පූර්වාදර්ශයන් ගන්න, අනුකරණයට නොයන්න.

ගිහි ජීවිතයේදී මා තුළ සැඟව වැඩී තිබූ මමත්වයේ කුණු හැව මගේ ජීවිතයට බලවත් ප්‍රශ්න මතු කළ අවස්ථා ගොඩක් තිබුණා. මා තුළ තිබූ සක්කාය දිට්ඨියේ තීව්‍ර භාවය මයි, මාව සක්කායදිට්ඨියේ නිරෝධය දෙසට යොමු කළේ. මට මතකයි මා රාජකාරි සිදු කළ ආයතනයක ප්‍රධානියා, මට කියනවා “ලලිත් ඔයා ඔයාගේ කේන්තිය අඩුකර ගන්නේ නැතිනම් ඔයාට අනාගතයේ කිසිම දෙයක් හරියන්නේ නැහැ”ය කියලා. ඒ කතාව අහලා එදා මට නැවත කේන්තියක් මයි සකස් වුණේ. භික්ෂුව මේ සටහන ලියන ආසනයේ වාඩි වෙලා දකිනවා ගිහි ජීවිතයේදී මම රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි මොන තරම් කුණු පෙරේතයෙක්ද කියලා. මම එම කුණු පෙරේත කම මා තුළින් ම නිහතමානීව, කෘතවේදීව, මතු කොට ගන්නේ මා උදෙසා මා තුළ තිබූ ශ්‍රේෂ්ඨ, කල්‍යාණ මිත්‍රභාවය නිසා මයි. භික්ෂුව ඉහත කුණු පෙරේතයෙක් කියන වචනය භාවිත කළේ පින්වත් ඔබේ මමත්වයේ කුණු හැවට ධර්මානුකූලව අභියෝග කිරීමට අවශ්‍ය ශක්තිමත් ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා මයි.

භික්ෂුව ඉහත සටහන තබනකොට පින්වත් ඔබට සිතෙන්නට පුළුවන්, “අනේ මම ළග ඔය කියන විදිහේ සක්කායදිට්ඨියක් නැහැ”ය කියලා. ඔබ තුළ සකස් වුණ ඒ පාපී මිත්‍රත්වයේ සිතුවිල්ල සක්කායදිට්ඨියේම ඵලයක් බව තේරුම් ගැනීමට,
පින්වත් ඔබ දක්ෂ වෙන්න. සක්කායදිට්ඨිය තමන් තුළ නැහැය කියන අර්ථය තුළත්, සක්කායදිට්ඨිය බැසගෙන සිටිනවා. සක්කායදිට්ඨියේ මේ ඇස්බැන්දුම් නිසා මයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ “දිනකට කස පහරවල් තුන්සියය බැගින් අවුරුදු තුන්සියයක් තියුණු කස පහරවල් දිනපතා ලබලා හරි සක්කායදිට්ඨිය නිරෝධය කරගන්නට”ය කියලා. පින්වත් ඔබ මගේ කොටගෙන සුරතල් කරන, ඵස්සය අසල ම කාමරයක් තනාදී පෝෂණය කරන සක්කායදිට්ඨියේ වියරු භාවය තේරුම් ගැනීමට ඉහත උපමාව පින්වත් ඔබට උපකාරයක් වේවි.

මෙය සටහන් තබන භික්ෂුවට ගිහි ජීවිතයේදී පංච ශීලය ආරක්ෂා කිරීමෙන්, සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන්, බෝධි පූජා තැබීමෙන්, පින්කම් සිදු කිරීමෙන්, අනුනට උපකාර කිරීමෙන්, සක්කායදිට්ඨිය සියුම් කොට ගන්නවාය කියන කාරණය මිරිගුවක්ම වුණා. මා තුළ පිනට අදාළව ආයුෂය, වර්ණය, සැපය, බලය, වැඩෙන කොට, තරාදියේ අනෙක් පැත්තෙන් සක්කායදිට්ඨියයි වැඩිවුණේ. ඉහත සක්කායදිට්ඨියේ ඇස්බැන්දුම මම හඳුනාගත් නිසා ම මා, මට නිරතුරුවම විවෘත භාවයෙන් මා සමග, මා තුළ ඇති මමත්වයේ දැඩි භාවය ගැන සංවාදයෙහි යෙදුණ අවස්ථා ඕනෑ තරම් මගේ ජීවිතයේ තිබෙනවා. මම එදා පංචඋපාදානස්කන්ධය යනු රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ වශයෙන් දැනගෙන සිටියේ නැහැ. නමුත් මගේ සක්කායදිට්ඨියේ අත්දැකීම් තුළින්ම මම තේරුම් ගත්තා මගේ මමත්වයේ දැඩි භාවයට හේතුව මගේ රූපයට සහ අනුන්ගේ රූපයන්ට මා තුළ ඇති ඇලීම සහ ගැටීමය කියලා. මම සක්කායදිට්ඨිය හිස්කොට ගත හොත්, අනුන්ගේ සක්කායදිට්ඨිය මට ප්‍රශ්නයක් නොවන බව මම තේරුම් ගත්තා. තමා තුළ සක්කායදිට්ඨිය පුරවා ගෙන තිබෙන නිසා මයි, අනුන්ගේ සක්කායදිට්ඨියත්, අනුන්ගේ අවබෝධයත්
අපට ප්‍රශ්නයක් වෙන්නේ.

