භික්‍ෂුවක් පූර්වේනිවාවාසානුස්‌සති ඥානය ඔස්‌සේ සිත මෙහෙයවනවා. පූර්වේනිසානුස්‌සති ඥානය කියන්නේ, පෙර ජීවිත දැකීමේ ඥානයයි. එම භික්‍ෂුව ඇලීම් ගැටීම් වලින් තොර, උපේක්‍ෂාව කියන තැනට සිත පත්කරගෙන අරමුණ ඔස්‌සේ ක්‍රියාත්මක වෙනවා.
මෙතැනදී එම භික්‍ෂුව අරමුණු කරන්නේ වයස අවුරුදු 10 ක පමණ පිරිමි දරුවෙක්. දරුවාට වයස අවුරුදු 10 ක් වුණත්, එම දරුවා තවම ළදරු ගති ලක්‍ෂණයි, ප්‍රකට කරන්නේ. එම දරුවාගේ අහිංසකභාවය, කීකරුභාවය හොඳින් තිබෙනවා. හැබැයි, වගකීම් දැරීම අතින් හරිම දුර්වලයි. එම භික්‍ෂුව මේ ඈත ගමක ජීවත්වූ පිංවත් දරුවාගේ පෙර ජීවිතය පූර්වේනිවාසානුස්‌සති ඥානය අරමුණු කොට බලනවා. එම දරුවාගේ රූපයත්, පෙර ජීවිතයේ උපතත් කියන කාරණා දකිමින්, නැවත නැවත දකිමින් ඒ අරමුණ ඔස්‌සේම සිත පිහිටුවමින් පූර්වේනිවාසානුස්‌සති ඥානය දකිමින්ම සිත මෙහෙයවනවා. යම් නිමේෂයකදී එම භික්‍ෂුවට තමන් නොදැනී යන අවස්‌ථාවක් එනවා. ඒ ක්‍ෂණයේදීම නළල්තලය අරමුණු කොටගෙන රූපවාහිනි තිරයක දර්ශනයක් සේ අලි පැටවෙක් අරමුණු වෙනවා. ඒ කියන්නේ මේ දරුවා පෙර ජීවිතයේදී අලි පැටියෙක්. මනුෂ්‍ය ඇසුරේ කිරි බී වැඩුණු, මනුෂ්‍යයා උපාදානය කරගෙන මියගිය අලි පැටියෙක්. අලි අනාථාගාරයක වෙන්නත් පුළුවන්. ඇත් අතුරු සෙවණක වෙන්නත් පුළුවන්. පෙර ජීවිතයේදී එම අලිපැටියාගේ තිබුණා වූ සුරතල් ආදර ගති ලක්‍ෂණ මනුෂ්‍ය ජීවිතයේ, ළමා කාලයේදී මතුවී එනවා. එම පිංවත් දරුවා වයසින් මුහුකුරා යද්දී ළමා වියේ තිබූ ගති ලක්‍ෂණ වෙනස් වී පෞරුෂයෙන් යුත් ජීවිතයක් අයිතිකොට ගැනීමට හැකියාව තිබෙනවා.
එම භික්‍ෂුව තමා මෙතෙක් නොලත් අත්දැකීමක් ලෙසින් සමාධියේ අත්දැකීම් ඔස්‌සේ තමා තුළින් තමාම දකිනවා. භික්‍ෂුවක් හතරවැනි ධ්‍යාන තලය දක්‌වා සිත පුහුණු කොට තමන් ලබන අරූපාවචර ධ්‍යාන, චුතූපාත ඥානය, පූර්වේනිවාසානුස්‌සති ඥානය, දිව්‍ය චක්‌ඛු ඥාන, දිව්‍ය ශ්‍රෝත ඥාන ආදිය පැවිදි ජීවිතයේදී ලබන හතරවැනි ඵලයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
පිංවත් මහත්මයෙක් භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා, ‘ස්‌වාමීන්වහන්ස, යම් ගිහි හෝ පැවිදි පිංවතකුට දෙවියන් දර්ශනය වීමට, දෙවියන්ගේ හඬ ඇසීමට හතර වැනි ධ්‍යාන බලයට පත්විය යුතුද?’ කියලා. දෙවියන් දැකීමට, දිව්‍ය හඬ ඇසීමට හතර වැනි ධ්‍යාන ඵලයට පත්විය යුතු නැහැ. පිංවත් ඔබ, සමාධිය පුහුණු කරන පිංවතෙක් නම්, පංච නීවරණ යටපත් වී ඇති ඕනෑම් අවස්‌ථාවක දෙවියන් දර්ශනය විය හැකියි. දිව්‍ය ශ්‍රෝතයන් ඇසීමට හැකියාව තිබෙන්නට පුළුවන්. තවත් පිංවතෙක් ප්‍රශ්නයක් ඇසුවා, යම් ගිහි හෝ පැවිදි පිංවතෙක් චුතූපපාත ඥානය ඔස්‌සේ උපත ලද නපුරු යක්‍ෂයෙක්, එසේත් නැති නම් නපුරු අමනුෂ්‍යයෙක් දර්ශනය කර ගත්තොත් එම දර්ශනයේ ඔහු බියට පත්විය හැකිද? කියලා.
ධ්‍යානගත සමාධියේදී බිය කියන කාරණය නිශේධ වෙලා යනවා. තමන් ඉදිරියට නපුරු වේශයකින් වසවර්ති මාරයා පැමිණියත් එම පිංවතාට බියක් සකස් වෙන්නේ නැහැ. එය ධර්මතාවක්.
භික්‍ෂුව ඉහත සඳහන් කළා, භික්‍ෂුවක් පැවිදි ජීවිතයේදී ලබන උතුම් ඵලයන් 4ක් පිළිබඳව. ඉහත ඵලයන් හතරේම හේතුවෙන් සකස් වෙන පස්‌වැනි ඵලය තමයි ගිහි පිංවතුන්ලාගේ සිව්පසය. ගෞරව වන්දනාමාන ලබමින්, ශීලයෙන් ශක්‌තිමත් වෙමින්, සමාධිමත් සිතක් ඇතිකොට ගනිමින්, ඒ සමාධිමත් ධ්‍යානගත සිත සමාධියේ ලෞකික ඥානයක් ලබාගැනීම උදෙසා මෙහෙයවමින් දැන් එම භික්‍ෂුව ඒ සෑම සංස්‌කාරයකම අනිත්‍යභාවය දකිනවා. ශීලය කියන්නේ සංස්‌කාරයක්. ශීලය තුළ ශක්‌තිමත් වෙමින්, ශීලයෙන් ලැබෙන සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. සමාධිය කියන්නේ සංස්‌කාරයක්. සමාධිය තුළ ජීවත්වෙමින්, වේදනාවේ ආශ්වාදයේ අනිත්‍යභාවය දකිනවා. සමාධියේ ධ්‍යාන ඵල, චුතූපපාත ඥාන, පූර්වේනිවාසානුස්‌සති ඥාන, දිබ්බ චක්‌ඛු, දිව්‍ය ශ්‍රෝත ඥානයන්. මේ සියල්ල අනිත්‍ය වන ධර්මතාවක් බව නුවණින් දකිනවා. තවත් කෙනකුගේ පූර්වේනිවාසානුස්‌සතිය දකිනවා, හොයනවා කියන්නේ අතීත පංචඋපාදානස්‌කන්ධයන් හොයනවා කියන කාරණය ලෙසින් එම භික්‍ෂුව දකිනවා. එම නිසාම එම භික්‍ෂුව ඉහත ඥානයන්ටත් බැඳෙන්නේ නැහැ. අනිත්‍ය වූ පංචඋපාදානස්‌කන්ධයක් වශයෙන්ම දකිනවා.
ආධ්‍යාත්මික, බාහිර රූපය කෙරෙහි එම භික්‍ෂුව අවබෝධයෙන්ම කලකිරීම ඇති කොට ගන්නවා. දැන් එම භික්‍ෂුවට ශීලය, සමාධිය උපකාරක ධර්මයක් පමණක්‌මය. ඒවා ඵලයක් හැටියට අල්ලා ගන්නේ නැහැ. වෙනස් වන සංස්‌කාරයන්, වෙනස් වන බවම දකිමින් නොවෙනස් වන විදර්ශනා නුවණ මෝදුකොට ගන්නවා. විදර්ශනා නුවණත් පිරිනිවී යන මොහොතේ අනිත්‍ය වී යන බව නුවණින් දකිනවා. ශ්‍රද්ධාවට නොබැඳෙන සිත, ශීලයට නොබැඳෙන සිත, සමාධියට නොබැඳෙන සිත, අනිත්‍යයට නොබැඳෙන සිත අවබෝධය තුළමයි නතර වෙන්නේ.
ධර්ම දානය පිනිස බෙදා හරින්න.