කුටිය අවට කැලෑ පරිසරය හරිම නිහඬයි. සමාධිමත් සිතක් වගේ නොසෙල්වීම සිටිනවා. අකීකරු සුළඟ ආගිය අතක් නැහැ. වෙනදාට නාද කරන කුරුල්ලෝ කොහේ ගිහින් ද දන්නේ නැහැ. දොළ පාරේ හඬ නොවැස්ස නිසාම සිහින් කෙඳිරියක් වගෙයි ඇසෙන්නේ. මේ කවුරු නැති වුණත්, ගුප්ත නොවූ පරිසරය හරිම ආලෝකවත්. භික්ෂුව, සියළු සත්ත්වයෝ සුවපත් වේවා යැයි කියනවා ඇසිලා, අජීවී පරිසරයත් මෙත් වඩනවා වාගෙයි. කාටවත්ම හිංසාවක්, පීඩාවක් නැහැ. ඒත් තව මොහොතකින් පරිසරයේ සතර මහා ධාතුව කිපීමකට ලක් වුණොත් ආයෙමත් ඇය චංචල වේවි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කැලයේ ගසක මුලට, කඳට, පොත්තට, අරටුවට, දල්ලට, කොළයට, මලට, ඵලයට අධිගෘහිත දෙවියන්, අමනුෂ්‍යයින් සිටිනවාය කියලා. කැලයේ ගංගාවට, ඇළට, දොළට, දිය පාරට, කළුගල් පර්වතයට අධිගෘහිත දෙවියන්, අමනුෂ්‍යයින් සිටිනවාය කියලා. උපාදාන පච්චයා භවය, භව පච්චයා ජාති කියන ධර්මතාවය තුළ කැලය මගේ කොටගෙන ජීවත්වෙන මේ දෙවියන්ට, අමනුෂ්‍යයින්ට යම් මනුෂ්‍යයෙක් මෛත්‍රියෙන් පූර්වාදර්ශයන් දෙයි ද, එවිට පිනට කැමති දෙවියන්, අමනුෂ්‍යයිනුත් මෙත් සිත් වඩද්දී තම තමන් සමගියෙන් ජීවත් වෙද්දී, කැලෑ පරිසරයේ ගුප්ත බව පහව ගිහිල්ලා පරිසරය පුරාම ආලෝකවත් වෙනවා, පිංවත් මනුෂ්‍ය ඔබ මෙත් සිත වඩද්දී, ඔබේ මුහුණ ආලෝකවත් වෙනවා වගේ. භික්ෂුවක් කුටියක වැඩ සිටිද්දී ඒ අවට පරිසරයට කාගෙන්වත් කිසිම හානියක් නැහැ. අඩුම වශයෙන් කෙනෙක් ගසක අත්තක්වත් කපන්නේ නැහැ. කැලයේ දෙවියන්, අමනුෂ්‍යයින් මෙත් වැඩීමේ සුන්දර ආනිශංසයන්. කැලයේ ගුප්තභාවය දුරු වී කැලෑ පරිසරය ආලෝකවත් වෙනවා. කැලය දකිද්දී බියක් නැහැ, ප්‍රීතියක්, පස්සද්ධියක්මයි ඇති වෙන්නේ.
මේ කැලෑ පරිසරයේ තිබෙන ගස් කොළන් හරිම නීරෝගියි. මේ විශාල ගසක වයස අවුරුදු සියයකට වැඩි ඇතැයි භික්ෂුවට සිතෙනවා. මෙතරම් උගත්කමින්, තාක්ෂණයෙන්, වෛද්‍ය විද්‍යාවෙන් දියුණු සමාජයක මනුෂ්‍යයා වයස අවුරුදු හැත්තෑව වෙද්දී ජරා, ව්‍යාධි වලට ලක් වී මිය යද්දී ස්වභාවික වැසි ජලය, වාතය පරිසරයම නිපදවා දෙන කොම්පෝස්ට් පොහොරෙන් පෝෂණය වෙන පොළොවේ නිදහසේ ජීවත්වෙන අජීවී ගහකොළ වසර දෙතුන් සියයක් නිරෝගිව ජීවත් වෙනවා. නගරයේ වවන දෙමුහුන් ශාකයක් වසර විස්සක්වත් ජීවත්වෙන එකක් නැහැ. පුංචි කතාවක් වුණත්, ලොකු පාඩමක් මේ පුංචි කතාව තුළ ජීවත් වෙනවා. අනාගතයේ කවදාහරි දවසක මේ නිරෝගි දීර්ඝායුෂ ලබන ස්වභාවික පරිසරය අකාලයේ විනාශකොට දමන්නේ උගත්කමෙන්, තාක්ෂණයෙන් පෝෂණය වූ මේ මන්ද බුද්ධික මනුෂ්‍ය සමාජයමයි. සියළු සත්ත්වයෝ සුවපත් වේවා යැයි සිතන, මෙත් සිත මරාගෙන උපදින මම පමණක් සුවපත් වේවා යැයි සිතෙන මාර සිත, අභය ඉල්ලන අජීවී පරිසරයට ලබා දෙන්නේ බියමයි. අපි විනාශ වෙනවා මදිවාට, විනාශ නොවූ දේවලුත් අපි විනාශකොට දමනවා.
තෘෂ්ණාවේ සළුපිලි වලින් මෙතෙක් වසාගෙන සිටි අවිද්‍යාවේ නිරුවත කොරෝනාව හරි අගේට විවෘතව පෙන්නලා දෙන මේ මොහොතේ ලෞකික ප්‍රඥාවට, ස්වභාව ධර්මයට පයින් ගසා දැනුමට, තාක්ෂණයට, ඉංග්‍රීසියට දේවත්වයෙන් සලකන්න ගිය මනුෂ්‍ය අපිට වර්තමානයේ උරුමය වෙලා තිබෙන්නේ ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, ප්‍රියයන්ගෙන් වෙන්වීම්, අප්‍රියයන් හා එක්වීම් පමණක්මයි. කුටිය අවට කැලෑ පරිසරය තවමත් ආලෝකවත්වයි පවතින්නේ. සිහින් සුළඟේ රිද්මයට දැන් ඇය එහා මෙහා නැළවෙනවා. භික්ෂුවට මුණ ගැසුණ සැබෑම විශ්වාසවන්තයා, සැබෑම දායකයා, සැබෑම කැපකරුවා, සැබෑම අසල්වැසියා අහිංසක පරිසරය ඔබමයි. ඇයගේ නිකෙලෙස් කරුණාව භික්ෂුවට හොඳටෝම ඇති. පරිසරය විසිහතර පැයේම නොනිදා සිටින නිසාම ඇය සිහින දකින්නේ නැහැ. ඇය සිහින ලෝකවල ජීවත් වෙන්නේත් නැහැ. ඒ නිසාම ඇය සමග අසල්වැසියෙක් ලෙස ජීවත්වීම හරිම පහසුයි. මේ මොහොතේ භික්ෂුවගේ දෑස් මේ පරිසරයේදීම පියවුණොත්, භික්ෂුවගේ දෙතිස් කුණපය මේ පරිසරයට පොහොරක් වේවි. ඇයගෙන් ලද කෘතවේදීභාවයට භික්ෂුවට ඇයට දෙන්නට තිබෙන කෘතවේදීම තෑග්ග එයයි.