හැම වෙලාවේම අපි ගොඩක් බුද්ධිමත් වෙන්නට ඕනේ. ගොඩක් දෙනෙක් මේ අනාත්මයි කියන එක පිළිගන්නේ නැහැ. ඇත්ත ඒක එහෙමම තමයි. දැන් අපි නිකමට හිතමු මේ ධර්මය තේරුම් ගන්න ඉස්සෙල්ලා අපේ පොඩි කාලේ, අපිට මේ ‘මම’ම වෙලා මේ ‘කෙනෙක්ම’ වෙලා ‘පුද්ගලයෙක්ම’ වෙලා හිටියා මිසක ඇත්තටම ඒ කාලේ ගත්තහම අපිත් ආත්මම තමයි. අනාත්මයි කියලා, මම නෙවෙයි කියලා කිව්වොත් පුදුම හිතෙනවා කියන මට්ටමක් තිබුනේ. නමුත් අවිද්‍යාව කියන්නේ ඒකමයි. ලෝකය කියලා කියන්නෙම ඔන්න ඔය වගේ ආත්ම දෘෂ්ඨියක්, ආත්ම සඤ්ඤාවක් ඇතුලේ ජීවත්වෙන පැවැත්මක්.
ලෝකයාට අගෝචර අනාත්මය.
මුළු ලෝකයම සත්ව පුද්ගල කියන හැඟීම ඉපදිලා සත්ව පුද්ගල කියන හැඟීමත් එක්කම පැවතිලා ඒ හැඟීමක් එක්කම නැතිවෙලා යන ධර්මතාවක්. එබඳු ලෝකයකට තථාගතයන් වහන්සේ නමක් පහළ නොවුණොත් කිසිදු කලෙක ‘අනාත්මයි’ කියන එක ඔබටවත් මටවත් නම් තේරෙන්නේ නැහැමයි. ‘ඒ කියන්නේ අපි කුඩා කාලයේ හෝ පාසල් යන කාලයේ අනාත්මයි කියන එකක් ගැන අපේ ජීවිතයේ තිබුණේ නැහැ, එහෙම පැත්තක් ගැන දන්නේ නැහැ, ආත්මයි’ කියන තැනකින් තමයි තිබුනේ. ඒ පැවැත්ම තමයි වැඩිහිටි භාවයට පත්වෙලා මහළු වෙලා මියැදෙන තුරුම මේ ලෝකයට අයිති ස්වභාවය.
නමුත් අපිට පෙර පිනක් තිබුන හින්දා වෙන්න ඇති ටික ටික වැඩිහිටි භාවයට එනකොට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හම්බ වුනහම අපිත් සසර හුරු කළ හින්දා වෙන්න ඇති, ඒ අනුව තර්ක කර කර විතර්ක කර කර ටික ටික හිතනකොට අපිටත් ඇත්තටම ටික ටික තේරුණා රූපය කියන ධර්මතාවය මම හෝ මගේ හෝ නෙවෙයි අනාත්මයි කියන එක. එතකොට වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන ටික අනාත්මයි කියන එක. නිකන් විතරක් නෙවෙයි තථාගතයන් වහන්සේ ඒවාට හොඳට හේතු පෙන්වලා තියෙනවා.
අපි ගත්තහම “ඡ ඡක්ක සූත්‍රය” වගේ සූත්‍රයක්, “මහණෙනි, කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඇහැ ආත්මයි කියලා, ඇහැ මගේ කියලා. නමුත් එසේ නොදත යුතුයි ඇහැ අනාත්මයි”, ඇයි අනාත්මයි කියලා කියන්නේ? “මහණෙනි ඇහැ කියන එකේ ඇති වීමක් නැති වීමක් වෙනවා” එතකොට ඔබට හිතන්නට පුළුවන් “මගේ ආත්මය තමයි ඒ ඇති වෙනවා නැති වෙනවා කියන්නේ” කියලා. “මහණෙනි එසේ නොදත යුතුයි. ඇහැ හැදෙන්න යම් හේතුවක් තියෙනවා, ප්‍රත්‍යයක් තියෙනවා. ඒ හේතුව, ඒ ප්‍රත්‍ය අනාත්මයි. ඒ නිසා ඇහැ අනාත්මයි කියලා. ඒ වගේ මේ කෙලෙස් තුල ගැඹුර තථාගතයන් වහන්සේ පෙන්වනවා.
අපි මෙතනදී බොහොම ශ්‍රද්ධාව ඇතිකර ගන්න ඕන. මේ ලෝකය හැමදාම පැවතුනේ, හැමදාම පවතින්නේ ‘ආත්ම සඤ්ඤාවක්’ මත. ඒ ආත්ම සඤ්ඤාවක් තුළ හොඳට හෝ නරකට හෝ කොහොම හරි ජීවත් වෙන්න හදනවා. එතකොට හොඳ පුද්ගලයෙක් නිර්මාණය වෙනවා නැතිනම් නරක පුද්ගලයෙක් නිර්මාණය වෙනවා. නමුත් හොඳ සහ නරක කියන මේ දෙකම බෙදුනේ ‘පුද්ගලභාවය මතයි’ නේද කියලා ඒ පුද්ගලභාවය අයින් කරන ධර්මතාවයට එන්නේ නැහැ ලෝකය තුළ.
අනිත් හැම ආගමක්ම ගන්න; ගොඩක් ආගම්වල පෙන්වනවා හොඳ පුද්ගලයෙක් නිර්මාණය කරන විදිහ. තව කෙනකුට උපකාර කරන, තව කෙනෙක් දිහා බොහොම මෙත් සහගත ලෙස බලන, බොහොම ගුණ යහපත් කෙනෙක් වෙන්න කියලා අයහපත් කෙනෙක් වීම සුදුසු නැතිකම පෙන්වනවා බොහෝ ආගමකම. ඒක ලෝකය තුළ වටිනවා, බොහොම ශ්‍රේෂ්ඨයි. නමුත් මේ බුදු දහමෙන් පෙන්වන දේ තමයි හොද සහ නරක කියන පුද්ගලයෙක් විද්‍යමාන වෙන්නේ පුද්ගලයෙක් ඉන්නවා නම් විතරයි. කොතනක හෝ පුද්ගලභාවයම අහෝසි වෙනවා නම්, අවලංගු වෙනවා නම් මේ හොඳ සහ නරක කියන අන්ත දෙකම අතහැරෙනවා. අන්න ඒ වගේ ගැඹුරු දර්ශනයක් බුදුදහම.
මෙතනදී අපි හැම කෙනෙක්ම ටික ටික හෝ ප්‍රායෝගික වෙන්න ඕනේ මෙන්න මේ වගේ නකුලපිතු ආදී සූත්‍රයන් අහගත්තාම මේ සූත්‍රය විතරක් නෙවෙයි මුළු අසූහාර දහසක් ධර්ම ස්කන්ධය ම බැලුවොත් ඒ ධර්ම දේශනා එක එක ක්‍රම වලට එක එක ස්වාමීන් වහන්සේලාගෙන් එක එක උපාසක උපාසිකාවන්ගෙන් අපිට අහන්න ලැබෙන්න පුළුවන්. ඒ මොන තැනකින් ලැබුණත් අපිට එක පණිවිඩයයි ලැබෙන්නේ. ‘මේ ලෝකය අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ ධර්මතාවයක්’ කියන උත්තරය තමයි ලැබෙන්නේ. එහෙම නම් අපි අර්ථය ඇතිකර ගන්නට දක්ෂ වෙන්න ඕනේ
‘ලෝකය අනාත්ම යි’ කියන එක තමයි තථාගතයන් වහන්සේ ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන් පෙන්න පෙන්න කටයුතු කරන්නේ. එහෙම අනාත්මයි නම් ආත්ම සඤ්ඤාව තියෙන්නේ ‘ඒ අරමුණු පරිහරණය කරන අපේ මානසික මට්ටමක් තුළයි’, නමුත් ඒ ආත්ම සඤ්ඤාව ගලවලා අපිට අයින් කරන්න බැහැ. උදාහරණයක් හැටියට අඳුරක් ගත්තොත් අඳුර කියන එක අපිට අයින් කරන්න බැහැ, අඳුර අයින් කරන්න අපිට ක්‍රමයක් නැහැ. මොකද ගෝනි වලට පුරවලා, බෝතල් වලට පුරවලා අඳුර අයින් කරන්නද? එහෙම බැහැ.
