අපි නිදහස විවේකය උදෙසා කොපමණ දේවල් කරනවාද? විවේකය ගත කිරීම සඳහා කොතරම් වියදම් කරනවාද? නමුත් එක සිතිවිල්ලක් නවතා ගැනීම තුළ මොන තරම් නිදහසක් ලබන්න පුළුවන්ද? අපි විවේකය කියලා හොඳට කාලා බීලා නිදාගෙන විනෝද වෙලා පංචනීවරණ තීව්‍ර වෙලා. තව තවත් කෙළෙස්‌වළ සිරගත වීමකුයි කරගන්නේ. දුක නිසා සැප සොයනවා. සැප නැවතත් දුකකටම ඇද දමනවා. ඒ නිසාමයි නැවත නැවත සැපය සොයන්නේ. නැවත නැවත සැපය සොයන්න වෙන්නේ.
අපි මොන දේ කරන්නෙත් සැප බලාපොරොත්තුව. දුකක් බලාපොරොත්තුව අපි කිසිවක් කරන්නේ නැහැ. අපි ගින්දරට අත දමන්නේ නැහැ. අත පිච්චෙන දුක නිසා. සැප බලාපොරොත්තුවෙන් සියල්ල සිදු කළත් එහි ප්‍රතිඵලය දුකමයි.
භික්‌ෂුව හඳුනන එක් භික්‌ෂුවක් සිටිනවා. තෘෂ්ණාව මරා දමලයි සිටින්නේ. උන්වහන්සේ සිතන කිසිම සිතිවිල්ලකින් දුකක් සකස් වෙන්නේ නැහැ. සැනසිල්ලක්‌මයි ලබන්නේ. ජීවිතය කියන්නේ හරිම පරස්‌පරයක්. සැපය කියලා කුමක් ඇල්ලුවාද, කුමකට බැඳුනද, එතැන දුක් ගොඩක්. ඉතින් අපේ තිබෙන විශේෂත්වය දුක බාහිරට පෙන්වන්න යන්නේ නැහැ. සිනාවෙන්, කතාවෙන් දුක හොඳින් වසා ගන්නවා. එතැනදී ඉපැදෙන්නේ තෘෂ්ණාව දුක නිසා දුක වර්ධනය වෙනවා. දුකට කියන තවත් නමක් කියන්න කිව්වොත් භික්‌ෂුව කියන්නේ සැපය කියලයි. මොකද එය ඒ තරමටම සමීපයි දුකට. ඇත්තේ ආශ්වාදයක කෙටි පරතරය පමණමයි. ඒ පරතරය එක සිතිවිල්ලක පරතරය වෙන්න පුලුවන්. මෙතැන දුක ගැන කතාකරන්නේ මනුෂ්‍ය ලෝකයට සාපේක්‌ෂව. දිව්‍යතලවල සැපයේ ආශ්වාදය මනුෂ්‍ය ලෝකයට සාපේක්‌ෂව පින නිසා ඉතා ඉහළයි. දුක සැප කියන්නේ අවසානයක් දකින්න පුලුවන් සමීකරණයක් නොවේ. ඔබ පැටලෙන සංකීර්ණ සමීකරණයකි.
දුක සැප කියන දෙකම මිරිඟුවක් නම්, පිංවත් ඔබ මුවෙක් කියන අසරණ චරිතයෙන් මිදෙන්න. සරණක් ඇති පින්වතෙක් වෙන්න. සරණක් ඇති පුද්ගලයා ඉන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක පමණයි. ඔහු සරණ කොට ගත් සද්ධර්මය ජීවිතයට දරාගෙනයි ජීවිතය දෙස බලන්නේ. ඔහු මිරිඟුවත් යථාර්ථයත් නුවණින් හඳුනා ගන්නවා. බොරුවත් මුළාවත් පස්‌සේ දුවන්නේ නැහැ. ඇත්ත ඇති තැන නවතිනවා. දුක කියන කාරණයට ප්‍රතික්‍රියා දක්‌වනවා වෙනුවට ඔහු දුක ඇතිවීමට හේතුවයි සොයන්නේ. තෘෂ්ණාව නිසාමයි අකුසල් රැස්‌වෙන්නෙ කියලා ඔහු දකිනවා. ඔහු දුක ගැන සිතීම නවතා දසකුසල් ගැන සිතීමට පටන් ගන්නවා. දුකට අපි හැමෝම අකැමැතියි. ඒ නිසයි අවම වශයෙන් දුකෙන් පලායන්න උත්සාහ ගන්නේ. දුකෙන් පලා යන මනුෂයා අතිරේක දුක් සකස්‌කොට ගන්නවා. දුක කියන්නේ අකුසල්වල ඵලයක් කියලා තේරුම් නොගන්නා නිසාම…
