එක අම්මා කෙනෙක් මගේ ළඟට දරුවෙක් එක්කගෙන ආවා. ඒ දරුවට අවුරුදු දහයක් විතර ඇති. ඒ දරුවා හරිම ලස්සන දරුවෙක්. නමුත් දොස්තර මහතුවරුම කියනවා තව මාසයක් ඇතුළත මැරෙනවා කියලා. එයාගේ කන් ඇහීමත් දැන් ක්‍රමානුකූලව අඩුවෙනවා. ඇස් පෙනීමත් ක්‍රමානුකූලව අඩුවෙනවා. හිතාගන්න බැහැ. ඒ තරම් ලස්සන දරුවෙක්. එතකොට ඒ අම්මා අඬ අඬා මට දුක කියනවා.
මම කිව්වා “පුතේ දැන් අඬලා වැඩක් නැහැ. ඔබ ඔය දරුවා මව් කුසට එන්න දරුවෙක් බලාපොරොත්තු වෙන්න මාසෙකට ඉස්සෙල්ලා ඔබ අම්මයි තාත්තයි පංච ශීලය සමාදන් වෙලා අඩුම වශයෙන් සතියකට සැරයක් හරි බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා දන් දෙමින් පින්කම් කරමින් ඒ මුළු මාසය පුරාවට ම තමන් පේ වුණොත්, පේ වෙනවා කියන්නේ ඒකට සූදානම් වුණොත් අපිට යහපත් දරු උපතක් ලැබේවා කියලා පැතුවා නම් කවදාවත් ඔය දරුවා ඔබේ කුසට එන්නේ නැහැ. ඔබලා ඒ දේ කරලා නැහැ. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. මොකද ඔබලාගේ අකුසලයට අදාළව ඒ දරුවා කුසට ආවා. තේරුණාද?
ඒ නිසා මේ මොහොතෙත් දරුවෝ මේ දිව්‍යතල වල, බ්‍රහ්ම තලවල දෙවියන් බ්‍රහ්මයින් ඉන්නවා ඒ ලෝකවලින් චුතවෙන්න ආසන්න වූ. ඒ නිසා ඔබ දක්ෂ නම් දෙවියෙක් ඔබේ මව් කුසට ගන්න, බ්‍රහ්මයෙක් ඔබේ මව්කුසට ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනෙ දරුවෙක් බලාපොරොත්තු වෙන්න අවම වශයෙන් මාසෙකටවත් ඉස්සර වෙලා සිල්පද පහ දිනපතා හොඳින් සමාදන් වෙලා අපිට යහපත් ශක්තිමත් දරුවෙක් ලැබේවා කියලා චිත්තයක් ඇතිකර ගෙන බෝධි පූජා තියමින් ඒ වගේ දන් දෙමින් ඒ මාසය තුළ පේ වුණොත් අනිවාර්යයෙන් ම තමන්ගේ කුසට අර දිව්‍යතලයකින් නැත්නම් බ්‍රහ්ම තලයකින් චුත වෙන්නා වූ දෙවියෙක්, බ්‍රහ්මයෙක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
නමුත් ඒක සියයට සීයක්ම අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි මාර්ගය. දැන් කෙනෙකුට පුළුවන් නම් නිරතුරුව ම මෛත්‍රී චිත්තයක් ගත කරමින් ඉන්න, සිල්පද පහ සමාදන් වෙලා මුළු මාසයක් මෛත්‍රී චිත්තයකින් අම්මයි තාත්තයි ජීවත් වෙලා අපේ මව් කුසට බ්‍රහ්ම තලයක ජීවත්වන බ්‍රහ්මයෙක් මව්කුස පිළිසිඳ ගනිත්වා කියලා දකින්න ඒක වරදින්න විදියක් නැහැ. මොකද ඒවායින් චුත වෙන අප්‍රමාණ දෙවිවරු, බ්‍රහ්මවරු ඉන්නවා. ඒ නිසා හිතන්න ඕන දරුවා අසනීප වුණාට පස්සේ කරන්න ඕන කාරණය මොකක්ද කියන කාරණය නෙවෙයි. අසනීප නොවන දරුවෙක් දරුවෙක් ලබාගන්නේ කොහොමද කියන කාරණය අපි ඉස්සෙල්ලා හිතන්න ඕන.
ඒ නිසා කෙනෙක් විවාහයට පත් වෙනවා නම් අපි නිරතුරුව ම ඉස්සෙල්ලා ම හිතන්න ඕන ජ්‍යොතිෂය ගානවත්, නක්ෂත්‍රය ගැනවත්, මගුල් පෝරු ගැනවත්, හෝටල් ගැනවත්, මගුල් සාරි ගැනවත් එහෙම නැත්නම් මේ වෙන වෙන ඒවා ගැනවත් නෙවෙයි.