හැබැයි අඳුර නැති කරන්නත් ආලෝකයක් ඇති කරන්නත් අපිට කරන්න පුළුවන් එක දෙයයි ‘ආලෝකයක් ඇති කරන එක’. අඳුර නැති කරනවා කියලා අපිට වෙනමම එකක් කරන්න බැහැ හැබැයි ආලෝකයක් ඇති කරන්න පුළුවන්. ආලෝකය ඇති කරනකොට ආලෝකය විසින් අඳුර නැති කරනවා. ඒ වගේ අපිට මේ ලෝකයේ ආත්ම සඤ්ඤාවක් තියෙයි. පුද්ගලභාවයෙන් පෙනෙන, දුක ඇතිවෙන ආත්ම සඤ්ඤාව හරියට අඳුරක් වගෙයි. හැබැයි මේ අඳුර නැති කරන්න අපිට ක්‍රමයක් නැහැ. ක්‍රමයක් නැහැ කියන එකෙන් කිව්වේ ඒ ආත්ම සඤ්ඤාව නම් අඳුර නැති කරන්නත් අපිට විද්‍යාව නැමැති ආලෝකය උපදවා ගන්න තියෙන්නේ විද්‍යාව නම් ‘සම්මා දිට්ඨිය’
මාර්ගය තියෙන්නේ ඒකමයි. ඇත්ත කියන එක බලන්නත්, බොරුව අයින් කරන්නත් තියෙන්නේ එකමයි. ඒ සම්මා දිට්ඨියයි. ඒ නිසා හැම වෙලාවෙම අපි ටික ටික හෝ උත්සාහවත් වෙන්න ඕනේ අනාත්ම සඤ්ඤාව භාවිතා කරන්න.
මේ ටිකෙන් මම කියලා දෙන්න හදන එක දෙයක් තියෙන්නේ. පින්වතුන්, මෙන්න මේ ටික හොඳට ජීවිතයට මතක තියා ගන්න. මේ බණ ඔයගොල්ලො උපන්න දවසේ ඉඳලා අවුරුදු සීයක් ජීවත් වුණත්, ඒ අවුරුදු සියය පුරාවටම බණ ඇහුවත් ඔයගොල්ලන්ට එක්තරා සීමාවක් දක්වා විතරයි ඔයගොල්ලන්ගේ අවබෝධය ලැබෙන්නේ. පරතෝඝෝෂයෙන් ඔයගොල්ලන්ට ගෙනත් දෙන්නේ එක්තරා සීමාවකට විතරයි.
ඒ සීමාව ජීවිතය දුකෙන් එතෙර කරවන්න සමත් වෙන්නේ නැහැ. ඒකෙන් මතක් කළේ, ඒ ලැබෙන උපදේශය ඊට පස්සේ තමන් තුළින් යොදාගත යුතු කොටසක් තියෙනවා. තමන් ඒ තුළ යොදා ගැනීමෙන්මයි ජීවිතයක තියෙන දුක අයින් කරන්නේ. හොඳට මතක තියාගන්න කුමන බණ දහමක් ඇහුවත් ඒ හැම තැනකින්ම ලැබෙන උපදේශය ඊට පස්සේ තරයේ පිහිටන්න.
