වර්තමාන සමාජයේ පින්වතුන්ලා හුඟ දෙනෙක් සද්ධර්මය ගැන කතාබහ කළත්, සද්ධර්මය ශ්‍රවණය කළත් එම ධර්ම මාර්ගය තුළ ගමන් කරල ධර්මාවබෝධයක් කරා ගමන් කරන්නේ නැහැ. එය හරියට වැසි වළාකුළු වලින් ආකාශය බර වෙලා තිබුණත් වැස්ස වහින්නේ නැතුව වගේමයි කියල ධර්මයේ සඳහන් වෙනවා. වෙලාව රාත්‍රී අටත් පසුවෙලා. ගම්මානය දෙසින් වේග රිද්මයේ සංගීත හඬක් යාන්තමට ඇසෙනවා. මේ සංගීත හඬ ඇසෙද්දී භික්‍ෂුවට මීට දින කිහිපයකට පෙර සිදුවීමක් මතකයට පැමිණියා. උදෑසන ගමේ ගෙදරකට පිණ්ඩපාතය වැඩම කරල පාත්‍රයට දානය බෙදන ගමන් එම නිවසේ පින්වත් කාන්තාව කියනවා, “ස්වාමීන් වහන්ස, අපේ දුව ගෙයි මුල්ලට වෙලා”ය කියල. භික්ෂුවට මේ කතාව එක පාරටම තේරුම් නොගියත් පසුව තේරුම් ගියා, “එම නිවසේ සිටින ගැහැණු දරුවා වැඩිවියට පත්වෙලාය” කියල. මේ නිවසේ සිටින පාසල් වයසේ ගැහැනු දරුවා නිතර ම උද්‍යෝගයෙන් දානය බෙදන දරුවෙක්. නමුත් එදා දකින්න සිටියේ නැහැ. මේ රාත්‍රියේ ගම්මානය දෙසින් ඇසෙන වේග රිද්මයේ සංගීත හඬ එම දරුවාගේ වැඩිවියට පත් වීමේ උත්සවය විය යුතුයි. දරුවා වැඩිවියට පත් වුණහම ඒ පින්වත් අම්මා, තාත්තාට නිකමට වත් සිතුනේ නැහැ, අද දවසේ එම දරුවා ලවා පිණ්ඩපාතය හැන්දක් බෙදලා සංඝරත්නයේ ආශීර්වාදය ලබා දෙන්න. නමුත් මේ රාත්‍රියේ කුමක්ද සිද්ධ වෙන්නේ..?
හැමෝම සංගීතය, මත්වතුර, කාමච්ඡන්දයන් තුළ සිරකරුවන් බවට පත් වෙලා. පංච නීවරණයන් ම හොල්මන් කරන ඤාතීන් ගෙන්, හිතමිතුරන් ගෙන් වැඩිවියට පත් අහිංසක ගැහැනු දරුවාට කුමන ආශීර්වාදයක් ලැබෙන්නද..? මේ රාත්‍රියේ මත්වතුර ගඳට ඉව වැටුණ මුළු ගමේම සිටින අමනුෂ්‍ය, බේබදු ප්‍රේතයෝ සහ ප්‍රේතියෝ මෙම සාදයට ඇවිල්ලා ඇති. මස් වලට, පුළුටු වලට ලොල් කරන අමනුෂ්‍යයෝ සාදයේ මස් මාංශ රස විඳිනවා ඇති. මත්වතුර වීදුරු වලින් හමන අරක්කු ගඳ, මත්වූ මනුෂ්‍යයන් ගේ මුඛයෙන් හමන ගඳ ආග්‍රහණය කරන, ඉව කරන, රස විඳින බේබදු ප්‍රේතයෝ මතින් මත් වූ මනුෂ්‍යයන් පරිසරයට මුසු කරන අරක්කු ගඳැති කෙළ, සොටු ආහාරය කොට ගන්න බේබදු ප්‍රේතයෝ සාදයේ අසිරිය, සාදයේ ප්‍රණීත භාවය මොනවට ආශ්වාදය විඳිනවා ඇති ද මේ රාත්‍රියේදී..? පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇත්ත වහලා, බොරුව නටවන වේග රිද්මයේ සංගීත හඬ ගම්මානය දෙසින් ඇසෙන කොට එම සංගීත හඬ තුළින් භික්‍ෂුව අතීත පංච උපාදානස්කන්ධයට සිත යොමු කරනවා.
භික්‍ෂුවට මතකයි භික්‍ෂුවගේ ගිහි කාලය, මම මඟුල් ගෙදරක ගිහිල්ලා කවදාකවත් නටන්නේ නැතුව නම් ඇවිල්ලා නැහැ. ඒ අතීතය මේ රාත්‍රියේ සිහිපත් වෙන කොට භික්‍ෂුවට ලැජ්ජාවක් හෝ පිළිකුලක් ඇති වෙන්නේ නැහැ. භික්‍ෂුවට ධර්මයේ උපේක්‍ෂාවක් මයි ඇති වෙන්නේ. පින්වත් ඔබට සිතෙන්න පුළුවන් භික්‍ෂුව කොහොමද ධර්මයේ උපේක්‍ෂාව මතු කොට ගන්නේ කියල. භික්‍ෂුව සිතන්නේ, මම සංගීතයට නැටුව ගිහි කාලයේ දී මගේ ඉන්ද්‍රීය ධර්මයන් මොන තරම් නම් දුර්වල ද කියල. නමුත් ඒ අතීතයේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයේ සහ ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වල භාවය නිසා සකස් වුණා වූ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. භික්‍ෂුව අතීතයට හෝ වර්තමානයට ඇලෙන්නේ හෝ බැඳෙන්නේ නැහැ. මෙයයි සුන්දර ධර්මයේ උපේක්‍ෂාව. මේ රාත්‍රියේදී අනුන්ගේ සාදයක සංගීත හඬ තුළින් භික්‍ෂුව ධර්මයේ උපේක්‍ෂාව මතු කොට ගත්තත් සාදය භුක්ති විඳින මනුෂ්‍යයන් සහ අමනුෂ්‍යයන් නම් පංච නීවරණයන් ගේ කරවටක් ගිලිලයි මේ රාත්‍රිය ගත කරන්නේ.
පසුගිය දිනක කුටියට පැමිණි මහත්මයෙක් ප්‍රකාශ කළා තම හිතවතෙකු ගේ මඟුල් ගෙදර මත්වතුර බෝතල් එකසිය පනහක් ඉවර කළාය කියල. අනුන්ට මත්වතුර දෙනව කියන්නෙ අසත්පුරුෂ දානයක්. මත්වතුර බීලා නටනවා කියන්නෙ අසත්පුරුෂ කර්මයක්. පෙරේත කමත්, හීනමානයත් එකතු වෙලා සිදු වෙන මේ විනාශයේ අවසාන ඵලය වෙන්නේ පටිච්චසමුප්පන්නව බේබදු ප්‍රේතයෙක්, ප්‍රේතියක් වීම පමණක් මයි.
පින්වත් ඔබ තවත් කෙනෙකුට යහළුවෙක්, හිතවතෙක්, හිතවතියක් වෙන්න. නමුත් ඒ යහළු කම, හිතවත් කම සත්පුරුෂ භාවයෙන් පෝෂණය කොට ගන්න. සම්මාදිට්ඨියේ අර්ථයන් දුර්වල වෙන සමාජයක පින්වත් මනුෂ්‍යයා වගේම දෙවියාත් සැප සොයන්නේ සති සම්බොජ්ඣංගයෙන් සහ ධම්මවිචය බොජ්ඣංගයෙන් පෝෂණය වූ ප්‍රීතිය සහ පස්සද්ධිය තුළින් නොවේ. කාමච්ඡන්දයත්, උද්ධච්ඡයත්, විචිකිච්ඡාවත් මෝදු කොට ගත් විසුරුණා වූ සිතකින් මයි. පින්වත් ඔබ කොහොමද සත්පුරුෂ යහළුවෙක් වෙන්නේ..?