අපි ඇයි මේ විවාහ වෙන්නේ? අපේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න කියන කාරණය නේද? නමුත් වෙන දෙයක් නෙවෙයි. ඇයි කෙනෙක් විවාහ වෙන්නේ කියන්නකෝ? තමන්ගේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න. ඕකනේ කියන්නේ නේද? පරම්පරාව ඉස්සරහට ගෙනියන්න කියන කාරණය තුළයි විවාහ වෙන්නේ. නමුත් ප්‍රධානම භූමිකාව ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ. පරම්පරාව ගෙනියනවා කියන භූමිකාව ගැන ඒගොල්ලො දශමයක්වත් හිතන්නේ නැහැ.
හිතන්නේ මොනවද? මගුල් සාරි හොයන දේවල්, හැඩ වැඩ කරන දේවල්, අන්දන දේවල්, මගුල් ෆොටෝ, ඕව තමයි හිතන්නේ. මේවා කිසිම දෙයක් විවාහයට අදාළ නැහැ. ඒවා ඔක්කොම උදේ කරලා හවස් වෙනකොට ඔක්කොම ඉවරයි. මගුල් ගෙදරත් ඉවරයි. මගුල් මේසෙත් ඉවරයි. හෝටලෙත් ඉවරයි. කාර් එකත් ඉවරයි. ඔක්කොම අයින් කළා.
මේ අයින් කරන දේවල් උදෙසා මාස තුනක් පේ වෙනවා. නමුත් ප්‍රධාන කාර්යයට පේ වෙන්නේ නැහැ. මේ නිකම් අනවශ්‍ය දේවල් වලට පේවීම නිසා ම මොකක්ද ඒගොල්ලො තුළ සිද්ධ වෙන්නේ? ලෝභ, ද්වේශ, මෝහ. ඔයිට වඩා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් බලන්න. ඒ ලෝභ, ද්වේශ, මෝහයන් නිසා මොකක්ද ඒගොල්ලො කර කර ඉන්නෙ. අර ප්‍රධාන අරමුණ වන පරම්පරාව ඉදිරියට ගෙනියනවාය කියන කාරණයේ අර්ථයට පහරක් තමයි එතනිනුත් අපි ගසාගෙන තියෙන්නේ.
ඒ නිසා මුල්ම දේ වෙන්න ඕන ඇයි අපි විවාහ වෙන්නේ? අපේ මේ පරම්පරාව කියන දේ ඉස්සරහට අරගෙන යන්න නම් යහපත් ශක්තිමත් දරුවෙක් ලබාගන්න මගයි අපි මුලින්ම හිතන්න ඕනේ.
එහෙම හිතන්න නම් අපි දක්ෂ වෙන්න ඕනේ විවාහයට මාසයක් හෝ තියලා, නැත්නම් දරු සම්පතක් බලාපොරොත්තු වෙන්න මාසයක් හෝ තියලා හොඳින් ධර්මය තුළ පේ වෙලා ශක්තිමත් දිව්‍ය තලයක, බ්‍රහ්ම තලයක එහෙන් චුතවෙන්නා වූ දෙවියෙක්, බ්‍රහ්මයෙක් අපේ දරුවා හැටියට ලබාගන්න අපි කල්පනා කරන්න ඕන.
ඉන් මෙහා දරුවෝ අසනීප වුණාට පස්සේ කරන ඒවානම් එච්චර ලේසි නැහැ. මොකද ඊට අදාළ මව්කුසකටයි එයා බැහැල තියෙන්නේ. තේරුණාද? ඊට අදාළ. මව්කුසකට බැස්සට පස්සේ අසනීප සුව කරන්න ලේසි වෙන්නේ නැහැ. අපි අදක්ෂ නම් තමන්ට විපාකදෙන අකුසලය තව තවත් අකුසල් වැඩෙන දිශාවට යොමුකොට ගන්න පුළුවන්. හේතුඵල ධර්මයන් නොදකින පින්වතා අකුසලය තවත් අකුසලයක් උදෙසාමයි ආයෝජනය කරන්නේ.
දැන් එවැනි රෝගී දරුවෙක් එන්නේ ඇයි? අම්මා තාත්තාගෙත් අකුසලයක්. දරුවාගෙත් අකුසලයක්. එතකොට මේ තුන්දෙනාගේම අකුසලය ක්‍රියාත්මක වෙනකොට නැවත නැවතත් අකුසල් කරායි යන්නේ. එතකොට මෙන්න මේ කාරණය තේරුම් ගන්න ඕන.
මෙන්න මේ නැවත නැවත අකුසල් කරා යන එක වළක්වා ගන්න පුළුවන් අපි නැවත නැවත පින්දහම් කිරීමෙන්. එතකොට නැවත නැවත අකුසල් කරා යන එක වළක්වා ගන්න පින් දහම් කරන කොටම අතීත අකුසල් විපාකයන් යට කරන්නත් පුළුවන්.