මේ දේශනාවන් තුළින් ද පෙන්නුවේ අපිට වැඩි දුකක් ඇවිල්ලා තියෙන්නේ කෙලෙස් නිසා කියන එක ඒ කියන්නේ ආත්ම සඤ්ඤාව නිසයි කියන එක.
අපි ස්කන්ධ, ධාතු, ආයතනයන්ගේ අනාත්ම ස්වභාවය ඉගෙනගෙන තියෙයි. මේ ටික ඉගෙන ගත්තේ ඔයගොල්ලන්ට වෙනදා වගේ සත්ව පුද්ගලභාවයෙන් ජීවත් වෙන්න නෙවෙයි. දැන් ඔයගොල්ලො මේ අහගත්ත දේ ටික ටික හෝ ප්‍රායෝගිකව යොදා ගන්නට ඕනේ. ප්‍රායෝගික වෙන්න කියලා කියන්නේ ඔයගොල්ලෝ පැත්තකට ගිහිල්ලා ඉඳගෙන ඉන්නකොට බලන්න තොරතෝංචියක් නැතුව හිත, තමන් මෙච්චර කල් ඇසුරු කළ ආශ්‍රව (ආශ්‍රව කියන්නේ අනාත්මය නොදන්නා කාලයේදී මේ රූප දිහා බැලුවේම ‘පුද්ගලයෙක්’ කියලා, සිහි කලේම ‘පුද්ගලයෙක්’ ගැන). පරණ හුරුවට තව පුද්ගලයෝ, තව සත්වයෝ හිතට සිහි වෙන්න පුළුවන්.
භාවනාව යනු,
‘යාළුවා’ කියලා සිහි කරලා පුද්ගලභාවයෙන් එයා හොඳ කෙනෙක්, නරක කෙනෙක් කියලා හිතෙන්න පුළුවන්. සහෝදරයෙක්, සහෝදරියක්, ඥාතියෙක්, හිතෛෂී කෙනෙක් සිහි කරන්න පුළුවන්. මෙතනදි දැන් භාවනාව කියන්නෙම වෙන මුකුත් නෙවෙයි, ඔයගොල්ලෝ පැත්තකට ගිහිල්ලා ඉඳගෙන හිත පුද්ගලභාවයට සිහි කරලා සිහි කර ගත්ත අරමුණ අල්ලගෙන පුද්ගලභාවයෙන් හිතන්න හදනකොටම ඒ පරණ විදිහට හිතට පුද්ගලභාවයෙන් අරමුණු කර දුවන්නට නොදී ටික ටික හෝ ඒ අරමුණු නුවණින් වළක්වන්නම ඕනේ. ඒ සඳහායි මේ හැම ධර්ම දේශනාවකින් ම දෙන උපදේශය ඕගොල්ලන්ට.
මේ කියලා දෙන්නේ මේ දුක නැති කරන්න නම්, මේ සසර ගමන අවසන් කරන්නට නම් මේ අනාත්මය අවබෝධ කරගන්නට ඕනේ කියලා කියන්නේ ආත්ම සඤ්ඤාව බිඳින්න ඕනේ කියන එක. ඔයගොල්ලො හොඳට සිහි කරන්න මොන තරම් රූපය අනාත්මයි බව කියලා දුන්නත්; අපි කියමු, ඒ රූපයේ පවතින මහාභූත ටිකේ ලක්ෂණ ස්වභාවය හෝ රූපය අනාත්ම බවට රූපයේ ස්වභාවයත් රූපය ඇතිවෙන හේතු ටිකක් කියලා දුන්නා. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන්නේ මොනවාද, ඒවා ඇති වෙන්නේ කොහොමද කියලා ඒවායේ ස්වභාවයත් ඔයගොල්ලන්ට හොඳට කියලා දුන්නා. ඔයගොල්ලොත් හොඳට ඉගෙන ගත්තා කියන්නකො.
හැබැයි දැනුමක් තියෙයි. නමුත් ‘දරුවා’ ගැන හිත සිහි කරනකොටම අර ඉගෙන ගත්ත දේ උදව් කරගෙන මේ ‘දරුවා’ කියලා සිහිකර ගත්ත අරමුණ ලෝභ ද්වේශ දක්වා වර්ධනය වෙන්න නොදෙන විදිහට දැනුම ප්‍රයෝජනයට ගන්නේ නැතුව ‘දරුවා’ කියලා වෙනදා වගේම සිහිකරගෙන වෙනදා වගේම ‘දරුවා’ ගැන කැමති හෝ අකමැති වෙන විදියට හිතලා අතහරිනවා ‘අම්මා’ ගැන හිතනවා, හිතලා අතහරිනවා. මේ වගේ යාළුවෝ මිත්‍රයෝ සහෝදරයෝ ගැන කොච්චර හෝ ඔබ හිතනවා කියන්නකො. වෙනදා හිතන හිතීම් රටාව චුට්ටක්වත් වෙනස් කරගත්තේ නැහැ මේ බණ ටික අහගත්තා කියලා.
මේ බණ ටික අහගත්තේ වෙනදා ලෝකය පරිහරණය කරන අවස්ථාව පවත්වන්න බැරිවෙන විදිහට නුවණ යොදාගන්න නේද කියලා ඔබ ජීවිතයට එකතු කරගන්න ඔබ මේක ඉගෙන ගෙන මේක ප්‍රයෝගිකව වැඩුවේ නැතිනම්; බණ ඇහුවා, ඉගෙන ගත්තා එච්චරයි කියන තැනකින් හිටියොත් ඔබට කවදාවත්ම අනාත්මයි කියලා අහපු තැනට ළං වෙන්න හම්බ වෙන්නේ නැහැ, ආත්ම සඤ්ඤාව හිස් වෙන්නේ නැහැ අනාත්මය ළං වෙන්නේ නැහැ. නමුත් වැඩ රාජකාරි අතර ටික ටික හෝ උදේ කාලයේ එක විනාඩි පහක් හෝ උත්සාහවත් වෙන්න.
ඔබට සත්ව පුද්ගලභාවයට සිහිවෙන කොට, ඒ විනාඩි පහට සත්ව පුද්ගලභාවයට සිහිවෙන අරමුණට යන්නට නොදී (රූපයක් සිහිකර ගත්තහම, රූපය සතර මහා ධාතුයි, කුණුප කොටස් ටිකක් තියෙන්නේ, ඒකත් ආහාරයෙන් හැදිලා තියෙන්නේ) අනාත්මයි නේද කියලා පෙන්වන්න. ඒ පෙන්වන මොහොතේ රූපයේ ඇත්තත් දකිනවා, සත්ව පුද්ගලභාවයට හිත කියවන්න දීලාත් නැහැ. මේ වගේ දවල්ටත් හවසටත් අඩුම තරමේ විනාඩි පහ ගානේ කරන්න. ජීවිතයේ ඇත්තටම ලොකු වෙනසක් වෙයි. පින්වත් ඔබ හැමදෙනාටම දෙන්න තියෙන අවවාදය තමයි තව කොහොමහරි බණ ටිකක් යන්තම් අහගත්තා කියලා වැඩකුත් නැහැ.
මේ තුළින් ඔබ ඔබේ ජීවත්වෙන ජීවිතයට මේ දහම එකතු කරගන්න ඕනේ. වෙනදා පවත්වපු විදිහට අපේ මනසින් ලෝකය පවත්වන්න බැරි වෙන්න ඕනේ. අපි තව පැත්තෙන් ගත්තොත් ලෝකය කියලා කියන්නේ, ඔබට එක තැනක ඉඳගෙන ඔබගේ යාලුවෝ ගැන, සහෝදරයෝ, ඥාතී හිතෛෂීන් ගැන ඒ යාලුවෝ ඉන්න තැන්, කරපු දේවල් හිත හිතා ඉන්න පුළුවන් මානසික මට්ටමට. ඔබට ගම්, පළාත්, නගර, ගොඩනැඟිලි, වැඩ පොළවල් ආදී ඕවා ඔක්කොම හම්බ වෙන්නේ නිමිති තියෙන්නේ ඒ හා පටිබද්ද සවිඤ්ඤාණක වස්තු එක්ක. ‘අයියා’ ඉන්න රට, ‘අයියා’ ඉන්න ගෙදර, ‘අයියා’ ඉන්න වත්ත මෙහෙමයි, ‘අයියා’ වත්ත වගා කරලා තියෙයි. එහෙමයි ඔබට සිහි වෙන්නේ. නමුත් එතන තිබුන පුද්ගලභාවය අයින් කලොත් ඔබට ඒ වත්ත සම්බන්ධව තියෙන නිමිති ටික ඔක්කොම අතහැරෙනවා.
