උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය, වර්ණය, සැපය, බලය ශක්තිමත් කරන සුන්දර වස්සානයේ තුන්වැනි සතියයි මේ ගෙවීයන්නේ. අද උදෑසනත් භික්ෂුව පිණ්ඩපාතයට වැඞීමට කුටියෙන් එළියට බැසීමට පෙරාතුව, මොහොතක් සිහිපත්කලා. මේ උදෑසන මා විසින් සමාදන් වූ වස් ශීලය නැවත, නැවතත් ආවර්ජනය කරමියි කියලා. ”අවිද්‍යාව” පංචනීවරණ රසමසවුල් වලින් පෝෂණය වෙනකොට, ”තෘෂ්ණාව” ආයුෂය, වර්ණය, සැපය, බලයෙන් තිරිහන් වෙනකොට හොඳ දේවල් සහ යහපත් දේවල් අපිට අමතක වෙලා යන්න තිබෙන ඉඩකඩ වැඩියි. ගොඩාක් යහපත් දේවල් අවිද්‍යාව අපෙන් උදුරගෙන. තවත් උදුරගන්න ඉතිරිවෙලා තිබෙන්නේ බොහොම ටිකයි. අවිද්‍යාව අපෙන් අනාගතයේදි සතර පාරාජිකාවන්ගේ අර්ථයන් උදුරාගත්තොත්, එදාට විද්‍යාව ලෝකයෙන් අතුරුදහන්වෙලා යනවා. මේ විද්‍යාව අතුරුදහන්වීම සිද්ධ කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුව නම් නොවේ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චතුරාර්ය සත්‍යය නැමති විද්‍යාව, උතුම් සතර පාරාජිකාවන්ගේ අර්ථයන්, ගෙල සිරකොට මරාදමා, අවිද්‍යාවේ මාරයාට ලෝකයේ ආධිපත්‍යය භාරදෙන්නේ, අපේ පැවිදි සමාජයේම සාමාජිකයෙක් විසින්ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලයේ අර්ථයන් ඉක්මවා ගියාවු මේ මොහොතේ අපි සමාදන්ව සිටින උතුම් වස් ශීලය ගැන සතිය සිහිය හොඳින් අපි ඇතිකොටගත යුතුයි. උපසම්පදා භික්ෂූන් වන අපේ, භික්ෂු ජීවිතවලින්, එක ශිල්පදය, ශිල්පදය දුර්වල වුණොත් අපේ පෞද්ගලික සැපය, බලය වැඩිවී උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂයට කනකොකා හඬාවි.
මෙය සටහන් තබන භික්ෂුව දෑස් පියාගෙන අතීත පංචඋපාදනස්කන්ධයට සිත යොමුකොට දකිනවා, පටිච්චසමුප්පන්නව මම, පැවිදි උපසම්පදාවන් ලබලා, අතීත සම්මා සම්බුද්ධ ශාසන කීයක් නම් අතුරුදහන් කොට දමන්නට දායකවෙන්න ඇතිද කියලා. මෙවන් ශාසන විනාශයන් නිසා සතර අපා දුක් කොතෙක් නම් විඳින්නට ඇතිද කියලා. භික්ෂුවට එ් අතීත දුකේ තරම හිතාගන්න බැහැ. මහාමේරු පර්වතය තරම්ම දුක් ගොඩක් විඳලා, එ් මහාමේරුව කල්ප විනාශයකදී අළු දුවිලි වෙලා යන්නා සේ, මගේ පටිච්චසමුප්පන්න ජීවිත මොනතරම් නම් දුක් ගින්නක් වෙන්න ඇතිද. අතීත පංචඋපාදානස්කන්ධ දුක නුවණින් මෙනෙහි කිරීමෙන්, වර්තමාන පංචඋපාදානස්කන්ධය කෙරෙහි සතිය සිහිය ධර්මානුකූලව ශක්තිමත්කොට දෙනවා. අතීතයෙන් පාඩම් නොඉගෙන ගන්නා වර්තමානයත් අවිද්‍යාවටම භාරදීලා පංචනීවරණ තුරුලේ හුරතල් වෙන්නේ, මධුසමයේ මධුසයනයට ගොඩවූ, නෑඹුල් යුවතිපති දෙපලක් වගේමයි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලයන් පනවා වදාලේ, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් චිරාත් කාලයක් ජීවමානව