සිත නැවතිලා. ඇසට රූප පේනවා. කනට ශබ්ද ඇසෙනවා. ඒත් ඒවා නිසා විතර්ක සකස් වෙන්නේ නැහැ. දැස් ඇරගෙන සිටින්නේ. පරිසරය පෙනෙන්නේ නැවතිලා තියෙනවා වාගේ. දැස් වසාගනිද්දී පරිසරය මැකී යනවා. එතැනදී හිස් බවක් පෙනෙන්නේ. කාලය ගලාගෙන යනවා. සංස්‌කාර ගෙවීගෙන යනවා. වන පෙතේ දැඩි නිහඬතාවය නිහඬ සිත තව තවත් නිවා දමනවා. අරමුණක් නැහැ. බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ මරණය. කාගේවත් කැමැත්තට එය සිද්ධ වෙන්නේ නැහැ. අතීත සංස්‌කාර ශක්‌තිය මරණයේ ආධිපත්‍යය දරාගෙන සිටින්නේ. එය ස්‌වාභාවික මරණයක් වෙන්න පුලුවන්. මරා දැමීමක් වෙන්නත් පුලුවන්. කොහොම වුණත් වෙන්න තියෙන දෙයයි සිද්ධ වෙන්නේ. මරණය අස්‌වාභාවික වෙන්න වෙන්න, මරණයේ සුන්දරත්වය වැඩි වෙනවා. මොකද, සංස්‌කාරයන්ගේ විෂම, ගොරහැඩිභාවයයි අත්දකින්නේ. සංස්‌කාර කියන්නේ බොහෝම සාධාරණ ධර්මතාවයක්. එයාගෙන් කාටවත් වරදක් නැහැ. හොඳට හොඳයි. නරකට නරකයි. වඩාත්ම ශක්‌තිමත් කුසලය හෝ අකුසලය මතුකොට ගන්නවා.
පින්වත් ඔබ සිතන්නකෝ, මේ ජීවිතයේදී මිච්ඡා ආජීවයේ යෙදෙන කෙනෙක් ඉන්නවා. ඔහුගේ ව්‍යාපාරය මත්වතුර වෙළඳාම. මොහු බොහොම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නේ. ආදායම දිනෙන් දිනම ඉහළ යනවා. මේ මහතා දන් දීමත් කරනවා. මේ මහතා මිය ගිහින් නැවත මනුෂ්‍යයෙක්‌ව ඉපැදුනොත්, ඔහු ලාබාල තරුණ වයසේ පටන්. මත්වතුර බීමට ඇබ්බැහි වෙනවා. මුළු ජීවිතයම මහා බේබද්දෙක් වෙනවා. ගිය ජීවිතයේදී අනුන් මත් කළාවු වරදට, සංස්‌කාර බොහොම සාධාරණව නිවැරදි හේතුඵල ධර්මයන්ට අනුව විපාකය සලස්‌වනවා. ඔහු ගිය ජීවිතයේදී කළාවු දන්දීම්වලට, රැකගත්තාවු ඉතිරි සිල්පදවලට මනුෂ්‍ය ජීවිතයක් ලබා දුන්නා. අනුන්ට මත්වතුර වෙළඳාම් කොට මත්කිරීම හේතුවෙන් බේබද්දෙක් බවට පත්වුණා.
