නිරෝධ සත්‍යාගේ ස්වභාව සතර.

“නිරෝධස්ස නිස්සරණට්ඨො විවේකට්ඨො අසංඛතට්ඨො අමතට්ඨො” යනුවෙන් පටිසම්භිදා මග්ග පාළියෙහි දක්වන ලද සතරක් වූ නිරෝධ ස්වභාවයන්ගේ, නිරෝධ ලක්ෂණයන්ගේ වශයෙන් ද මේ දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය දත යුතුය.

නිස්සරණට්ඨය, විවේකට්ඨය, අසංඛතට්ඨය, අමතට්ඨය යන මොවුහු නිරෝධාර්ය සත්‍යයාගේ චතුර්විධ ස්වභාවයෝ ය.

නිස්සරණට්ඨය

එහි “නිස්සරණට්ඨය” යනු ක්ලේශයන් කෙරෙන් හා දුඃඛයන් කෙරෙන් මිදුන බව ය. ක්ලේශයන්ගේ ස්කන්ධයන්ගේ නිරෝධය වූ නිර්වාණය නො ලැබුවා වූ නිර්වාණයට නො පැමිණියා වූ සත්ත්වයෝ කොහි සිටියාහුද? කිනම් තත්ත්වයකට පැමිණ සිටියාහුද? ඔවුහු රාගාදි ක්ලේශ සන්තාපයන්ගෙන් ද නො මිදුනෝ ය. පඤ්චස්කන්ධය පරිහරණය කිරීමේ දුඃඛයෙන් ද නො මිදුනෝ ය. ජාති – ජරා – ව්‍යාධි – මරණ – ශෝක – පරිදේවාදියෙන් ද නො මිදුනෝ ය. අපාය දුඃඛයෙන් ද නො මිදුනෝ ය. නිවන වනාහි ඒ ක්ලේශයන්ගේ හා දුඃඛයන්ගේ නිරෝධය වූ බැවින් නිවනට පැමිණියා වූ සත්ත්වයෝ ඒ ක්ලේශයන් කෙරෙන් හා දුඃඛයන් කෙරෙන් මිදුනාහු වෙති. ක්ලේශයන්ගේ හා දුඃඛයන්ගේ නිරෝධය වූ නිර්වාණය සර්වාකාරයෙන් ක්ලේශයන් ගෙන් මිදී පවත්නා ධර්මයකි. නිර්වාණයාගේ ඒ ක්ලේශයන්ගෙන් හා දුඃඛයන්ගෙන් මිදී පවත්නා බව නිරෝධාර්‍ය්‍ය සත්‍යයාගේ නිස්සරණට්ඨය යි.

විවේකට්ඨය

ක්ලේශයන්ගෙන් හා දුඃඛයන්ගෙන් සිස් බව විවේකට්ඨ නමි. නිවනට නො පැමිණියා වූ පුද්ගලයා සසර කවර භවයකට පැමිණ සිටියත් කිනම් තත්ත්වයකට පැමිණ සිටියත් ක්ලේශයන්ගෙන් හා දුඃඛයන්ගෙන් නො මිදියකු බැවින් ඔහු කෙලෙස් බරින් බරව වාසය කරන්නෙකි. දුක් බරින් බරව වාසය කරන්නෙකි. ඔහුට ක්ලේශ සන්තාපයන්ගෙන් හිස් බවෙක් හෙවත් විවේකයෙක් නැත. දුඃඛයන්ගෙන් හිස් බවෙක් විවේකයෙක් ද නැත. නිර්වාණය වනාහි ක්ලේශයන්ගේ හා දුඃඛයන්ගේ අනුත්පාද නිරෝධය වන බැවින් ශීතලයෙහි උෂ්ණය මෙන් ද, ආලෝකයෙහි අන්ධකාරය මෙන් ද, ඒ අනුත්පාද නිරෝධයෙහි කිසි ම ක්ලේශයක් හෝ දුඃඛයක් හෝ නැත. ඒ නිර්වාණ ධාතුව සර්වප්‍ර‍කාරයෙන් ක්ලේශයන්ගෙන් හා දුඃඛයන්ගෙන් හිස් ය. එබැවින් නිවනට පැමිණියා වූ තැනැත්තා හට එහි දුඃඛෝත්පත්තියට වස්තු වන කිසියම් ක්ලේශයකුදු නැත. කිසි ම දුකකුදු නැත. අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වූ ක්ලේශයෝ නැවත උපදිත්ය යි බියවීමට කරුණක් ද නැත. නිරුද්ධ වූ දුඃඛයෝ නැවත උපදිත්ය යි බිය වීමට කරුණක් ද නැත. මේ ක්ලේශයන්ගෙන් හා දුඃඛයන්ගෙන් සර්වාකාරයෙන් සිස් බව නිරෝධාර්‍ය්‍ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණයාගේ විවේකට්ඨය යි.

අසංඛතට්ඨය

පැවතීමට අනුබල දිය යුතු බවක් හෝ ආරක්ෂා කර ගත යුතු බවක් හෝ නැවත නැවත උපදවා ගත යුතු බවක් හෝ නැති බව අසංඛතට්ඨය නමි. කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගෙන් හටගන්නා වූ ස්කන්ධ වනාහි ගෙවි ගෙවී යන්නා වූ ද, දිර දිරා යන්නා වූ ද, සම්පූර්ණයෙන් ම බිඳී යන්නා වූ ද, ස්වභාවයෙන් යුක්ත වූවෝ ය. එබැවින් ස්කන්ධයන්ට ඇලුම් කරන්නා වූ ස්කන්ධ සහිතව වාසය කරන්නා වූ තැනැත්තා හට වැඩ බොහෝ වන්නේය. ශරීරයේ ගෙවී ගිය කොටස් නැවත ඇති කර ගැනීම සඳහා ද නිතර ම එයට ආහාර පානාදියෙන් අනුබල දිය යුතුය. වස්ත්‍ර‍වලින් වසා ගෙවල තබා ශරීරය ආරක්ෂා කළ යුතුය. එබැවින් සත්ත්වයා හට ස්කන්ධ පංචකය රක්ෂා කරනු සඳහා පවත්වනු සඳහා නැවතීමක් නැතිව ගණනක් නැතිව වැඩවල යෙදෙන්නට වන්නේ ය. ලෝකයෙහි වෙසෙන මනුෂ්‍යයන් විසින් නැවතීමක් නොමැතිව දිවා රාත්‍රී දෙක්හි කරන්නා වූ යම් වැඩ රාශියක් වේ නම් ඒ සියල්ල ම කරනුයේ මේ සඳහා ම ය. ආහාරපාන බේත් ආදියෙන් කොතෙක් අනුග්‍ර‍හ කළත් කෙසේ ආරක්ෂා කළත් අන්තිමේදී එය බිඳී යන්නේය. එබැවින් යහපත් වූ අලුත් ස්කන්ධයන් උපදවා ගනු සඳහා පවින් වැලකී සිටීමට ද, දානාදි නොයෙක් පින්කම් කරන්නට ද සත්ත්වයා හට සිදුවන්නේය. එසේ කොට අභිනවස්කන්ධ පංචකයන් උපදවාගත් කල්හි නැවතත් ඒ සඳහා වෙහෙසෙන්නට සිදුවන්නේ ය. ස්කන්ධයන්ට ඇලුම් කරන තාක් එහි අවසානයක් නැත්තේ ය.

නිරෝධාර්‍ය්‍ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණ ධාතුව වනාහි කර්මාදි යම්කිසි හේතුවකින් ප්‍ර‍ත්‍යයකින් හටගත් ධර්‍මයක් නො වේ. එය ඉපදීමක් නැතිව ම ඇත්තා වූ ධර්මයකි. නිර්වාණ ධාතුව ප්‍ර‍ත්‍යයෙන් නො හටගත් දෙයක් බැවින් ඉපදීමක් නැතිව ම ඇති දෙයක් බැවින් එහි ගෙවීමක් ද නැත. දිරීමක් ද නැත. බිඳීමක් ද නැත. ගෙවීම් දිරීම් බිඳීම් ඇත්තේ ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නා වූ ධර්මයන් කෙරෙහි ය. නිර්වාණය වනාහි අන්ධකාරයට විරුද්ධ ස්වභාවය වූ ආලෝකය මෙන් ද, උෂ්ණයට විරුද්ධ ස්වභාවය වූ ශීතලය මෙන් ද, දුකට විරුද්ධ ස්වභාවය වූ සැපය මෙන් ද උපදින දිරන බිදෙන ස්වභාවයන්ට විරුද්ධ ස්වභාවය වූ නූපදින නො දිරන නො බිදෙන ස්වභාවයකි. එය නො දිරා නො බිඳී සෑම කල්හි එක සේ පවත්නේ ය. එ බැවින් නිවනට පැමිණියා වූ පුද්ගලයා හට ඒ නිවනෙහි ගෙවී ගිය කොටස් නැවත ඇති කර ගැනීම සඳහා කළ යුතු කිසිවක් ද නැත්තේය. ඒ නිවන ආරක්ෂා කර ගනු සඳහා පවත්වාගනු සඳහා කළ යුතු කිසිවක් ද නැත්තේ ය. පරණ නිවන නැතිවී යන නිසා අලුත් නිවනක් ඇති කර ගැනීම සඳහා කළ යුතු කිසිවක් ද නැත්තේ ය. නිවනෙහි මේ පවත්වා ගැනීම සඳහා අලුත් කර ගැනීම සඳහා කළ යුතු කිසිවක් නැති බව නිරෝධාර්‍ය්‍ය සත්‍යයා ගේ අසංඛතට්ඨය යි.

අමතට්ඨය

බිඳී අතුරුදහන් වීමක් නොමැතිව සෑම කල්හිම පවත්නා බව අමතට්ඨ නමි. සත්ත්වයන් විසින් ආත්ම යයි ගෙන සිටින්නා වූ කර්මාදි ප්‍ර‍ත්‍යයෙන් නිර්මිත වූ ස්කන්ධයෝ වනාහි ඉපදීමෙන් පසු ඇසි පිය වරක් හෙලන තරම් වූ කාලයකුදු නො පැවතී බිඳි බිඳී යන්නෝ ය. මඳ කලකින් ඒවායේ පරම්පරාව ද සිඳී යන්නේය. එබැවින් ප්‍ර‍ත්‍යයෙන් හටගත්තා වූ ස්කන්ධ ආත්මය කොට ගෙන ඒවාට ඇලුම් කරමින් සිටින්නා වූ සත්ත්වයා හට මරණ භයින් තොරව වාසය කිරීමට ඉඩ ඇති අවස්ථාවක් නො මැත්තේ ය. ඔහු සෑම කල්හි ම මරණ භය සහිත ව වාසය කරන්නේ ය. කර්මාදි යම් කිසි ප්‍ර‍ත්‍යයකින් නූපදවනු ලදුව, ඇත්තා වූ නිර්වාණ ධාතුවට පැමිණියා වූ ඒ සත්ත්වයා හට වනාහි ඒ නිවන කිසි කලෙක නො බිදෙන බැවින් මරණ බයක් නැත්තේ ය. මේ කිසි කලෙක නො බිදෙන බව සෑම කල්හි ම පවත්නා බව ස්ථිර බව නිරෝධාර්‍ය්‍ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණයාගේ අමතට්ඨය වන්නේ ය.

යම්කිසි ධර්මයක නිස්සරණට්ඨය යි කියන ලද දුකින් මිදුන ස්වභාවය ද, විවේකට්ඨය යි කියන ලද දුක් නැති දුක් හා අමිශ්‍ර‍ ස්වභාවය ද, අසංඛතට්ඨය යි කියන ලද නැවත නැවත අලුත් කළ යුතු බවක් නැති බව ද, අමතට්ඨය යි කියන ලද කිසි කලෙක නො බිදෙන නො නැසෙන ස්වභාවය ද ඇත්තේ නම් ඒ ධර්මය සත්‍ය වූ දුඃඛ නිරෝධය හෙවත් දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය වන්නේ ය. ඒ ස්වභාව සතරින් යුක්ත වූ එක ම ධර්මය නම් නිර්වාණ ධාතුව යි. එබැවින් සත්‍යවේදී වූ තථාගතයන් වහන්සේ නිර්වාණය දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය යි වදාළ සේක.

____________________________________

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

බෞද්ධ භාවනා