භික්ෂුව ගිහි ජීවිතයේදී තමා තුළ තිබුණ දැඩි භාවයට කියන ධර්මානුකූල නම සක්කායදිට්ඨිය කියලා දැනගෙන සිටියේ නැහැ. භික්ෂුව පැවිදි වෙන අවස්ථාවේ ආර්ය අෂ්ඨාංගික මාර්ග යේ මාර්ග අංග අට පිළිවෙළට කියන්නට දැනගෙන හිටියේ නැහැ. නමුත් ගිහි ජීවිතයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික වශයෙන් හොඳින් වැඩී තිබුණ බව භික්ෂුව අද දන්නවා. ලෞකික මාර්ගය වැඩී තිබූ නිසා මයි මට එදා පුළුවන් වුණේ සක්කාය දිට්ඨියේ අනතුර මා තුළින් මතු කොට ගැනීම සඳහා අවශ්‍ය සම්මා සතිය ඇති කොට ගැනීමට. ඒ වගේමයි යම් රූපයක් ගුරු උපදේශයකින් තොරව විදර්ශනාත්මකව විඳීමේ හැකියාවක් මට එදා තිබුණා. රූපයක් විදර්ශනාත්මකව විඳීමේ හැකියාව මට ලැබුණේ අතීත පටිච්චසමුප්පන්න පුහුණුවක් නිසා බව භික්ෂුවට හොඳටම විශ්වාසයි.

එකිනෙකාගේ පටිච්චසමුප්පන්න සංස්කාර ධර්මයන්, අපි එකිනෙකාට වෙනස් අත්දැකීම් ධර්ම මාර්ගයේදී සකස්කොට දෙනවා. අපි හැමෝගේම නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය වුණත් අපි හැමෝටම එකම කාලසටහනක්, එකම අච්චුවක් වෙන්න බැහැ. අතීතයේ පුංචි සෝපාක රහතන් වහන්සේ, චුල්ලපන්ථක රහතන් වහන්සේ, සුනීත රහතන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොට ගත් වෙලාවේ එම උත්තමයන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග අට පිළිවෙළට දේශනා කිරීමට දැනගෙන නොසිටි බව භික්ෂුවට විශ්වාසයි. නමුත් එම උත්තමයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කළේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි. එම උත්තමයන් තුළ වැඩී තිබුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා ගුණ සහ සම්මා විමුක්තියයි. එකිනෙකාගේ විවිධ අතීත සංස්කාර විවිධ අත්දැකීම් ඔස්සේ අපිව එක ම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට යොමු කරනවා. එම නිසා කවදාකවත් භික්ෂුවට ඔබ වෙන්න බැහැ. ඒ වගේ මයි ඔබට භික්ෂුව වෙන්නත් බැහැ. භික්ෂුව භික්ෂුවගේ අතීත සංස්කාරයන්ගේ ඵලයකි. ඔබ ඔබේ අතීත සංස්කාරයන් ගේ ඵලයකි. එම නිසා ම අනුකරණයන් ගෙන් තොරවයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඔස්සේ පින්වත් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කොට ගත යුත්තේ.

භික්ෂුවගේ භික්ෂු ජීවිතය තුළදී හෝ ගිහි ජීවිතයේදී ධර්ම මාර්ගය වැඩීමේදී කිසිවෙක් අනුකරණය කරලා නැහැ. මා මතුකොට ගත් සංස්කාර ඔස්සේ සකස් වන දැනීම් වලට අදාළවයි ඉදිරියට පැමිණියේ. නමුත් පැවිදිවූවාට පසුව අතීත රහතන් වහන්සේලාගේ ජීවිත පූර්වාදර්ශයන් කොට ගත්තා. මගේ ගිහි ජීවිතයේදී මා තුළ ඝනව වැඩී තිබූ සක්කායදිට්ඨිය තුනී කොට ගැනීමට ගුරු උපදේශයකින් තොරවම මාව යොමු වුණේ මගේ අතීත සංස්කාර හේතුවෙන් දැනීම සකස් වුණේ රූපය අත්විඳීමෙන්ම එහි අස්ථිර භාවය, අනිත්‍ය භාවය, පිළිකුල, අසුභය දැකීම කියන ඉතාමත් අනතුරු දායක දිශාවටයි. ගිහි ජීවිතයේදී ඊට නිදහස මට තිබුණා. මා තුළ ඝනව වැඩී තිබූ මමත්වයේ දැඩි භාවය තුනී කිරීමට වෙනත් විකල්පයක් පිළිබඳ දැනීම් මට සකස් වූයේ නැහැ. තරාදියේ එක පැත්තකට විඳීම කියන අර්ථයත්, තරාදියේ අනෙක් පැත්තට සිහිය කියන අර්ථයත් සමබරව යොදා ගෙන මාරයාගේ ගිහි බන්ධනයන්ට කොටු නොවී රූපයේ නීරසභාවය විඳීමේ, අනිත්‍යභාවය හඳුනාගැනීමේ වෙනස්වීම අත්දැකීම් තුළින් ම දකිමින් උතුම් පැවිදි ජීවිතයට අනතුරකින් තොරව ගොඩ වෙන්න භික්ෂුවට උපකාරක ධර්මයන් සකස් කොට දුන්නේ භික්ෂුවගේ අනිත්‍ය වන අතීත කුසල් සංස්කාර හේතුවෙන් සකස් කොට දුන් දැනීම් මයි. සතිය සිහිය නමැති වේවැලෙන් කීකරු කොට ගත් විඤ්ඤාණය නමැති මැජික්කරුවා මයි.

පංචඋපාදානස්කන්ධය කෙරෙහි දැඩි තෘෂ්ණාව නමැති භූමිතෙල් වල ශක්තිය හීන කොට දමන කොට සක්කායදිට්ඨිය නමැති පහනේ ආලෝකය අඩුවී නිවී යනවා. සක්කායදිට්ඨිය නිරෝධය කිරීමේ මාර්ගය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එම නිසා පින්වත් ඔබ තමා තුළින් සක්කායදිට්ඨිය හඳුනා ගනිමින් තමා තුළින් ම සක්කායදිට්ඨිය පිළිකුල් කරමින්, ඔබේ සක්කායදිට්ඨියේ පිළිකුල් බව පිළිකුල් භාවනාවට ලක් කරන්න. සක්කායදිට්ඨිය නිරෝධ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කොට ගන්න. ශීලයේ යම් දුර්වල භාවයක් තිබෙනවා නම් පසුගාමී වෙන්න එපා. එහෙම දුර්වල සිතක් සකස් වෙනවා නම් එය ඔබගේ අකුසලයක ඵලයක්. එම දුර්වල භාවය අකුසල් සංස්කාරයක ඵලයක් බව හඳුනාගෙන තව තව ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ශක්තිමත් කොට ගන්න. මෙහිදී ලෞකික ප්‍රඥාවට අදාළ සම්මා දිට්ඨියත්, සම්මා සංකප්පයනුත් කෙරෙහි ඔබේ අවධානය සහ පුහුණුව ශක්තිමත් වෙන්න ඕනේ. නෙක්ඛම්ම සංකප්පයයි ඔබේ පුහුණුවේ ජවය ඔබට ශක්තිමත් කොට දෙන්නේ. ලෞකික ප්‍රඥාවෙන් ඔබ පෝෂණය වෙන කොට ශීල විශුද්ධියත් (සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව) චිත්ත විශුද්ධියත් (සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි) ඔබ තුළ ශක්තිමත් වෙන කොට, ඔබ යොමු වෙන්නේ වැරදි ආත්මීය දැක්මෙන් පින්වත් ඔබ පිරිසිදු වෙන දිට්ඨි විශුද්ධිය වෙතටයි.

මේ සඳහා පින්වත් ඔබ පටිච්චසමුප්පාද ධර්මයේ සමුදය, නිරෝධය, වශයෙන් මෙනෙහි කිරීම සජ්ඣායනය කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒ වගේ මයි කායානුපස්සනාවට අදාළව කාය, වේදනා, චිත්ත, ධම්ම කියන ධර්මතාවයන් ගේ අනිත්‍යභාවය මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය ධර්ම කාරණයක් වෙනවා. මේ සක්කායදිට්ඨිය නිරෝධය කිරීමේ මාර්ගයේදී ඔබගේ මව, පියා, බිරිඳ, ස්වාමි පුරුෂයා, පුතා, දුව, පෙම්වතා, පෙම්වතිය, ඔබට ඇලීම් ගැලීම් සකස් කොට දෙන සෑම රූපයක් ම නිහඬ කමටහන් බවට පත් කොට ගැනීමට ඔබ දක්ෂ විය යුතුයි. මේ සියල්ල ඉදිරියේ පින්වත් ඔබ නිහඬ විදර්ශකයෙක් විය යුතුයි. නමුත් මෙතනදී ඔබ අදක්ෂ වුණොත් එම නිහඬ විදර්ශනාවද පෙරළා ඔබේ සක්කායදිට්ඨියම පෝෂණය කිරීමේ පෙර ගමන්කරු වෙන්න පුළුවන්. ඒ නිසා මයි ලෞකික ප්‍රඥාවේ ශක්තියත් විශේෂයෙන් ම නෙක්ඛම්ම සංකප්පත්, මධ්‍යස්ථ වීර්යයත් ගැන භික්ෂුව ලිපියේ ඉහතින් සටහන් තැබුවේ..!

තෙරුවන් සරණයි …!

උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 14” ග්‍රන්ථයෙනි.

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…