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට මුල් වෙන්නේ, ජීවත්වීම නොව තම සුපටිපන්න ගුණයෙන් පෝෂණය වූ උජුපටිපන්න ගුණයයි. යම් ශ්‍රාවකයෙක් ජීවත්වීම දෙවෙනි තැනට දමා, උතුම් සුපටිපන්න ගුණයට, උජුපටිපන්න ගුණයට මුල්තැන දුන්නොත්, එම ශ්‍රාවකයා සම්මා සම්බුද්ධ ශාසනයත්, තමාත් යන දෙදෙනාම ජීවත් කරවන්නෙක්ම වෙනවා. යම් ශ්‍රාවකයෙක් සුපටිපන්න ගුණයන්, උජුපටිපන්න ගුණයන් දෙවැනි තැනට දමා තමා ජීවත්වීම මුල් තැනට ගත්තොත්, එම ශ්‍රාවකයා සම්මා සම්බුද්ධ ශාසනයටත්, තමාටත් අනතුරක්මයි සිද්ධකොට ගන්නේ. අපේ පිංවත් ගිහි පිංවතුන්ලාත් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙවැනි තැනට දමා ජීවිතය ජීවත් කරන්න ගියොත්, එහි ප්‍රතිඵලයන් අපිට ලෝකය තුළ විවෘතව පෙනෙන්නට තිබෙනවා. තම පිංවත් ජීවිත වලට ලෞකික ප්‍රඥාවේ අර්ථයන් එකතුකොට නොගෙන, වැටුපට රුපියල්, ශත එකතුකොට ගැනීමට යාමේ අනතුරු අතීතයේ අපි දැකලා තිබෙනවා. මේ කෙටි ජීවිතය අවසානයේ මහ පොළොවට පොහොරක් වෙන බව නොසිතා රසායනික, කොම්පෝස්ට් දෙපාර්ශ්වය කරපු අරගලය තවමත් අළු යට සැඟවිලා තිබෙනවා. අපගේ ජීවිතය නමැති පටිච්චසමුප්පන්න බැලුම් බෝලය ප්‍රඥාවේ ඉඳිකටු තුඩෙන් සිදුරුකොට දමන්නේ නැතිව, එම පටිච්චසමුප්පන්න බැලුම් බෝලය උපාදානයේ අතින් භවයෙන් භවයට පාස් කිරීමෙන් අපි අපිටම සිදුකොට ගන්නා අනතුර ගැන තවම සිතන්නේ නැහැ.
නිවුනු ජීවිතයක් මත තැබෙන, ඵස්සයේ දැමුණු පිය සටහන් අවදි වීමෙන් පසු සිහින මිය යන්නා සේ මැකී යන්නේ, විඳීමේ මහා සයුරේ රැළි නොනගින නිසාමයි. විඳීමේ ආහාර අහිමි වීමෙන් පුරාවස්තුවක් වූ මළ කඳන් සේ වැතිරී තිබෙන සංඥාවේ, සංස්කාරයන්ගේ, විඤ්ඤාණයන්ගේ සෙවනැලි, එතෙර වූ ජීවිතයකට මෙතෙර මළ සංස්කාර උණ්ඩයකින් කෙරෙන අවසාන සංස්කාර වෙඩි හඬක් පමණක්මයි ඉතිරිකොට තිබෙන්නේ. භික්ෂුව ඉහතින් සටහන් තැබුවේ අතීතයේ වැඩ සිටිය උතුම් ආර්ය ශ්‍රාවකයන් අනුපාදිශේෂ පිරිනිවීම දෙස මෙසේ ධර්මයේ උපේක්ෂාවෙන් පසුවෙන්නට ඇතැයි භික්ෂුවගේ සිතේ ඇඳුණ සිතුවිල්ලයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපිට භව නිරෝධය උදෙසා, උතුම් චතුරාර්ය සත්‍යයන් දැකීම උදෙසා ඡන්දයක් ඇතිකොට ගන්නය කියලා. සුනීත, සෝපාක, පටාචාරාවන්ට භව නිරෝධය සාක්ෂාත් කොටගන්න පුළුවන් වුණා නම්, ඇයි මට බැරි කියලා සති, ධම්ම විචය බොජ්ඣඬ්ඟයන්ගෙන් පෝෂණය වූ වීර්යයක් ඇතිකොට ගන්නය කියලා. පිංවත් ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අසන්න, ඔබ වීර්යය ඇතිකොටගෙන තිබෙන්නේ කුමක් උදෙසා ද කියලා. තම ජීවිතයේ, තම පවුලේ ආරක්ෂාව උදෙසා, සෞභාග්‍යය උදෙසා ජීවිතයේ කොනක් ධර්මයේ ගැට ගසලා අපි මේ යන්නේ සංස්කාර අශ්වයාගේ පිටේම නැගලා නේද