මේ ලෝක ධාතුව තුළ අතිශය කෘරතර දුක් විඳින සත්ත්වයින් සිටිනවා. ඔවුන් සිටින්නේ අවීචිය කියන නිරයේ. ඔබත් මමත් අතීතයේ යම් දවසක මේ දුකත් විඳලා තියෙනවා. මනුෂ්‍යයා වැරදි කරන්නේ වැරැද්දට ධර්මානුකූලව ලැබෙන දඬුවම් නොදකින නිසාමයි. මේ නොදන්නා භාවය ඇති කරන්නේ මෝහය විසින්. ධර්ම මාර්ගය තුළ නිවැරදිව දාන, ශීල භාවනා කටයුතු කරන ගිහි පින්වතුන් හට රැකියා ව්‍යාපාර ආදියේදී ප්‍රශ්න මතුවෙනවා වැඩියි. මෙය ධර්මයේ ආශ්චර්යයක් බව, තමන් ධර්ම මාර්ගයේ සිටින බවට තමන්ට ලැබෙන සහතිකයක් බව තේරුම් ගත යුතුයි. ධර්මය තුළ හැසිරෙන කොට ඔබ ඉදිරියට ප්‍රශ්න එන්නේ ධර්මය පැත්තට තව අඩියක් ඉදිරියට තබන්නටයි. නමුත් මේ තත්ත්වය නිවැරදිව හඳුනා නොගත් ශ්‍රද්ධාව අඩු පින්වතුන් මෙතැනදී ධර්මය සමග කලකිරෙනවා. ගැටෙනවා. ධර්මය සැමවිටම සන්දිට්‌ඨික ගුණයෙන් යුක්‌තයි. උත්සාහයේ කැපවීමේ තරමට ප්‍රතිඵල ලබාදෙනවා. ඒ නිසා ධර්ම මාර්ගයේ ගමන් කරන පින්වත් ඔබ හැමවිටම පෙරළුන එක හොඳයි කියලා දකින්න ඕනි. එසේ දකිමින්මයි නිවැරදි පැත්තට නැවත පෙරලාගන්න ඕනි. පෙරළීමත්, නැවත නිවැරදි පැත්තට හරවා ගැනීමත් අතර ඇති ව්‍යායාමය ඔබ තුළ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තීව්‍ර භාවයමයි සකස් කොට දෙන්නේ. ගොඩනැගෙනවාට වඩා වැටෙනවාට ඔබ කැමැති වෙන්න. ගොඩ නැගෙන දෙය වැටෙන ස්‌වභාවයෙන් යුක්‌ත බව එවිටයි නුවණින් දකින්නේ. ඒ දැකීමයි ධර්මය කියන්නේ. යමක් නුවණින් දකින පින්වතුන් තුළ ප්‍රඥාව හෙමිහිට මෝදු වෙනවා. විදර්ශනාව ප්‍රගුණ කිරීම තුළින්මයි ඔබ එම ගුණය වඩාගත යුත්තේ. මෙම සටහන් තබන භික්‌ෂුව ප්‍රශ්න ගැටලු තුළින් ජීවිතය, ධර්මය දුටු කෙනෙක්. ප්‍රශ්න දැඩිව මතු වු වේලාවක භික්‌ෂුව ගිහි කාලයේ සිතා තිබෙනවා ඇයි මම ඉපැදුනේ කියලා. එසේ අතීතයේ සිතුනේ ධර්මය නොදන්නාකම නිසාමයි. වර්තමානයේ මෙතරම් සුන්දර ජීවිතයක උරුමය සැඟවිලා තිබුණේ ඒ අතීත අසුන්දර ජීවිතය තුළයි.
ඒ අසුන්දර අතීත ජීවිත කතාව තුළ ඒ සෑම ප්‍රශ්නයක්‌ම භික්‌ෂුවගේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා, අවාසානයේදී. ගිහි ජීවිතයේදී භික්‌ෂුවට ඉහත ප්‍රශ්න නොපැමිණියානම්, භික්‌ෂුව මීට වඩා වෙනස් තැනක ඉන්න තිබුණා. නමුත් එය එසේ වෙන්න බැහැ. සංස්‌කාරයන් නිවැරදි තැනට ප්‍රශ්න මැදින් අවබෝධය සකස් කරමින් රැගෙන එනවා. එහෙම නම් භික්‌ෂුවගේ ගිහි ජීවිතයේදී ප්‍රශ්න ඇතිවුනේ හේතුවක් නිසාමයි. භික්‌ෂුවට මේ මොහොතේ ඉන්න තැනට එන්න අවශ්‍ය පාර කැපීම සඳහාමයි. දැන් ඔබට අවශ්‍ය පිළිතුර පැහැදිලිව තිබෙනවා. ඔබ ඉදිරියට එන ප්‍රශ්න කැමැත්තෙන් පිළිගන්න කියලා භික්‌ෂුව කියන කාරණය ඔබට දැන් පැහැදිලියි. ප්‍රශ්න හා ගැටෙන්න එපා. ප්‍රශ්න සුහදව පිළිගන්න. ප්‍රශ්න නිසා ඇතිවන අතුරු ඵලයන්ට සුහදව ආචාර කරන්න. මේවා ඔබ සොයා එන්නේ හේතුවක් නිසාමයි. එම නිසා ඔබ සොයා එන කිසිවක් ප්‍රතික්‌ෂේප නොකරන්න. ඔවුන් සතුරු වේශයෙන් පැමිණියත් ඔබගේ මිතුරන් බව සිතන්න. දුක සහ සැප ඔබ අතීතයේ කළාවු සංස්‌කාරයන්ගේ නිවුන් දරුවන්.
ඔබ ඉදිරියේ එන ප්‍රශ්න දුක් පීඩා නින්දා අපහාස අතරින් ඒකට මුහුණ දෙමින් සද්ධර්මය පැත්තෙන්ම අඩියක් ඉදිරියට තබන්න ඔබ දක්‌ෂ වෙන්න. පින්වත් ඔබ යාචක මහත්මයෙක් වෙලා මැරෙන්න පුලුවන්. ඒත් ඔබ හිස් අතින් නොවේ මැරෙන්නේ. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් වඩාගෙනයි සුගතියට ගමන් කරන්නේ. ඒ ඉන්ද්‍රිය ධර්මයන්මයි මතු භවයක අයෝමය ශක්‌තියක් වී නැඟී සිටින්නේ ධර්මාවබෝධය පිණිස. වෙනස් වන ලෝකය ඉදිරියේ ඔබ නොවෙනස්‌වන පුද්ගලයෙක් වෙන්න. නොවෙනස් වන පුද්ගලයා යනු ඇලීම් ගැටීම්වලින් තොරව උපේක්‌ෂාව තුළ ජීවත්වෙන පුද්ගලයායි. දැන් ඔබ තවදුරටත් මිරිඟුවක් පිටුපස දුවන්නේ නැහැ. මොකද, ඔබ දැන් අසරණ පුද්ගලයෙක් නොවේ. සරණ ඇති පින්වතෙක්.
වේලාව සවස 5.30 යි. පරිසරය ඉතා සීතලයි. වෙනනත් සතෙකුගේ හෝ ශබ්දයක් නැහැ, කුරුල්ලන්ගේ හඬ මිසක්. දඩයම්කරුවන්ගේ සෙවනැලි කැලය තුළින් මැවී නොපෙනී යනවා. සතුන් නැත්තේ ඒ හේතුවෙන්. ලේ රසට මස් රසට ගිජු වෙච්ච මනුෂ්‍යයෝ දඬුලේන්, මුගටියන් සැපයක් හැටියටයි දකින්නේ. මසට ඇති තෘෂ්ණාව නිසා. මනුෂ්‍යයාගේ දිවට දැනෙන මස් රසය මගින් වනයේ සතුන්ව සීමා කරනවා. තනිවෙච්චි වළිකුකුලෙක් නිතරම කෑගසනවා ඇසෙනවා. එයාගේ වළිකුකුල් පවුලත් විනාශයට ගොදුරු වෙලා. ලෝකය ඉපැදෙනවා. මැරෙනවා. මරපු අය මැරුම් කනවා. අරුමයක් පුදුමයක් නැහැ. මෙයයි ලෝකය. ලෝකය ලෝකයේ ස්‌වභාවයෙන් ගලාගෙන යනවා. සංස්‌කාරයෝ සංස්‌කාරයන්ගේ ස්‌වභාවයෙන් දුකත් සැපත් ජීවිතයත් මරණයත් බෙදා දෙනවා. භික්‌ෂුව ලියනවා. පින්වත් ඔබ කියවනවා. භික්‌ෂුව ලියන්නේ අවබෝධයකින්. පින්වත් ඔබ කියවන්නේ අවබෝධය ලබාගන්න. පින්වත් ඔබ කියවන කරුණු ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමග හොඳින් ගළපන්න. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඵලයයි පින්වත් ඔබට මේ සටහන් තබන්නේ පිංවතුනි .ප්‍රඥාව අවධිකොට ගන්න.
තෙරුවන් සරණයි…!!!
~අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ~