සක්කාය දිට්ඨියට මොන පන්ති භේදයක් ද?

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පින්වතුන්ලාට සෝවාන් ඵල අවබෝධය උදෙසා ගමන් කළ යුතු, ආශ්‍රවයන් ප්‍රහීනය කිරීමේ අනුපිළිවෙළ, උතුම් සබ්බාස්‍රව සූත්‍රයේ දී දේශනා කොට තිබෙනවා. සබ්බාස්‍රව සූත්‍රය ජීවිතයට කමටහනක් කොට නොගැනීම නිසා ම, ධර්මයේ නාමයෙන් පිනේ, කුසලයේ නාමයෙන්, ඇලීම් ගැටීම් දෙක තුළ ම දෝලනය වන සක්කායදිට්ඨිය හෙවත් මමත්වයේ දැඩි භාවය පින්වත් මනුෂ්‍ය සන්තාන වල අතු රිකිලි දමා වැඩෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ සබ්බාස්‍රව සූත්‍රයේදී මුලින්ම දේශනා කරන්නේ දර්ශනයෙන් ප්‍රහීනය කළ යුතු ආශ්‍රවයන් ගැනයි. අතීත, වර්තමාන, අනාගත පංචඋපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි ඇති කොට ගන්නා, නිත්‍ය සැප, සුබ, ආත්මීය දැක්ම ධර්මානුකූලව පිරිසිදු කොට ගැනීමයි සක්කායදිට්ඨිය නිරෝධය කිරීමේ මාර්ගයේ ආරම්භය වෙන්නේ. ඉහත අර්ථයයි දර්ශනයෙන්, නිවැරැදි දැක්මෙන්, ප්‍රහීනය කළ යුතු ආශ්‍රවයන් වශයෙන් හඳුන්වන්නේ. පංචඋපාදානස්කන්ධ ධර්මයන්ගේ ඇත්ත ඇති සැටියෙන් නොදැනීම නිසා ම අපි තුළ සක්කායදිට්ඨිය හෙවත් මමත්වයේ කුණුහැව, මගේ කොට ගෙන, මගේ ආත්මය කොට ගෙන, පෝෂණය කොට ගන්නවා.

පින්වත් ඔබට පංචඋපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය පිළිබඳව ඇත්ත, ඇති සැටියෙන් මතු කොට දෙන්නේ ඔබගේ ජීවිතය පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසිරුවා දැකීම තුළ පමණක් මය. පටිච්චසමුප්පාද ධර්මයන්ට අදාළව ජීවිතය නොදකින තාක් කල්, ඔබගේ අධ්‍යාත්මික පංචඋපාදානස්කන්ධයන්, ආශ්වාදයේ තෝතැන්නක් බවටයි පත් වෙන්නේ. සක්කායදිට්ඨියේ තිබෙන බලවත් ම අනතුර තමයි, යම් පින්වතෙක්, විදර්ශනාත්මක දැක්මෙන් තොරව, පින සහ කුසල් ධර්මයන් සිදු කරන්න, සිදු කරන්න සක්කායදිට්ඨිය පිනේ සහ කුසල් ධර්මයන්ගේ ආශ්වාදය තුළ ම පෝෂණය වෙන නිසා ම, සතිය සිහිය, දුර්වල පින්වතාට, සක්කායදිට්ඨිය මතුකොට දැකීමට ප්‍රමාදීභාවය ඇති වෙනවා.

මෙය සටහන් තබන භික්ෂුව, උතුම් පැවිදි භාවයට පත් වුණේ, පින්වත් ඔබගෙන්, පැසසුම්, ජනප්‍රිය භාවයන් ලබන්නට නොවේ. ඒ වගේ මයි පින්වත් ඔබගෙන්, විවේචන සහ බැණුම් අසන්නට නොවේ. ඉහත අර්ථයන් දෙකම භික්ෂුව, අවුරුදු හතළිස් හතරක් වන ගිහි ජීවිතයේදී පමණටත් වඩා ලබල තිබෙනවා. භික්ෂුව පැවිදි භාවයට පත් වුණේ, ගිහි ජීවිතයේ දී කරපු දේවල් නැවත කරන්නට නොවේ. ගිහි ජීවිතයේ දී නොකරපු දේවල් කරන්නත් නොවේ. කරපු දේවලු‍ත්, නොකරපු දේවලු‍ත් අනිත්‍ය වූ සංස්කාරයන් ම බව අවබෝධයෙන් දැකීමටයි. විවේචන හේතුවෙන් ගැටෙන සිතත්, පැසසුම් ජනප්‍රිය භාවයන් හේතුවෙන් ඇලෙන සිතත්, අනිත්‍ය වූ සංස්කාරයන්ය කියල, දැකල, සිත විදර්ශනාත්මක උපේක්ෂාවට ගන්නයි.

වර්තමානයේ භික්ෂුව හොඳාකාරව දන්නවා විවේචනයන්ට වඩා, පැසසුම්, ජනප්‍රිය භාවයන් ඉදිරියේ සතිය, සිහිය ශක්තිමත් කොට ගත යුතුය කියලා. අවංකව ම විවේචනයන්ට වඩා පැසසුම්, ජනප්‍රිය තාවයන් අනතුරු දායකයි. අතීත පටිච්චසමුප්පන්න ජීවිතයේ දී සමාජයේ ජනප්‍රිය භාවයන් ලබලා අසිහියෙන් ජයඝෝෂා, ප්‍රීතිඝෝෂා අත්පොළසන් සාධුකාර මැද ආශ්වාදයෙන් පිනාගොස් අනුන්ගේ කරමතින් නැග නගරයෙන් නගරයට ජනතාව අතරට ගිහිල්ලා සිදු කොට ගන්නා වූ අකුසල් මූලයන් නිසා මයි මේ ජීවිතයේ දී විවේචන, නින්දා, අපහාස, භික්ෂුව පසුපස එන්නෙ කියලා, භික්ෂුව ධර්මානුකූලව දැන ගත්තේ ගිහි ජීවිතයේදී මයි. ඒ නිසා ම භික්ෂුව විවේචන සහ පැසසුම්, ජනප්‍රිය භාවයන්, ඉදිරියේ සුන්දර විදර්ශනාත්මක උපේක්ෂාව, ජීවිතයට එකතු කොට ගැනීම උදෙසා මයි පූර්වාදර්ශයන් දෙන්නේ.

මෙය සටහන් තබන භික්ෂුවට සමාජයෙන් ලැබෙන යම් පැසසුමක්, ජනප්‍රිය භාවයක් වෙයිද, එම පැසසුම, ජනප්‍රිය භාවය, ඒවා ලබන්නට භික්ෂුවට මාර්ගය කියාදුන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් පූජා කරලා, අද උදෑසනත් භික්ෂුව ගමට වැඩම කරලා, පින්වත් ඔබ පාත්‍රයට ලබාදුන් පිණ්ඩපාතයෙනුයි ජීවත් වෙන්නේ, හිඟමනෙනුයි ජීවත් වෙන්නේ. භික්ෂුව විවේචනය කරන පින්වතුන්ලා වගේ ම, භික්ෂුව ඔසවා තැබීමට උත්සාහ ගන්න පින්වතුන්ලාත්, භික්ෂුව කෙරෙහි පින කෙරෙහි ආශ්වාදයෙන් භික්ෂුව සමග කටයුතු කරන පින්වතුන්ලාත්, භික්ෂුවට සුන්දර ප්‍රනීත විදර්ශනාත්මක ධර්මයේ උපේක්ෂාවන්, ජීවිතයට එකතු කොට දෙන කමටහන් මයි.

භික්ෂුවගේ පියා මියයන කොට භික්ෂුවට වයස අවුරුදු තිස් තුනයි. එදා තාත්තාගේ මරණය හේතුවෙන් මගේ දෑසට කඳුළක් නැඟුණේ නැහැ. එදා මගේ ඤාතිවරයෙක් ප්‍රකාශ කරල තිබුණා, “ලලිත්ට තිබෙන්නේ ගල් සිතක්, තාත්තා අහිමි වුණත් ඇඬුවේ නැහැ”ය කියලා. එදා ලලිත්ට තිබුණේ ලෞකික උපේක්ෂාව වර්තමානයේ භික්ෂුවට තිබෙන්නේ, විදර්ශනාත්මක උපේක්ෂාවයි. භික්ෂුව ඉහත කාරණාවන් සටහන් තබන්නේ, පින්වත් ඔබලාට ජීවිතයට ධර්මානුකූලව අර්ථයක් එකතු කොට ගන්න මයි. අප තුළ සකස් වෙන අසිහිය නිසා ම, අපි නිරතුරුව ම තමාගේ ආධ්‍යාත්මික පංචඋපාදානස්කන්ධ ලෝකය උපයෝගී කොට ගෙන අනුන්ගේ බාහිර පංචඋපාදානස්කන්ධ ලෝකය වටේ දුවනවා. මේ මොහොතේ දිවීම නිසා ම අපේ දැක්ම, තව තව ආත්මීය දෘෂ්ඨියෙන් අපිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙම ආත්මීය දෘෂ්ඨිය හඳුන්වන්නේ මමත්වයේ කුණු හැව කියලයි. සර්පයෙක් වහලයේ බාල්කයක පිරිමැද තම සැව ගලවා දමනවා වගෙයි, ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙන පින්වතුන්ලා ශීල විශුද්ධියෙන්, චිත්ත විශුද්ධියෙන් ශක්තිමත්ව, දිට්ඨි විශුද්ධිය හෙවත් දැඩි ආත්මීය දැක්මේ පිරිසිදු භාවය පටිච්චසමුප්පාද ධර්මයන්ගේ පෝෂණයෙන් පංචඋපාදානස්කන්ධ අනිත්‍ය ධර්මයන්ගේ දැකීමෙන් ජීවිතයට එකතු කොට ගන්නේ.

අපි උතුම් සෝවාන් ඵල අවබෝධය ලබනා තෙක්ම, මම ඉස්සරහට දමාගෙන, මම අංක එකට අරගෙන, මතුපිටින් පෙනෙන ආශ්වාදයෙන්, ඇතුළාන්තයේ දැඩි දෘෂ්ඨිය පටිච්චසමුප්පන්න විඤ්ඤාණය තුළ ශක්තිමත් කොට ගන්නවා. සක්කායදිට්ඨිය කියන අර්ථය, පටිච්චසමුප්පන්නව අති දීර්ඝ කාලයක් පෝෂණය කොට ගෙන පැමිණි ධර්මතාවයක්. මේ ධර්මතාවයේ ඇති ශක්තිමත් භාවය නිසා ම, උගත්-නූගත්, දුප්පත්-පොහොසත්, රූමත්-අවලස්සන, රෝගී-නිරෝගී භේදයකින් තොරව උතුම් සෝවාන් ඵල අවබෝධය නොලැබූ සැම දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම, සතර අපායේ සත්වයෙක් ම ඉහත දැඩි දෘෂ්ඨියේ කොටස්කරුවන් බවට පත් වෙලයි සිටින්නේ.

රුවැති පින්වතෙක්, තම රූපය කෙරෙහි යම් මමත්වයේ දැඩි භාවයක් ඇති කොට ගෙන තිබෙනවාද, විරූපී පින්වතෙක් තම රූපය කෙරෙහි එවැනිම මමත්වයේ දැඩි භාවයක් ඇති කොට ගන්නවා. ඡායාරූප ශිල්පී මහත්මයෙක් උපතින් ම විරූපී පින්වතෙකුගේ ඡායාරූපයක් ගනිද්දී එම විරූපී පින්වතා තමන්ගේ විරූපී රූපයේ මුහුණේ ඉරියව් ලස්සන කොට ගන්න මුහුණට ආයාසයෙන් ම නඟාගත් සිනහව, මේ මොහොතේ භික්ෂුවට මතකයට නැඟෙනවා. ඒ අතීත අකුසල් සංස්කාර හේතුවෙන් ම, විරූපී භාවයට පත් අහිංසක පින්වතා මගේ රූපයත් ලස්සනයි කියලා ඇති කොට ගන්නා වූ මමත්වයේ දැඩි භාවයේ ශක්තිමත් භාවයයි, පින්වත් ඔබගේ මමත්වයේ දැඩි භාවය, අතීත සංස්කාර හේතුවෙන් සකස් වුණ, රූමත් භාවයත්, ඔබගේ විරූපී භාවයත් යන දෙක ම වඩාත් ලස්සන කොට පෙන්වනවා.

පොහොසත් මහත්මයෙක් තම කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී වාහනය කෙරෙහි තිබෙන මමත්වයේ දැඩි භාවයම දුප්පත් පින්වතා තමන්ගේ දුප්පත් පාපැදිය කෙරෙහි ඇති කොටගන්නවා. සක්කායදිට්ඨිය පන්ති භේදයකින් තොරව තම ආශ්වාදයේත්, ආදීනවයන්ගේත් ප්‍රතිඵල සමව බෙදා දෙනවා. දුස්ශීල පින්වතා, අකුසලය කෙරෙහි ඇති කොට ගන්නා මමත්වයේ දැඩි භාවය ම පින්කම් කරන සිල්වත් පින්වතා, පින කෙරෙහි ඇති කොට ගන්නවා. මුස්ලිම්, හින්දු, ක්‍රිස්තියානි පින්වතුන් තම ආගම කෙරෙහි ඇති කොට ගන්නා මමත්වයේ දැඩි භාවය ම බෞද්ධ පින්වතා තෙරුවන් කෙරෙහිත් ඇති කොට ගන්නවා. ඒ නිසා ම කඩු, පොලු‍ බෝම්බ අරගෙන ආගමේ නාමයෙන් කෙරෙන අවිචාරවත් යාගයන් සමාජයේ නිරතුරුව ම සිදු වෙනවා. උතුම් චීවරය දරාගෙනත්, සුදු සිල් ඇඳුම දරාගෙනත්, යුරෝපීය ඇඳුම, ආර්ය සිංහල ඇඳුම දරාගෙනත්, අළුගෝසු නිල ඇඳුම දරාගෙනත් මමත්වයේ දැඩි භාවය අප තුළ නිදහසේ වැඩෙනවා. ලස්සන ඇඳුම් පැළඳුම් පැළඳගෙන තරුපහේ හෝටල් වල මංගල උත්සව වලට සහභාගි වෙන්න යන නෝනලා ළඟනම් මමත්වයේ දැඩි භාවය තොග මිලට විකුණන්නත් තිබෙනවා.

සක්කාය දිට්ඨිය මුල් වටයේදී ම හඳුනා ගැනීම ඔබට හරිම අපහසුයි. සක්කාය දිට්ඨිය තුළ මිච්ඡා හැසිරීම් වගේ ම සම්මා හැසිරීමත් ශක්තිමත්ව බැසගෙන තිබෙන්න පුළුවන්. වරෙක ජීවිත පරිත්‍යාගයෙන් තවත් වරෙක සිල්වත් භාවයෙන්, කීකරු භාවයෙන්, යටහත් පහත් භාවයෙන්, ත්‍යාගශීලී භාවයෙන්, ගුණගරුක භාවයෙන්, සත්පුරුෂ භාවයෙන්, සක්කායදිට්ඨිය පෙනී සිටින අවස්ථා ඕනෑ තරම් භික්ෂුවට මුණගැසී තිබෙනවා. භික්ෂුව සමාජයේ ඔබ මොබ හැසිරෙන සක්කායදිට්ඨියේ රුවගුණ දකින කොට, ඒ තුළින් එම පින්වතුන්ලාගේ ශීල විශුද්ධියේ, චිත්ත විශුද්ධියේ දුර්වල තාවයන් හේතුවෙන් සකස් වුණ හේතුඵල ධර්මයන් මයි දකින්නේ. භික්ෂුව නිසා කිසිම පින්වතෙකුට මමත්වයේ දැඩි භාවය ශක්තිමත් කොට ගැනීමට භික්ෂුව අවස්ථාව දෙන්නේ නැහැ.

භික්ෂුවට යම් පින්වතෙකු ගේ සක්කායදිට්ඨිය නිරෝධය කරන්නට බැහැ. නමුත් ආශ්වාදයේ ආදීනවයේ අනතුරුදායක බව යම් පමණකට පාලනය කොට ගැනීමට අවශ්‍ය සීමාවන් උපකාරක ධර්මයන් සකස් කොට දෙන්න පුළුවන්. යම් පින්වතෙකුගේ මමත්වයේ දැඩි භාවයේ සීමාවන් ඉක්මවා යන බව භික්ෂුවට තේරුම් ගියොත්, එම පින්වතා කෙරෙහි කරුණාවෙන්, කල්‍යාණ මිත්‍ර භාවයෙන්, එවැනි පින්වතුන් ටික කාලයක් ඈත්කොට තබනවා. සක්කායදිට්ඨියේ රුව ගුණ ගැන කාගෙන් වත් අසා දැනගන්න භික්ෂුවට අවශ්‍ය නැහැ. ගිහි ජීවිතයේ දී මා තුළ ඝනව වැඩී තිබූ සක්කායදිට්ඨියේ කුණු හැව ගලවා දමන්න, සර්පයෙක් පියස්සේ බාල්කයක පිරිමැද තමන්ගේ පැරැණි හැව ගලවා දමනවා වගේ, ලෙහෙසි පහසු කටයුත්තක් බව මම දැක්කේ නැහැ…!

තෙරුවන් සරණයි …!

උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 14” ග්‍රන්ථයෙනි.

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…