වැඩසිටීමටයි. උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලයට අධිකරණයන් හතක් බුදුරජාණන් වහන්සේ පනවා තිබෙනවා. මේ අධිකරණයන් පනවලා තිබෙන්නේ යම් භික්ෂුවක් ප‍්‍රාතිමෝක්ෂ ශීලයට අකීකරු වෙනවා නම්, උතුම් තෙරුවන්ට අකීකරු වෙනවා නම්, උතුම් ධර්ම විනය විකෘති කරනවා නම්, එවැනි භික්ෂූන්ට විනයානුකූලව දඬුවම් කිරීමටයි. අපේ උතුම් සංඝ සමාජය නිකාය වශයෙන් බෙදීම නිසාම, දේශපාලන වශයෙන් බෙදීම නිසාම, ධනවත්, මධ්‍යම, දුප්පත් වශයෙන් බෙදීම නිසාම, උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලයේ අධිකරණයන්, අසරණවෙලා ගිහිල්ලා. අපි හැමෝගේම කිල්ලෝට වල හුණු ටික, ටික හෝ තිබෙන නිසාදෝ වර්තමානයේ ස්වාධීන අධිකරණයක් කියන අර්ථය දුර්වල වෙලා තිබෙනවා. අවිද්‍යාව ලෝකයේ බලය තව තව තහවුරු කොට ගනිද්දී, අපිට සිද්ධවෙලා තිබෙනවා, උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලයේ අධිකරණයන්ගෙන් පසුබසින්න. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය කාළයේ කවදාකවත්, භික්ෂු සමාජයේ ඇති වූ අධිකරණයන් විසඳන්න, කොසොල් රජතුමාගේ හෝ බිම්බිසාර රජතුමාගේ අධිකරණයේ පිහිට පැතුවේ නැහැ.
අවිද්‍යාවේ ඕජාවෙන් ගොඩනැගෙන අපේ ජීවිත, තෘෂ්ණාවෙන් තිරිහන්වෙනකොට, අවිද්‍යාව නිරෝධය කල බුදුරජාණන් වහන්සේගේ පැනවීම් වලට අපි අත තියන්න නරකයි. අවිද්‍යාව නිරෝධය කල උත්තමයෙක්ගේ පැනවීම් වලට අපි අත තැබුවොත් අපි තව තවත් අවිද්‍යාවේම ගොදුරක් වේවි. වසර දෙදහස් හයසියයක් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ජීවය දුන්න, උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලය, ඔබ අවංකයි; ඔබ අහිංසකයි. අවිද්‍යාවෙන් ජවය ලබන වියරු තෘෂ්ණාවන් සමඟ ඔබ කෙසේ නම්, හෙට දින ආරක්ෂා වෙන්නද. සියළු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා, අපේ ලෞකික ප‍්‍රඥාවේ ඇස අන්ධකරලා. උතුම් සංඝ සමාජයේ වගකීම්, අපිම පිංවත් ගිහි සමාජයට පැවරුවොත්, අපි අපේම සුපටිපන්න ගුණයට, උජුපටිපන්න ගුණයට, ඥායපටිපන්න ගුණයට, සාමීචිපටිපන්න ගුණයට අභියෝගකරලා නේ දැයි, මෙය සටහන් තබන භික්ෂුව තුල සැකයක් ඇතිවෙනවා. අනේ ඉහත සටහනේ වරදක් තිබෙනවා නම්, නොතේරෙන මම දහස්වාරයක් සමාව අයදිනවා, හදවතිනම දෙපා නමදිනවා උතුම් සංඝරත්නයෙන්.
උතුම් සද්ධර්මයක් විකෘති කරන භික්ෂුවකට, දඬුවම් කරන්න, අපි මහාධිකරණයට ගියොත් බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර පැනවීම් වලට අපි අකීකරුවෙලා නේද කියලා භික්ෂුවට සිතෙනවා. අකුසල් සංස්කාර මාරයා ලෝකය පටලවලයි තිබෙන්නේ. අපිම වැරදි කරමින්, එම වැරදි හේතුවෙන් සකස්වෙන අකුසල් විපාකයට එනකොට, වරද තුල තවදුරටත් සිටිමින්ම, අපි වරද නිවැරදි කරන්න හදනවා.
ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධාවන පථයේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ජය කණු සොයාගෙන, අපි හැමෝම අශ්ව වේගයෙන් දුවනවා. තෘෂ්ණාවේ ඉබිගමනින් මොහොතක් සංසුන්වෙලා, උතුම් භික්ෂු විනය, විනයානුකූල ගලපාගන්න දක්ෂවෙන්න. ශාසනික අර්ථයන් දුර්වලකොටදමා අපි රැුකෙන්න යන අනුවණ ගමන් වලින්, අපි වැළකෙන්න ඕනේ. පිංවත් ඔබ සිතන්නකෝ, යම් භික්ෂුවක් දේශනා කරනවා, බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ශ්‍රී ලංකාවේ කියලා. එම ධර්මය බලවත් විකෘතියක්. මෙවැනි විකෘති ධර්මයක් දේශනා කරන භික්ෂුවකට දඬුවම් කරන්න, එම භික්ෂුව නිවැරදිභාවයට පත්කොට ගන්න, අවශ්‍ය අධිකරණයන් බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. නමුත් ප‍්‍රශ්නය වෙලා තිබෙන්නේ එවැනි දඬුවමක් විනයානුකූලව ක‍්‍රියාත්මක කොටගැනීමට අවශ්‍ය, පෞර්ෂත්වය සහ සමගිය සංඝ සමාජයේ අපි අතර නොමැති වීමයි. වැරදි සඟවාගෙන ජීවත්වීමට අපේ ඇති කැමැත්තත්, මේ දුර්වලථාවයන්ට හොඳ පොහොරක් වෙන්න පුළුවන් යැයි භික්ෂුවට සිතෙනවා.
භික්ෂු සමාජය විසින් යම් අධර්මවාදී, අවිනයවාදී භික්ෂුවකට විනයානුකූලව දඬුවමක් පැනවීමේදී සමාජය තුල ක‍්‍රියාත්මකවන මානව හිමිකම් නැමති මාරධර්මය, අදාල දඬුවමට ලක්වූ භික්ෂුව වෙනුවෙන් පෙනීසිටීමේ මාර පාක්ෂික ක‍්‍රියාවන් සමාජය තුල සිදුවෙන්න පුළුවන්. මෙවැනි මිත්‍යාදෘෂ්ඨික මානව හිමිකම් අසත්පුරුෂ කණ්ඩායම් වලින්, සංඝ සමාජය යම් අධර්මවාදී, අවිනයවාදී භික්ෂුවකට පනවන අධිකරණයන්ට ඇඟිලි ගැසීමට නොහැකි ආකාරයෙන්, රජය ලවා අදාල නීතිරීති සකස්කොට ගැනීමටයි, අපි උත්සුක වියයුත්තේ.
බහුතරයක් බෞද්ධ ජනතාව බොහෝම ගෞරවයෙන් පිංවත් ශාසන බලධාරී උතුමන්ගෙන් බලාපොරොත්තු වෙනවා, ප‍්‍රධාන නිකායන් හතර නියෝජනය වෙන ආකාරයෙන් ශීලයෙන් පිරිසිදු ස්වාමින් වහන්සේලාගෙන්යුත් සංඝාධිකරණයක් ස්ථාපිත කොට, මේ මොහොතේ අවිනයවාදීව, අධර්මවාදීව, ශාසන අර්ථයන් කිලිටි කරන යම් භික්ෂූන් වහන්සේලා සිටීනම්, එම භික්ෂූන් කෙරෙහි කරුණාවෙන්, මෛත‍්‍රියෙන් අදාල සංඝාධිකරණය ඉදිරියට කැඳවා, අධිකරණයන් පනවා, උතුම් සංඝ සමාජය පිරිහීමේ දිශාවෙන් යම් පමණකට හෝ ආරක්ෂා කොටගන්නය කියලා.
වර්තමානයේ මාධ්‍ය තුලින් සහ මුහුණු පොත් තුලින්, සතර පාරාජිකාවන්ට අදාල වැරදි කල බව කියන, භික්ෂූන් වහන්සේලා ගැන තොරතුරු වාර්තාවෙනවා පිංවත් ඔබ දැක තිබෙනවා නේද. දෑතේ ඇඟිලි ගණනටත් අඩු දුශ්ශීල, අවිනයවාදී පැවිදිභාවය ලැබූ කිහිපදෙනෙක් කරන මෙම වැරදි නිසා, සමස්ත සංඝ සමාජයම චෝදනාවන්ට ලක්වෙනවා. මිත්‍යාදෘෂ්ඨික අනුවණ, අසරණ පුද්ගලයින් ඉතාමත් පහත් වචන පාවිච්චිකොට සමස්ත සංඝ සමාජයටම පරිභව කරනවා. යම් උපසම්පදා භික්ෂුවක් සතර පාරාජිකාවට අදාල වරදක් සිදුකලොත්, එම භික්ෂුව සංඝ සමාජයට අයිති නැහැ. එම භික්ෂුව සංඝ සමාජය නියෝජනය කරන්නේ නැහැ. එම භික්ෂුව කරටිය කැඩුන පොල්ගසක්, දෙකට පැළුන කලූගලක්. නැවත එකතු වීමක් නැහැ. එම නිසා පිංවත් ඔබ නොදන්නාභාවය නිසා සංඝ සමාජයෙන් විනයානුකූලව ගිලිහි ගිය මිනිස් ඝාතන, ස්ත‍්‍රී දුෂණ, හොරකම්, නැති උත්තරිමනුෂය ධර්ම ප‍්‍රකාශ කිරීම කියන සතරපාරාජිකාවන්ට පත්වූ භික්ෂුවකට චෝදනා කිරීමට යාමේදී කරුණාකර, සංඝයා කියන වචනය භාවිතා කරන්න එපා. උන්වහන්සේලා විනයානුකූලව සංඝ සමාජයට අයිති නැහැ.
උතුම් සංඝ සමාජයෙන් ගිලිහීගිය සතර පාරාජිකාවට පත්වූ අවිනයවාදී පුද්ගලයෙකුට චෝදනා කිරීමට ගොස්, සමස්ත ගෞරවණීය සංඝ සමාජයටම, පිංබත් කාලා, තෙල් වැඩි වෙලා වැනි, අශීලාචාර වචන භාවිතයෙන් බරපතල වූ අපායගාමී අකුසල් සමාජය විසින් සිදුකොට ගන්නවා. උතුම් සංඝ සමාජයේ අපි, විනයානුකූලව වැරදි කරන ස්වාමින් වහන්සේලා සම්බන්ධයෙන් අධිකරණයන් ක‍්‍රියාත්මක නොකිරීම නිසාම, අදින් පසු බිහිවන ලෝකය, අකුසලයේම ගිළුනු ලෝකයක් බවට පත්වේවි.
භික්ෂුව කුටියේ ප්ලාස්ටික් පුටුව මත වාඩිවෙලා, පාදයක් මත පාදයක් තබාගෙන, පාදය මත රැුඳුන තනිරූල් කොලයේ, පිංවත් ඔබට මේ සටහන තබන්නේ. පිංවත් ඔබට කොතෙක් සටහන් තැබුවත්, සත්‍යකින්ම අපේ ජීවිත කියන්නේ මිරිඟුවක්. එ්ත් එ් මිරිඟුව අවිද්‍යාවෙන් උපන් ධර්මයක්. පිංවත් ඔබ එ් ධර්මය දෙස අහක බලාගෙන ඉන්න එපා. මේ ජීවිතය අවිද්‍යාව හේතුවෙන් සකස් වූ ජීවිතයක්. පිංවත් ඔබට අවශ්‍ය නම් පුළුවන් අවිද්‍යාව නිරෝධය කොට මේ ජීවිතයේදීම උතුම් ධර්මාවබෝධයන් ලබන්නට. පිංවත් ඔබ ඉහත අර්ථයන් තුලින් දකින්නේ, ඔබේ ජීවිතය තුලින් ධර්මයේ ස්වක්ඛාත ගුණය සහ සන්දිට්ඨික ගුණයයි.
සද්ධර්මයේ උතුම් අර්ථයන් අපේ ජීවිත අද්දරටම ගෙනත් පෙන්වූ, උතුම් ධර්ම විනය නැමති ජීවමාන ශාස්තෘන්වහන්සේට ආයුෂය, බලය ලබන්නට නම් අපි දිවිහිමියෙන් සුරකින ප‍්‍රාතිමෝක්ෂ ශීලයෙන්මයි, උන්වහන්සේව පිදිය යුත්තේ. පිංවත් මහත්මයෙක් සඳහන් කරලා තිබුනා, අරියඥාණ හාමුදුරුවෝ ජරා, ව්‍යාධි, මරණ ගැනම ලියනවා, අපිව සතුටුවෙන දෙයක් උන්වහන්සේට ලියන්න බැරිද කියලා. එ් පිංවත් මහත්මයාටයි මේ අහිංසක පිළිතුර, ”අවිද්‍යාව” මා සතුටුකල යුත්තේ ඔබව නොව, අවිද්‍යාවේ නිරෝධය අපිට කියාදුන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේවමය කියලා.
– පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ
2021-08-22