අපේ ‘නංගිලා’ අසවල් රටේ ඉන්නේ, ඒ රට මෙච්චර හොඳයි, මෙහෙමයි ඒ රට කියන විතර්ක ඔබට ඇතිවෙනවා. ඔබට ඒ ‘නංගි’ ඉන්න රටේ ‘නංගිව’ අයින් කරගත්තොත් ඔබට මුළු රටම අතහැරෙයි. ඒ වගේ හැම වෙලාවේම අවිඤ්ඤාණක (අවිඤ්ඤාණක කියලා කියනවා රට, ගම, ගොඩනැගිල්ල ආදී ඒවා) අවිඤ්ඤාණක වස්තූන් ගැන තණ්හාවක් තියෙනවා නම් ඒක අයින් කරන්න ඔබ වෙහෙසෙන්න ඕනේ නැහැ ඒක අතහැරෙයි. දැනට පුද්ගලභාවයට ඇතිවෙන නිමිති ටික ගැන විතරක් වග බලා ගන්න. ඒ වගේ ඔබට ‘අම්මා ඉන්න තැන’, ‘නංගි’ ඉන්න රට’ ආදී මේ විදිහට හිත හිතා කටයුතු කරන්න පුළුවන් හිතන වටපිටාවක් තමයි ලෝකය කියලා කිවුවේ.
ලෝකෝත්තර කියලා කියන්නේ එබඳු ලෝකයෙන් එතෙරයි. යම් දවසක ඔබට සත්ව පුද්ගල ආත්ම වූ කිසිවක් ඔබට හමුනොවන රූපය සතර මහා ධාතුන්ගෙන් නිර්මිත වෙච්ච ශුන්‍යතාවයක් හම්බ වුණොත් එදාට ඔබ ලෝකෝත්තරයි. එබඳු වූ ආත්මභාවයෙන් යුක්ත සත්ව පුද්ගලයෝ දකින ලෝකයේ පැවැත්ම තුළ ඔබ ඒ ලෝකයෙන් එතෙර වෙනවා, ඒ ලෝක මානසික මට්ටමෙන් එතෙර වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, “ලෝකයත්, ලෝකයේ ඇතිවීමත්, ලෝකයේ නැතිවීමත්, නැති කරන මගත් බඹයක් පමණ වූ ශරීරයෙන් පනවමි” කියලා. ඔබේ ලෝකය, ඔබට අම්මා, තාත්තා, අයියා, නංගි, මල්ලිලා, සහෝදරයෝ, ඥාති හිතෛෂීන් ඉන්නවා. ඒ අය ඉන්න රටවල්, තැන්, ගම් ගැනත් ඔබ දන්නවා, ඔබට ගොඩක් නිමිති තියෙනවා.
.
