ඔබ ලෝකයට යන්න හැරලා, ලෝකය පසුපසින් යන්න. එවිට පිංවත් ඔබට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ලෝකය අල්ලාගැනීමට යැම තුළින්මයි අපි වෙහෙසට පත්වෙන්නේ. රූපයේ අනිත්‍යභාවය දකිමින්, කෙළෙස්‌වල තුනී භාවය ඇතිකරගන්න. සෝවාන් ඵලයට පත්වුණ බිම්බිසාර රජතුමා මගධ රාජ්‍යය පාලනය කළේ, රූපයේ අනිත්‍යභාවය දැකීම තුළින් ඇතිකරගත් කෙළෙස්‌වල තුනීභාවය තුළින්මයි. යම් පිංවතෙක් පැවිදිවෙනකොට හෝ උපසම්පදා වෙනකොට අසන සාම්ප්‍රදායික ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නය තමයි ‘ඔබ රාජ භටයෙක්‌ද?’ කියන කාරණය. රාජ්‍ය හමුදාවන්ට අයිති භටයෙක්‌ද යන්න විනය කාරණාවක් බවට පත්වෙන්නේ බිම්බිසාර රජතුමා නිසා.
වරක් බිම්බිසාර රජතුමාගේ රාජ්‍යයේ ප්‍රාන්තයක සොරුන්ගෙන් ජනතාව පීඩාවට පත්වෙනවා. ප්‍රදේශය සාමකාමී කිරීම සඳහා රාජ නියෝගයෙන් යුද භටයන් අදාළ ප්‍රදේශයට පිටත්කොට හරිනවා. මෙහෙම යුද්ධයට ගිය දක්‍ෂ හමුදා නිලධාරීන්, ස්වාමීන්වහන්සේලාගෙන් බණ අහලා අකුසලය කෙරෙහි බියවෙලා පැවිදිවෙනවා. බිම්බිසාර රජතුමාට දැනගන්න ලැබෙනවා තම යුද සේනාවේ දක්‍ෂයන් පැවිදිවෙලාය කියන කාරනය. මේ හේතුව නිසාම ප්‍රාන්තයේ සොරුන්ගේ ග්‍රහණය වැඩිවෙලයි තිබුණේ. බිම්බිසාර රජතුමා මේ ගැන බුදුරජාණන්වහන්සේට පැමිණිලි කරනවා. යුද්ධය සංසිඳවන්න, ප්‍රදේශය ආරක්‍ෂා කරන්න යොමු කරපු හමුදාවේ භටයන් පැවිදිකිරීම වරදක්‌ය කියලා. යුද සේනාවේ පිරිස් පැවිදි කිරීම නිසා, සොරුන් මංපහරන්නන් දැඩි ලෙස ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්කොටගෙනයි තිබුණේ. මෙම කාරණාව ඇත්තක් බව දැනගත්ත බුදුරජාණන්වහන්සේ විනය කාරණාවක් පනවනවා, නිත්‍යානුකූලව රාජ්‍ය හමුදාවන්ගෙන් ඉවත් නොවූ කිසිවෙක් පැවිදි උපසම්පදා කිරීම තහනම් කරලා. මෙම විනය කාරණා පැනවෙන්නේ සෝවාන් ඵලයට පත්වුණු බිම්බිසාර රජතුමා නිසා. මේවායින් පැහැදිලි වෙනවා, යම් ගිහි පිංවතෙක් සෝවාන් ඵලයට පත්වුණාය කියලා, ඊට අදාළ ධර්මය ලෝකයට දේශනා කළාය කියලා, රට ජාතිය ආගම අනතුරට පත්වෙන්නේ නැහැ කියන කාරණය. අපේ කෙළෙස් වල ගොරෝසුකම නිසාම අපි ධර්මයට වැරදි අර්ථකථන දෙනවා.
හොඳයි නරකයි දෙකම ලෝකයේ තිබෙනවා. දුකයි සැපයි දෙකම ලෝකයේ තිබෙනවා. හොඳ ගැන පමණක් කථා කරන්න බැහැ. නරකත් ලෝකයේම කොටසක්. ඒ වගේමයි, නිවන ගැන කියන ධර්මයකුත්, භවය ගැන කියන ධර්මයකුත් ලෝකයේ තිබෙනවා. මේවා එකිනෙකට බැහැරව ලෝකය ගැන කථාකරන්න බැහැ. එම නිසා උතුම් නිවීමේ මාර්ගය ගැන කථාකිරීමේ අයිතියක් ලෝකයට තිබිය යුතුයි. උතුම් නිවන් මාර්ගයේදී අපේ ශාස්‌තෘන්වහන්සේ, ලොව්තුරා බුදුරජාණන්වහන්සේම බව මතුකොටගන්න අපි දක්‍ෂ වෙන්න ඕනා.