මෙහෙමයි දරුවෝ. කඨින පින්කමක් කියන්නේ, වස් සමාදන් වීමක් කියන්නේ අමතර වූ ශික්ෂාවක් සමාදන් වීමක්නේ. සාමාන්‍ය භික්‍ෂුවක් නෙමෙයි එදාට ඉන්නෙ.
එතකොට අපි අමතර වූ ශික්ෂාවක් සමාදන් වෙනව වස් තුන් මාසය තුළ. ඒ තුන් මාසය තුළ අපිට සතියකට වඩා කුටියෙන් පිටව යන්නත් බැහැ. දැන් අපට ඕනෙ නම් අද කුටියෙන් යනවා කියලා කුටියෙන් පිටව ගිහින් මාසයක් විතර ඉදලා ආයිමත් එන්න පුළුවන්. නමුත් වස් සමාදන් වුණාට පස්සේ අපිට එහෙම බැහැ.
අපි අධිෂ්ඨානයක් ඇතිකර ගෙනයි කුටියෙන් පිටව යන්න ඕන දින හතක් ඇතුළත නැවත කුටියට එනව කියලා. යම් හෙයකින් දින හතක් ඇතුළත කුටියට එන්න බැරි වුණොත් අපේ වස් ශීලය බිදෙනව. ඒ වස් ශීලය බිදුණට පස්සේ කෙනෙක් අපිට වස් චීවරයක් පූජා කළාට ඒකෙ ආනිශංස චීවරය පූජා කරන අයට නැහැ.
වස් ශීලය බුදුරජාණන් වහන්සේ අටමහා කුසලයක් හැටියට දමන්නෙ මොකද? වස් තුන් මාසය තුළ ගතකරන්නා වූ ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සාමාන්‍ය ජීවිතයේ සමාදන් වෙන්නා වූ ප්‍රාතිමෝක්ෂ ශීලයට අමතරව ඊට වඩා ශක්තිමත් ශීලයක් ඒ මාස තුන තුළ ආරක්ෂා කරනවා. ඒ ශක්තිමත් ශීලයත් ආරක්ෂා කරනවා වගේම ඒ ශක්තිමත් ශීලයත් ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේලාට සිව්පසයෙන් ඇප උපස්ථාන කරන සියලුම පින්වතුන්ලාගේ ඇ උපස්ථාන ධර්මයන් සාමාන්‍ය කාලයට වඩා පිනෙන් වැඩියි. පිනෙන් වැඩියි.
ඉතින් එතැන වෙන හේතුවක් තියෙන්න විදියක් නැහැ. තියෙන්නේ එක හේතුවයි. අර ස්වාමීන් වහන්සේලා අමතර සුවිශේෂ වූ “මම මේ වස් කාලය තුළ අධිගමයක් සාක්ෂාත් කරගන්නවා”ය කියන ධර්මයේ සැබෑම අර්ථය තුළ තමයි ඒ වස් තුන් මාසෙ ජීවත් වෙන්නේ.
ධර්මයේ අර්ථය තුළ ඒ විනය ශික්ෂාවන් ආරක්ෂා කරගෙන, අමතර විනය ශික්ෂාවන් රැකගෙන ඒ වස් තුන් මාසය තුළ ජීවත් වෙන ස්වාමීන් වහන්සේලාට වස් තුන් මාසය අවසානයේ පූජා කරන්නා වූ චීවරය අනෙක් චීවර පූජාවන්ට වඩා ආනිශංස වෙන්න ඒක තමයි හේතු වෙන්නෙ.
තෙරුවන් සරණයි!!!
අතිපූජනීය රාජගිරියේ අරියඥාණ හිමි
සිරස එෆ් එම් පන්සිල් මළුව වැඩසටහනකින් උපුටා ගත්තකි.
සියළු දානයන් අතර ධර්ම දානය ම අග්‍ර වන්නේ ය. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ(සංයුත්ත නිකාය, දේවතා සංයුක්තය, ආදිත්ත වග්ගය, කිංදද සූත්‍රය). මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.