බලන්න ඊට පස්සේ මගේ (ස්වාමින්වහන්ස්ගේ) ලෝකය – මට අම්මලා, නංගිලා, සහෝදරයෝ, ඥාති හිතෛෂීන්, එකට බණ භාවනා කරන සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉන්නවා, ඒ අය ඉන්න තැන්, ගම්, නිමිතිත් මට තියෙයි. කෙනා කෙනා බලන්න. එතකොට කෙනා කෙනා ගාව මෙහෙම මෙහෙම අය ඉන්නවා එහෙම අය ඉන්න තැන්, ඒ ගමේ විස්තර මෙහෙමයි, නගර මෙහෙමයි කියලා තියෙයි. ඒ රට ගම් නගර විස්තර ඔක්කොම අපිට ඇවිල්ලා තියෙන්නේ අර පුද්ගලයෝ, ඥාතීන් හින්දා. ඒ පුද්ගලයෝ, ඥාතීන් හින්දයි අපිට නිමිති ටිකක් තියෙන්නේ.
ඔය මට්ටම තමයි ලෝකය කියලා කියන්නේ. ඊටපස්සේ ඒ ලෝකය හදාගත්ත හේතුව තියෙන්නෙත් අපි තුළමයි – ‘තණ්හාව’. ඒ ලෝක නිරෝධය ඒ ලෝකය නැති කිරීම තියෙන්නෙත් අපි ළඟමයි – ‘තණ්හා නිරෝධය’. ඒ ලෝකය නැති කරන ප්‍රතිපදාව තියෙන්නෙත් අපි තුළමයි – “සම්මා දිට්ඨිය”. ඇත්ත දැක්කා නම් අපිට මෙහෙම ඉඳලා අම්මා, තාත්තා, දුව, පුතා, අයියා, නංගි, මල්ලි, කියලා නිමිති ගන්න බැරි වුනොත්, ඔයගොල්ලො හිතන්නේ ඒ නිමිති විතරයි අතහැරෙන්නේ කියලද? නැහැ. ඒ අය ජීවත් වුණා කියන ගම්, පළාත්, නගර රටවල් මේ ටිකත් අතහැරෙයි. ඉබේ සිහිවෙන මට්ටමේ නිමිති හැටියට එන්නේ නැහැ.
ඒ නිසා පින්වතුන්ට කල්‍යාණ මිත්‍රභාවයෙන් මට දෙන්න තියෙන එකම උපදේශය තමයි (මේ කස්සප පොඩි ස්වාමීන් වහන්සේ බොහෝ වැඩ කටයුතු තියෙද්දී තමන් ගැනවත් බලන්නේ නැතුව ඔයගොල්ලෝ වෙනුවෙන් ඇවිල්ලා බණ දහම් කියලා දෙනවා. උන් වහන්සේලාටත් ඇත්තටම සෙනෙහසයි ආදරෙයි නම් උන්වහන්සේලාට මහා කුසලයක් සිද්ධ කරලා දෙන්න ඕනේ). මේ අහගත්ත එක බණ පදයක් හෝ ඔයගොල්ලන් හවසට නිදාගන්න ඉස්සෙල්ලා හෝ එක චුට්ටක් යොදාගන්න. ඒ කියන්නේ හිත පුද්ගලභාවයට සිහි කරන්න හදනකොට මේ නුවණ, මේ ඉගෙන ගත්ත බණ පදය උදව් කරගෙන වෙනදා පවත්වපු මානසික මට්ටම පවත්වන්න බැරි වෙන්න කටයුතු කරන්න.
ඒකාන්තයෙන්ම ඔබේ නිවීම ඔබේ මිදීම මේ ජීවිතයේදීම හදාගන්න පුළුවන්. ඒ සඳහා වෙන කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. හිත පුද්ගලභාවය තුළ ‘පුද්ගලයෙක්’ කියලා ‘ආත්ම දෘෂ්ඨියෙන්’ සිහිකරන කොට ඒක පිළිඅරගෙන ඒ ඔස්සේ හිතන්නේ නැතුව “ඒ රූපය අනාත්ම” බවට පෙන්නන්න. පිළිගන්නේ නැති වුනහම ඒකට හේතුව ඉදිරිපත් කරන්න. ඊගාවට ආයෙත් ආත්ම විදියට හිත සිහි කරනකොට, ඒක පිළිගන්නේ නැතුව අනාත්මයි කියලා හිතනවා. ඒ අනාත්ම බවට කරුණු ඔප්පු කරලා හිතට පෙන්වනවා. ඔය ටික ටික කරන කොට එන්න එන්න නුවණ වැඩිදියුණු වෙනවා.
ඉතින් මට මේ පින්වත් හැම දෙනාටම මතක් කරන්න තියෙන්නේ අපි හැමදෙනාටම මේ මොහොතේදී කරගන්න පුළුවන් එකම දේ ඔන්න ඔය ටික. අද අපි ඔක්කොම එක පොඩි වෛරසයක් නිසා ගෙවල්වලට වෙලා ඉන්නවා. තණ්හාව තරම් දරුණු, ගැඹුරු වෛරසයක් මේ මුළු තුන් භූමියේම තව නැහැ. ඒ තණ්හාව නමැති අතිශය ගැඹුරු වෛරසයෙන් හටගත්ත මේ කයේ ඇතිවෙන පොඩි ආසාදනයක් විතරයි ඔය කොරෝනා වෛරසය කියන එක. හැබැයි මේ තණ්හාව නැති නොකළොත් ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස් කියන දේවල් කෙළවරක් නොපෙනෙන විදියට මේ ජීවිතයේ විතරක් නෙවෙයි අනන්ත අපරිමාන ජීවිත උපද්දලා ඒ ජීවිත වලට දුක ගෙනත් දෙන්න පුළුවන් වෛරසයක් අපි ගාව තියෙන්නේ.
ඉතින් අපි ඇත්තටම බය වෙන්න ඕනේ සිය දහස් ගුණයකින් ම ඔන්න ඔය තණ්හාව නැමති වෛරසයට. උදාහරණයක් ගත්තොත් කොරෝනා වෛරසය හැදුනොත් ඒ වෛරසය හැදුනු කෙනා අපායට යන්නේ නැහැ. අපාය හා සමාන දුකකට පත් වෙන්නේ නැහැ. මරණ හෝ මරණ සාමාන දුකකට විතරයි පත්වෙන්නේ. හැබැයි තණ්හාව නමැති වෛරස නිසා අපාය හෝ අපාය හා සමාන දුකකට පත් වෙනවා නම් මේ වෛරස දෙක අතරින් කෝකද වැඩියෙන් දරුණු කියලා බලන්න. අපි අවුරුදු පනහකට හැටකට විතරක් උරුම වෙච්ච ජීවිතය අයින් කරන්න උදුරලා ගන්න හදන බාහිර වෛරසයට බයයි. අනවරාග්‍ර සංසාරයක ජරා මරණය ගෙනත් දෙන තණ්හාව නැමැති වෛරසයට එච්චර බය නැහැ.
“සංසාරෙ භයං ඉක්ඛතී ති භික්ඛු” බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ සසර බිය දකින්නා භික්ෂුවයි කියලා. ඉතින් ඒ බවත් සිහිපත් කරගෙන මරණය කියන එක මුළු ලෝකයටම අවාසනාවන්ත සිද්ධියක් වෙනකොට තථාගතයන් වහන්සේ ඔප්පු කරලා පෙන්නුවා ‘මරණය’ කියන එක ජීවිතයකට මංගල කාරණාවක් කරගන්න හැටි. ඉතින් අපි එබඳු වූ මරණය මංගල කාරණාවක් කරලා ලෝකයට පෙන්නපු ශාස්තෘන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෝ නම්, අපිටත් පුළුවන් වෙන්න ඕනේ අපේ මරණය අවාසනාවන්ත මරණයක් නෙවෙයි, ජීවිතයට ලැබුණු ආශිර්වාදයක් නැත්නම් උතුම් මංගල කාරණාවක් කරගන්න. ඉතින් ඒක කරන්න පුළුවන් මේ වගේ දහම් මනසිකාරයක් හරහායි. ඒ සඳහා හැම දෙනාම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි !
දේශනාව නිමි.!