පින්වත් ඔබත් විවේකීව සිතන්න. සිත දිව්වොත් නවතාගන්න පුලුවන්ද? සසර ගැන බිය ඇතිකර ගන්න. බිය අබියස සිත තැන්පත් වේවි. නැතිව සිත තැන්පත් කරන්න බැහැ. මුහුදු රැළ වාගේ බිඳෙනවා. සකස්‌වෙනවා. බැරි දෙයක් නැහැ වුවමනාවක් තියෙනවා නම්. වුවමනාව සකස්‌කොට ගන්නෙ සසර බිය දැනුන කෙනායි. ඔබේ ජීවිතය තුළට මනසින් කිමිදෙන්න. ඔබ මේ මොහොතේ මිය ගියොත් කෙබඳු උපතකට ඔබ වැටෙයිද? උපාදානය නිසා…. භවය කුමක් වේවිද? සිතන්න. ශිල් පද බිඳුන ඒවා මතක් වෙනවාද? ගෞරවයෙන් රැකගත් සිල්පද මතක් වෙනවාද? ලෝභ ද්වේෂ මෝහ අකුසලයන්ගේ ස්‌වභාවය කොහොමද? ලකුණු වැඩි සුගතියටද? දුගතියටද? පුලුවන්ද ඔය රැකගෙන සිටින ‘මගේ ගොඩ’ මොහොතින් අතහරින්න? මැරෙනවා කියන්නේ හිනා වෙනවා කතා කරනවා, විහිළු කරනවා වාගේ ලෙහෙසි වැඩක් නොවෙයි. ඇලීම්, ගැටීම්, උපේක්‌ෂාවන් සියල්ල අහිමි වෙන්නයි යන්නේ. මේවායේ ග්‍රහණයෙන් බැහැරව යන්නයි හදන්නේ. අහිමි වෙන්නයි හදන්නේ. භික්‌ෂුවට මේ මොහොතේ මතක් වෙනවා තනතුරක් අහිමි වූ තැනකදී දේශපාලනඥයකුගේ දැසට කඳුළු නැඟී ආකාරය. ඒ කඳුළු උණුසුම් වුණේ තෘෂ්ණාවෙන්. ඔහු තනතුරු දැරූ මහේශාක්‍ය කාලයේ හෙළු සතුටු කඳුළු උණුසුම් වුණේ තෘෂ්ණාවෙන්මයි.
එකම කඳුළ දුක සැප වශයෙන් මහා පරතරයකින් වර්ගීකරණය කරනවා. දුක සැප දෙක සැම මොහොතකදීම දෙකක් වශයෙන් ගත්ත අපි කාලය ළඟදී පරදිනවා. දැන් මහලුයි. දැන් වයසයි. කාලය වේගයෙන් ඉදිරියට යනවා. ඔබත් දුවනවා. නමුත් සැම මොහොතකම කාලය වේගවත්. ඒ අපේ තෘෂ්ණාවේ බලවත් භාවය නිසා. නිශ්චිත ඉලක්‌කයකින් සෑහීමක් නැහැ. ඒ නිසා සෑම මොහොතකදීම අපි කාලයට පරදිනවා. ඒ කියන්නේ කාලය මදිවෙනවා. නැති දෙයක් ඇතැයි කියලා ගත්තොත්, අපිට සොයන්න වෙනවා. නමුත් වෙහෙස පමණයි. අපි පරදිනවා. මොකද? අපි නැති දෙයකුයි සොයන්නෙ. ඵස්‌සය හේතුවෙන් සකස්‌වෙන සිතිවිලි අයාලේ යන්න දෙන්න එපා. ධර්මයේ ග්‍රහණයට යටත් කොට ගන්න. සිතනවා නම් ගොඩක් දේවල් සිතන්න පුලුවන්. ඒත් ඒ සිතිවිලි මට අයිති නැහැ. මගේ සිතිවිලි මට අයිති නැති නම්, අනුන්ගේ සිතිවිලි කෙසේ මට අයිති වෙන්නද? එහෙම සිතනකොට ලොකු නිදහසක් දැනෙනවා. එම නිදහස ළඟ ඔබ නවතින්න. එවිට ඔබට දැනේවි කාලය වේගයෙන් ගලාගෙන යනවා. එහෙත් ඔබ නැවතිලා. ඔබ නැවතුන තැනදී කාලයට කරන්න දෙයක් නැහැ. ලෝකය දුවනවා. ඔබ නැවතිලා. සිතිවිලි නැවතුන තැනදී ඔබ නවතිනවා. ඒ කියන්නේ ඔබට මේ වේගය නවතාගන්න පුලුවන්.
තෙරුවන් සරණයි…!!!
~අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ~