“සබ්බ පාපස්ස අකරණං” ගාථාවේ බලය.

ප්‍රශ්නය :

ගෞරවණීය ස්වාමීන් වහන්ස, “සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං – ඒතං බුද්ධාන සාසනං” සියලු බුදුවරයන් වහන්සේලාගේ දේශනාවන් කැටිවුණු මේ ගාථාවේ තිබෙන බලය කුමක් ද..? මේ ගාථාව ශ්‍රවණය කිරීමෙන්, මෙනෙහි කිරීමෙන් කෙනෙකුට එහි ගැබ්වුණු ශක්තිය ලැබෙනවා ද..?

පිළිතුර :

එහෙයි… ලැබෙනවා… දැන් බුදුරජාණන් වහන්සේ “සබ්බ පාපස්ස අකරණං” කියන්නේ, සියලු පාපයන්ගෙන් මිදෙන්න; “කුසලස්ස උපසම්පදා” කුසල් දහම් වඩන්න; “සචිත්ත පරියෝදපනං” සිත දමනය කරගන්න, ඒකයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය. එතකොට, සිත දමනය කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මොකක්ද කියන්නේ..? මොන සිත ද දමනය කර ගන්න කියන්නේ..? මේ කුසල් සහ අකුසල් සිත් දෙකමයි දමනය කර ගන්න කියන්නේ. ඉතින් ඒක හොඳට තේරුම් ගන්න ඕන. මුලින් ම කියනවා, “සබ්බ පාපස්ස අකරණං….” සිය`ඵ පාපයන්ගෙන් මිදෙන්න. ඊට පස්සේ කියනවා, කුසලයේ යෙදෙන්න.

ඊට පස්සේ කියනවා, සිත දමනය කරගන්න. මොන හිත ද මේ දමනය කරගන්න කියන්නේ..? කුසලය සහ අකුසලය කියන දෙකමයි. මොකද, කුසලයත් අපිව අරන් යන්නේ භවයටයි. අකුසලයත් අපිව අරන් යන්නේ භවයටයි. අකුසලය දුගතියට අරන් යනවා. කුසලය සුගතියට අරන් යනවා. නමුත් සුගතියට අරන් ගියත් කවදාහරි අනාගතයේ දී පහළ වන දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල්වල අපි ආයෙමත් සතර අපායන්ට වැටෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ එතනදි අනුමත කරන දේ… බොහොම ගැඹුරින් අපි දකින්න ඕන.

බුදුරජාණන් වහන්සේ එතන දේශනා කරන්නේ මොකක්ද…? අකුසලයෙන් මිදෙන්න. කුසල් වඩන්න. කුසල් වඩලා ඊළඟට කුසලයේත්, අකුසලයේත් අනිත්‍යය දකින්න. ඒ කියන්නේ, භව නිරෝධය ම සකස් කරගන්න. එතනයි බුදුරජාණන් වහන්සේ ඒකෙන් අදහස් කරන්නේ. ඉස්සෙල්ලා ම අකුසලයෙන් මිදෙනවා. මොකද, දැන් මාරයාට ඔබලාව අකුසලය තුළ කොටු කරන්න බැහැ. ඔබලාව අකුසලයෙන් කොටු කරන්න බැහැ. ඔබලා දැන් අකුසලය හඳුනනවා. එහෙනම් දැන් මාරයා ඔබලාව කොටු කරන්නේ කොතෙන්ට ද..? කුසලයට. කුසලයෙන් දැන් මාරයා ඔබව කොටු කරන්නේ. කුසලය කියන්නේ මොකක්ද, පින්කම්, දානය, සීලය, මෛත්‍රිය, සමාධිය. මේවා කුසල්. මේ තැන් තුළින් තමයි ඔබව දැන් කොටු කරන්නේ.

මොකද, මාරයා දන්නවා, මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් ම අවස්ථාව මේකයි කියලා. මේක සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් අවස්ථාව. නමුත් මේ දීප්තිය කියන්නේ, නිවෙන්න ආසන්න පහනක තියෙන දීප්තිය. නිවෙන්න ආසන්න පහනක තියෙන දීප්තිය. නමුත්, මේක වඩාත් වැඩි කාලයක් තියෙන දීප්තියක් නෙවෙයි. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන අධිගමලාභීන් පහළ වෙන යුගය තමයි මේක. ඔබතුමියට මේ ජීවිතයේ සෝවාන් වෙන්න තියෙනවා නම් ඒ තියෙන කාලය තමයි මේක. ආයෙමත් අපිට කාලයක් එන්නේ නැහැ. මාරයා දන්නවා, මේක තමයි සම්මා සම්බුද්ධ ශාසනේ තියෙන සශ්‍රීක ම අවස්ථාව කියලා, මේ මොහොතේ. ඒ නිසා මාරයා මේ වෙලාවේ හදන්නේ මොකක් කරන්නද..?

ඔබලාව කුසලය තුළ කොටු කරන්න. කුසලය තුළ කොටුකරල තිබ්බා නම් ඔබලා දිව්‍ය, මනුෂ්‍ය සැප ලබමින් එතන ඉන්න තමයි බලන්නේ. එහෙම වෙලා තව අවුරුදු දෙතුන්සීයක් ගියාට පස්සේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යනවා. අතුරුදහන් වෙලා ගියාට පස්සේ ලෝකය අයිති කාටද..? මාරයාට. ඊට පස්සේ අනිවාර්යයෙන් ම ඕගොල්ලන් මාරයාගේ ග්‍රහණයේ. ඒ කියන්නේ සංසාරේ මෙච්චර කාලයක් අපි කුසලයට කොටුවුණා. අකුසලය හඳුනාගෙන කුසලයට කොටුවුණා. එහෙනම් මේ මොහොතෙත් අපි ලෑස්ති වෙන්නේ කුසලයට කොටුවෙන්න නම් ඒ කියන්නේ, අපි මාරයාගේ ග්‍රහණයට එතනත් අහුවෙලා තියෙන්නේ. මොකද, නැවත සුගතියේ උපතක්. ඒ සුගතියේ උපතින් අපි ආයිමත් සතර අපායට වැටෙනවා.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ “සබ්බ පාපස්ස අකරණං….” ගාථාවෙදි ඒකයි කියන්නේ, මුලින් ම පාපයන්ගෙන් මිදෙන්න. ඊට පස්සේ කුසල් දහම් වඩන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා, සිත දමනය කරගන්න. මොන සිත ද..? මේ කුසල් සහ අකුසල් කියන්නා වූ සිත් දෙක ම දමනය කරගන්න. ඒකට බැඳෙන්න එපා. ඇයි..? බැඳුණොත් භවය කරායි අරන් යන්නේ කියන කාරණය. ඉතින් ඒ නිසා මේ ගාථාව ජීවිතයට දරාගත්තොත් ඒ දරාගැනීම තුළින්, සෝවාන් ඵලයට පත්වීමට අවශ්‍ය වූ සාධක අපි ජීවිතයට එකතු කර ගන්නවා….!!!

තෙරුවන් සරණයි ….!!!