තම යහළුවාට හොරෙන් පින්කම් කරන්න යන පින්වතා, තම හිතවතාට හොරෙන් දන් පූජා කරන්න යන පින්වතා, ධර්මයක් යාළුවාට නොකියා තනිවම ශ්‍රවණය කරන පින්වතා සත්පුරුෂ යහළුවෙක් නම් වෙන්න බැහැ. තම අතිජාත මිත්‍රයා වූ ‘ජෝතිපාල මානවකයාව’ ඔහුගේ කෙස් වැටියෙන් අල්ලා ගෙන බලෙන් තමයි ‘ඝටීකාර’ මිතුරා බුදුරජාණන් වහන්සේව බැහැදකින්න එක්කරගෙන ගියේ. අවසානයේ ජෝතිපාල තරුණයා උතුම් තෙරුවන් සරණ පිහිටනවා. අපගේ යහළු කම් මෙලොව කාමච්ඡන්දයන් සහ පරලොව සතර අපායේ දුක සඳහා නම් නොවිය යුතුයි. පින්වත් ඔබ එවැනි යහළු කම් ඇති කොට ගෙන තිබෙනවා නම් එවැනි යහළුවන් නිවැරදි කොට ගැනීම හෝ මඟහැර සිටීමයි ඔබ ඔබට කරගන්නා වූ සත්පුරුෂ භාවය වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “යමෙක් තමන්ගේ ගව රැළ මෙතෙකැයි නොදන්නේ ද..? හෙතෙම තම ගව සමූහයා නොරකී” කියල. ඒ වගේ මයි “යමෙක් ශීලය ගැන නොදන්නේ ද, ශීලයේ ආනිශංශයන් ගැන නොදන්නේ ද ඔහු මෙලොවත්, පරලොවත් විනාශ කොට ගන්නවා”ය කියල. “නුවණැත්තා ප්‍රසංසාව ද, වස්තු ලාභ ද, පරලොව සැපය ද පතමින් තමනුත් සිල්පද රකිමින් අනුනට ද ශීලයෙන් පූර්වාදර්ශයන් ලබා දෙන බව” බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත් මහත්මයෙක් භික්‍ෂුව ගෙන් ප්‍රශ්නයක් විමසුවා, “ස්වාමීන් වහන්ස, තමන් කල්‍යාණ මිත්‍ර භාවයෙන් යුතුව අනුනට ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, සමාධියෙන්, විදර්ශනාවෙන් පූර්වාදර්ශයක් ලබා දුන්නොත් අපිට ලැබෙන ආනිශංශයන් මොනවද.?” කියල. “පින්වත් ඔබ ලබන සුන්දර ආනිශංශය තමයි, ඔබ සම්මා සම්බුද්ධ ශාසනයක පැවිදි උපසම්පදාවක් ලැබූ කල්හි ඔබට සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන්, ඤායපටිපන්න ගුණයෙන් පෝෂණය වූ සුන්දර මනුෂ්‍යයන්, දෙවියන්, බඹුන් සතුටු කරන සාමීචිපටිපන්න ගුණය ලැබෙනවා. එදාට ඔබ එක දිගට වරුවක් ධර්මයක් දේශනා කළත්, ධර්මය ශ්‍රවණය කරන ජනතාව නිහඬව එකත්පස්ව ශ්‍රද්ධාවෙන් එම ධර්මය අසා සිටිනවා” යැයි මම ඒ මහත්මයාට ප්‍රකාශ කළා.
යම් පින්වත් ස්වාමීන් වහන්සේ නමක් එක පැයක් ධර්මයක් දේශනා කරද්දී ශ්‍රවණය කරන පින්වතුන් වේලාව බලනවා නම්, ඇඟමැලි කඩනවා නම් මෙවැනි ක්‍රියාවන්ට හේතුව ධර්මානුකූලව ඉහත ඡේදයේ සඳහන් වෙනවා. “පින්වත් ජනතාව සද්ධර්මය ශ්‍රවණය කිරීමට ඇති කැමැත්තෙන් ක්‍රමානුකූලව බැහැර වෙනවා නම්, ඊට ප්‍රධාන ම එක හේතුවක් වනුයේ පැවිදි අපේ සාංසාරික ශ්‍රද්ධාවේ, ශීලයේ, සමාධියේ, විදර්ශනාවේ පූර්වාදර්ශයන් සමාජ ගත කිරීමේ දුර්වලභාවය යැයි” යම් ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමකට සිත් වේදනාවක් ඇති වුණොත් සමාව අවසර යදිමින් සටහන් තබනවා. පින්වත් පැවිදි අප ම නිහතමානී වෙලා, අපේ ම නිවැරදි භාවය උදෙසා, අපි සිතමුකෝ මෙය සටහන් තබන භික්ෂුව මේ ආසනය මත වැඩ සිටිමින් නුවණින් විමසනවා, අවංකව මම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා සිවුවනක් පිරිසට, සම්‍යක්දෘෂ්ටික දෙවියන්ට, බඹුන්ට ශීලයෙන්, ශ්‍රද්ධාවෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් පූර්වාදර්ශයක් ලබා දෙනව ද කියල. ඊට පිළිතුරු ලෙස භික්‍ෂුව සටහන් තබන්නේ, “මේ සටහන් අපිට අපේ නිවැරදි වීම් උදෙසා පමණක් මයි,” කියලයි…!
තෙරුවන් සරණයි …!
උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 15” ග්‍රන්ථයෙනි.
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…