කියලා. සමහර වටිනා දේවල්, අර්ථවත් දේවල් අපිට කවුරුවත් කියලා දෙන්නේ නැහැ. ජීවිතය කියලා කියන්නේ අතීත භව ගමනේ පටිච්චසමුප්පන්න අස්වැන්නක්. සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය, වර්තමානයේ ගුරු ඇසුරකින් තොර, අර්ථවත් දැනීම් අපිට සකස්කොට දෙන්න පුළුවන්. පිංවත් ඔබගේ ඵස්සය නිරෝගීව තබා ගන්න ඔබ දක්ෂ නම්, මෝදුවෙන සති සම්බොජ්ඣඬ්ඟයන් ලෝකය අපිට හඳුන්වලා දෙන්නේ ධර්මයක්ම වැඩෙන ධම්ම විචය බොජ්ඣඬ්ඟය දිශාවටමයි. ධම්ම විචය බොජ්ඣඬ්ඟය තුළින් ලෝකය දකින පිංවතා සමාජයේ ජීවත්වන මනුෂ්‍යයෙකුගේ හොඳ සහ නරක දකින්නේ, ඔහු හෝ ඇය කියන ආත්මීය සංඥාවෙන් නොවේ. කෙනෙකුගේ හොඳ හෝ නරක ඔහු දකින්නේ ආත්මීය සංඥාවෙන් මිදුන අවිද්‍යාව වශයෙන්මයි. තමන්ගේ හෝ අනුනගේ ලැබීම හෝ නොලැබීම, දුක හෝ සැප ඔහු දකින්නේ ආත්මීය සංඥාවෙන් මිදුන සංස්කාරයන් ලෙසින්මය. සති සම්බොජ්ඣඬ්ඟයෙන් පෝෂණය වූ ධම්ම විචය බොජ්ඣඬ්ඟයෙන් ලෝකය දකින පිංවතා තමාගේ හෝ අනුනගේ හොඳ හැසිරීමක් හෝ නරක හැසිරීමක් දකින්නේ, තවත් කෙනෙකුගේ අනුවණ ක්‍රියාවක් හෝ නුවණැති ක්‍රියාවක් දකින්නේ ආත්මීය සංඥාවෙන් මිදුන සංස්කාර පච්චයා විඤ්ඤාණ හෙවත් දැනීම් වශයෙන්මයි. ධම්ම විචය බොජ්ඣඬ්ඟය තුළින් ලෝකය දකින පිංවතා, තමාගේ හෝ අනුනගේ විවිධ සිතුවිලි සහ ක්‍රියාකාරකම් දකින්නේ ඔහු හෝ මම, ඇය කියන ආත්මීය සංඥාවෙන් නොව, විඤ්ඤාණ පච්චයා නාමරූප වශයෙන්මයි. ආත්මීය සංඥාවෙන් තොරව ලෝකය දකින පිංවතා, තමන් ප්‍රිය රූපයක් දැක්කත්, තමන් අප්‍රිය මනුෂ්‍ය රූපයක් දැක්කත් එම රූපය දකින්නේ නාමරූප හේතුවෙන් සකස්වුණ ආයතන හයක් වශයෙන්මය.
දකින රූපයෙන්, ඇසෙන ශබ්දයෙන්, දැනෙන සිතුවිල්ලෙන් ඵස්සය අපිරිසිදු නොකර, පිරිසිදු පටිච්චසමුප්පන්න ධර්මය පිළිබඳ දැක්මක් හෙවත් දිට්ඨි විශුද්ධියක් අපට ලබාදෙන ඉහත ක්‍රියාන්විතයයි, විදර්ශනාවට ආත්මීය සංඥාවෙන් තොර දොරටුව වෙන්නේ. උතුම් සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වූ ශීල විශුද්ධිය තුළ මම, මගේ, මගේ ආත්මය කියන ශීලයේ පෙර ගමන් මග හරස් කරන සක්කාය දිට්ඨියේ කුණු හැව, චිත්ත විශුද්ධියේ උපකාරයෙන් සෝදා හරින මුල් සේදුම්කාරකය වෙන්නේ දිට්ඨි විශුද්ධියමයි. පිංවත් ගිහි ඔබ රකින පංචශීලයෙන්, ආජීව අට්ඨමක ශීලයෙන් ඔබව සමාධිය දෙසට යොමු කරන සුන්දර අර්ථයක් තමයි ඉන්ද්‍රීය සංවර ශීලය. ඇසෙන් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අසලා, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් යමක් දැනිලා