ඊරිසියා සහගත සිතක්, ක්‍රෝධ සිතක්.

එක මනුෂ්‍යයෙක්‌ ජීවත්වුණා බොහෝම ඈත දුරබැහැර ගම් ප්‍රදේශයක. සමාජයේ හොඳින් ජීවත් වන දරුමුණුපුරන් ඇති තාත්තා කෙනෙක්‌. මොහු මියයන විට අවුරුදු අනූවක්‌ විතර ඇති. මොහු බොහෝම හොඳන් ගමේ ජීවත්වුණ කෙනෙක්‌. ගමේ පන්සලට උපකාර කළා, උදව්කළා. නමුත් මොහුගේ අවාසනාවට මොහු මියයාමට වසර තුනකට පෙරාතුව මේ පුද්ගලයා ගමේ පන්සල සමග කුමක්‌ හෝ හේතුවක්‌ නිසා අමනාප වෙනවා. හේතුව කුමක්‌ද කියන්න භික්‍ෂුව දන්නෙ නැහැ. එදා පටන් මේ වයසක මනුෂ්‍යයා මොකද කරන්නේ හාමුදුරුවන්ට බණිනවා. පන්සලට බණිනවා. හාමුදුරුවන්ට එරෙහිව පොලිසියට බොරු පැමිණිලි කරනවා. පුදුමාකාර වෛරයක්‌ ඇතිකරගත්තා. මේ වෛරය, ඊර්ෂ්‍යාව නිසාම ඔහු ශීලයෙන් පිරිහුණා. එක ශිල්පදයක්‌ ගිලිහෙනකොට අනෙක්‌ ශිල්පදත් ගිලිහෙන්න පටන් ගත්තා. මේ හේතුව නිසාම වයස අවුරුදු අනූවක්‌ වුනත් මොහු තුළ කාම සිතුවිලි ඇතිවුණා. තමාගේ වැඩිහිටිබව නිසා තමාගේ දෙපතුළ ළඟ වැඳ වැටුණ කාන්තාවකගේ පවා අතින් අල්ලන්නට තරම් මොහු තුළ ශිල්පදවල හීනභාවයක්‌ ඇතිවුනා. ඊර්ෂ්‍යාවෙන් දැවෙමින් සිටියදීම මොහු මියයනවා.

භික්‍ෂුව අරමුණු කර බලනවා උතුම් සමාධිය තුළදී මොහු මරණින් පසු කොහේ නැවත උපත ලැබුවද කියලා.භික්‍ෂුවට දර්ශණය වෙන්නේ උතුම් සමාධිය තුළදී කිඹුලෙකුගේ කුසක්‌. ඒ කියන්නෙ මොහු කිඹුල් බිත්තරයක එහෙම නැතිනම් කිඹුල් කුසක ප්‍රතිසන්ධිය ලබලා. බලන්න සසර භයානකම. මේ තත්පරයේ මනුෂ්‍යයෙක්‌ වශයෙන් සිටි කෙනා ඊළඟ නිමේශයේදී කිඹුල් කුසකට බැසගන්නවා. අසාධාරණයි කියන්න පුළුවන්ද ලෝකධර්මය. එහෙම කියන්න බැහැ. සාධාරණ තැන එයාට හිමිකරදුන්නා. කිඹුලා කියන්නේ වෛරයෙන්ම, ක්‍රෝධයෙන්ම පසුවෙන නපුරු සතෙක්‌. මේ සතා දකින කෙනා තුළ අපුලක්‌, බියක්‌, තැතිගැනීමක්‌ ඇතිවෙනවා. මේ සතා සතුන් මරාගෙනමයි කන්නේ. තමාගේ පැටවාත් තමා මරාගෙන කනවා. වර්ණය, හැඩය, හැසිරීම හරි අප්‍රියජනකයි.

භික්‍ෂුව එක අවස්‌ථාවක රුහුණු ප්‍රදේශයේ පෞරාණික ආරණ්‍යයක වැඩසිටින විට එහි දැඩි නියඟයක්‌ පැවතියා. වැව් හිඳෙන කාලයට වැව්වල සිටින කිඹුලන් කැලේ ගල් ගුහා තුළට ඇදෙනවා දහවල් කාලයට. රාත්‍රි කාලයේ කිඹුලන් ආහාර සොයාගෙන කැලයේ වැව් පිටිවලට ඇවිදිනවා. භික්‍ෂුව වැඩසිටිය කුටිය දොරකඩ බාග බිත්ති බැඳපු ඉස්‌තෝප්පුවක්‌ තිබෙනවා. දිනක්‌ රාත්‍රි 12.00 පමණ එම කුටිය ඉදිරිපස කැලෑ ප්‍රදේශයෙන් වේගවත් හඬකින් සතෙක්‌ පිඹිනවා ඇහුණා. භික්‍ෂුව මුලින්ම හිතුවේ අලියෙක්‌ වෙන්න ඇතිය කියලා. නැවත නැවතත් වේගයෙන් පිඹීමේ හඬ ඇසුණා. ඒත් සතා පේන්නෙ නැහැ. පස්‌සෙ බලනවිට අඩි හතක්‌ පමණ දිග හොඳින් වැඩුණු කිඹුලෙක්‌. කුටියේ ඉදිරිපස බාග බිත්ති සහිත ඉස්‌තෝප්පුව තුළට ඇවිල්ල යන්න බැරිව කේන්තියෙන් පිඹිනවා. පස්‌සෙ භික්‍ෂුව උගුර පාදනවිට කිඹුලා භාග බිත්තියට ශරීරය කෙලින් කරලා බිත්තිය උඩින් කැලයට පැන්නා. මේ කිඹුලා කටින් පිඹින වේගයෙන්ම වලිගයනුත් ගහනවා. කිඹුලාගේ නපුරුම ස්‌වභාවය භික්‍ෂුව දැක්‌කේ ඒ වෙලාවේ. පුදුම වෛරී, ක්‍රෝධ ස්‌වභාවයක්‌ මේ සතා තුළ තිබෙන්නේ. අපි කියන්නේ සමහර මිනිස්‌සු ඊරිසියාවෙන් පුපුරනවා කියලා. ඒ පිපිරීමේ උච්ජභාවය තමයි ඔය සතුන් තුළින් අපි දකින්නේ.

පිංවත් ඔබ හොඳින් සිතන්න ඔබ ඊරිසියා සහගත සිතක්‌, ක්‍රෝධ සිතක්‌ සකස්‌ කරගන්නවා කියන්නේ නිරයේ ගිනියම් ජලයේ පැහෙන උපතක්‌, කිඹුල් කුලයේ සත්ව උපතක්‌ ඔබ ප්‍රාර්ථනා කරනවා කියන එකයි. දැන් බලන්න වයස අවුරුදු අනූවේ මනුෂ්‍යයා පන්සලට වෛරකරලා, හාමුදුරුවන්ට වෛරකරලා, ඊර්ෂ්‍යා කළා. එහෙම කළාය කියල පන්සලට හාමුදුරුවන්ට අලාභයක්‌ පාඩුවක්‌ වුණාද? එක දශමයක අඩුවක්‌ පාඩුවක්‌ ඒ අයට වුණේ නැහැ. එතකොට මේ පුද්ගලයා කාටද වෛරකරලා, ඊරිසියා කරලා තිබෙන්නේ? තමාටමයි.

එහෙමනම් ඔබ සිතන්න ඔබේ සිතේ ඊර්ෂ්‍යාවක්‌, ක්‍රෝධයක්‌ සකස්‌ වෙනවා නම් එය ඔබේ භව ගිණුමේ ඉතිරි කිරීම සඳහාමයි. අනුන්ගේ ගිණුම්වලට මේවා බැරවෙන්නේ නැහැ. හැබැයි තමන් අදක්‍ෂ නම් අනුන් නිසා තමනුත් දුකට වැටෙන්න පුළුවන්. පන්සලට, හාමුදුරුවන්ට වෛර කළා කියන්නේ තෙරුවන්ට වෛර කළා හා සමානයි. ඒ අකුසල් ස්‌වභාවය බලවත් නිසාමයි මොහු ජීවිතය තුළදී කරගෙන තිබූ කුසල් යටපත්වී ගියේ. ඔහු තුළ සකස්‌ වූ එක සිතක්‌ මේ විනාශකාරී සිතුවිලි පරම්පරාවක්‌ බවට පත්වූයේ. ඒ නිසා වෛරී සිතක්‌, ඊර්ෂ්‍යා සහගත, ක්‍රෝධ සිතක්‌ ඇතිවන සැනින්ම අවබෝධයෙන් එය සිඳ දමන්න. ඒවා අකුසල විතර්කයක්‌ වශයෙන් වැඩෙන්න දෙන්න එපා.

තෙරුවන් සරණයි…!!!

~අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ~