට කැබැල්ලක් වැනි දෙයකි. එය තුළ විඥානය නම් වූ දෙයක් වේ. යන්ත්‍ර බලයෙන් ඔබ මොබ ගමන් කරන රථයක් මෙන් ඒ විඥානයේ බලයෙන් විඥානයේ මෙහෙයවීමෙන් ඒ ශරීරය ගමනාදි ක්‍රියා කරන්නේය. ඒ සිදුවීමෙහි තතු නොදත් අන්ධ පෘථග්ජන තෙමේ “මම යමි ය” කිය කියා එයට මුළා වන්නේය.

(විදර්ශනා භාවනා ක්‍රමය – අතිපූජ්‍යය රේරුකානේ චන්දවිමල මහනාහිමි)

____________________________________

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.