ඔබගේ ඵස්සය ඇලීම් සහ ගැටීම් වලින් අපිරිසිදු නොකර ගැනීමයි ඉන්ද්‍රීය සංවර ශීලය කියන්නේ. අපි හැමෝගේම ඉන්ද්‍රීය සංවර ශීලය හුඟාක් දුර්වලයි. ඉන්ද්‍රීය සංවර ශීලය ශක්තිමත් කොටගන්න ප්‍රත්‍යවේක්ෂා ශීලය ලොකු ශක්තියක් දෙනවා. අපි උතුම් ප්‍රත්‍යවේක්ෂා ශීලය දුර්වල කොටගන්න මොහොතක් පාසා ඉන්ද්‍රීය සංවර ශීලය අපිට අකීකරු වෙනවා. එවිට සම්මා ආජීව ශීලය අපෙන් ලිස්සා යන්නේ, කෙසෙල් ලෙල්ලකට පය තිබ්බා වගේමයි. බුදුරජාණන් වහන්සේ අපට එපා කියලා කිව්ව මිච්ඡා ආජීවයන්ටමයි, අපිව ඇදිලා යන්නේ. පිංවත් ඔබ සම්මා දිට්ඨියේ සහ සම්මා සංකප්පයන්ගේ උතුම් අර්ථයන් භාවනාවක් සේ ජීවිතයට එකතුකොට ගන්න. එවිටයි පිංවත් ඔබේ නිවීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේම නිවැරදිව පෙර ගමන් යන්නේ.
තම කුළුඳුල් ආදරයෙන් පැරදුණ තරුණ මහත්මයෙක් පසුගිය දවසක භික්ෂුව මුණගැසී කියනවා, තමන්ට පැවිදි වෙන්න අවශ්‍යයි කියලා. භික්ෂුව එම තරුණයාට ප්‍රකාශ කළේ ඔබ ආදරය දිනාගෙනයි පැවිදි වියයුත්තේ කියලා. පිංවත් ඔබ ආදරය දිනා නොගෙන පැවිදි වුණොත් ඔබ ආශ්වාදය සහ ආදීනවය තුළ දෝලනය වෙන අසාර්ථක පැවිදි චරිතයක් වෙන්න පුළුවන්. පිංවත් ඔබ කොහොම ද පැවිදි වීමට පෙර, ආදරය දිනා ගන්නේ? ඔබ ඔය පසුවෙන ආදරයේ ආදීනවය කෙසේ ද ආදරයේ නිස්සරණය දෙසට යොමුකොට ගන්නේ? එකිනෙකාට ආදරය කරද්දී ගොඩාක් සතුටුවෙන අපි, ඒ ආදරය විරහවක් බවට පත්වෙද්දී ගොඩාක් දුක් වෙනවා. මුලින්ම ජීවිතයට සිහින ගෙනෙන තරුවක් හෝ තාරකාවියක් වන ඔහු හෝ ඇය, දෙවෙනිව ජීවිතයට බලාපොරොත්තුවක් වූ මනාලයෙක්, මනාලියක් වී තෙවැනිව විරසකයක්ම වෙනවා. කළුවර පොහොය සේ, අඳුර රැඳුන අපේ ජීවිත වලට පසළොස්වක සඳක් වෙන්න ආදරයට පුළුවන් කමක් නැහැ. කෙටි ආශ්වාදයේ මිරිඟුව අග, සෑම නිමේෂයකදීම අදීනවයේ අමිහිරි සැඟවී තිබෙනවා. ඒ නිසාම ලොවුතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අනුන්ව සෙවීම පසෙක තබා, තමන් ගැන සොයන්න කියලා. පෙම්වතෙක්, පෙම්වතියක් සෙවීම පසෙක තබා, තමන් ගැන තමන් සෙව්වා නම් අපිට මේ කරදර මුකුත්ම නැහැ. විරහ වේදනාවෙන් හදිසියේ පැවිදි වෙන්න පෙර කරුණාකර ඔබ, ඔබ ගැන මොහොතක් සොයන්න. කෙසේ ද ඔබ සොයන්නේ? අවිද්‍යා පච්චයා සංඛාර. අවිද්‍යාව නිසාම සකස් වූ සංස්කාර ගොඩක්. එවිට ඔබට ආදරයේ නිරෝධය හමුවේවි.
පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ.
උපුටා ගැනීම – 2021.10.17 වන ඉරුදින දිවයින පුවත්පත