විදීමේ දොරටුව වැසී තියෙන තෙක් ජිවිතය සුන්දරයී.

මේ දිනවල පාසල් වයසේ පසුවෙන දරුවන්ට කේන්ති යනවා වැඩියි කියලා, සමහර දෙමාපියන්ගෙන් අසන්නට ලැබෙනවා. දරුවන්ගේ කේන්තිය නිවෙන්න නම්, පිංවත් දෙමාපියන් කේන්ති නොගෙන ඉන්න දක්ෂ වෙන්න ඕනේ. උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල වෙන සමාජයක, සම්මා සංකප්පයන් දුර්වල වෙනවා වැඩියි. මේ දවස්වල සමාජයේ හැමෝටම කේන්ති යන දේවල් දකින්න, අසන්න ලැබෙනවාත් වැඩියි. උතුම් සම්මා දිට්ඨියේ සිසිල් දියෙන් පිංවත් ඔබේ ඵස්සය තෙත් නොවුණොත් කේන්තියේ ගිනි රස්නය සංස්කාර වතුර මුට්ටිය තත්පරයෙන් රත්කොට දෙනවා.

පිංවත, ඔබ දෑස් පියාගෙන සංසිඳුන මනසින් ඔබේ සිත දෙස බලන්න. එහි ආදරයවත්, ද්වේශයවත් නැහැ. එහි තිබෙන්නේ හිස්භාවයක් පමණක්මයි. අනිත්‍ය වූ අධ්‍යාත්මික සහ බාහිර රූපයන්ගේත්, අනිත්‍ය වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේත් හේතුවෙන් උපදින ඵස්සය, අයිති හිස්භාවයටමයි. පිංවත එහි හිස්භාවය දෙස මොහොතක් දකිමින් ජීවත් වෙන්න. ඒ හිස්භාවය දකිමින් සිටිත්දි, ඔබට අරමුණු වෙන්නේ සංසිඳුන ආශ්වාසය, ප්‍රාශ්වාසයමයි. ඔබ ඵස්සයේ දොරටුවට අවිද්‍යාවේ ඇඟිල්ලෙන් තට්ටු කරන්න එපා, විඳීම් දොරටුව විවෘත වේවි. විඳීමේ දොරටුව වැසී තිබෙන තාක්කල් ජීවිතය හරිම සුන්දරයි. ඇයි ඔබ ඒ සුන්දරත්වය අත් නොවිඳින්නේ?

භික්ෂුවගේ ඵස්සය අසල මේ මොහොතේ නැවතී සිටින්නේ, විදර්ශනාමය ප්‍රීතිය සහ පස්සද්ධිය පමණක්මයි. ඇය ධර්මයේ උපේක්ෂාවෙන් නික්ලේශීව භික්ෂුවට තනි රකිනවා. කාත් කවුරුවත් ඇති හෝ නැති භික්ෂුවට ඇය ලෝකයම අනිත්‍යයි කියලා, කියලා දෙනවා. භික්ෂුවගේ පෙර පිනට ලැබුණ සත්පුරුෂ යාළුවෙක්, අපවත්වෙන අවසාන තත්පරය දක්වා ඔබ මගේම යැයි ඇය කියද්දී, භික්ෂුව එම සිතුවිල්ලත් චිත්තානුපස්සනාවෙන්ම සෝදා හරිනවා. සකස්වෙන සිතුවිල්ලක් චිත්තානුපස්සනාවෙන් සෝදා හරිද්දී, එතැන ඉතිරි වෙන්නේ ඵස්සයේ සුන්බුන් ගොඩක් පමණක්මයි.
ගෞරවනීය පිංවත, මේ දවස්වල හරිම පරිස්සමින්, සියලු සංස්කාරයෝ නිත්‍යයි කියලා ගත්ත තැන, වර්තමාන සහ අනාගත පංච උපාදානස්කන්ධ ධර්මයෝ ආදරයෙන්, සාදරයෙන්, සතුටින් පිළිගත්ත තැන ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් ගලා බසින තෘෂ්ණාවේ සැඩ පහර අතීත පටිච්චසමුප්පන්න කුසල් සංස්කාර කඳුත්, නාය යමින් විඤ්ඤාණය ශෝක පරිදේවයන්ට අදාළ ආහාරයෙන්ගෙන්ම පෝෂණය කරනවා. පිංවත් මහත්මයෙක් භික්ෂුවට පණිවිඩයක් එවනවා, ස්වාමීන් වහන්ස මේ දවස්වල රාජකාරී වගකීම් නිසාම, එකක් පරයා එකක් ඇතිවෙන ප්‍රශ්න, ගැටළු නිසාම හරිම මානසික ආතතියකින් කාලය ගෙවී යන්නේ. එම නිසා ඔබවහන්සේට අටපිරිකරක් පූජා කරගන්න අවස්ථාවක් දෙන්නය කියලා. භික්ෂුව එම මහත්මයාට දැනුම් දුන්නේ, භික්ෂුව ගැන නොසිතා තමාගේ සිත දෙස බලන්නය කියලා. අපි ජීවිතයෙන් සංසිඳුනා වූ ධර්මයක් මතුකොට ගන්න නම්, ජීවිතයේ මුලට යන්න ඕනේ. ජීවිතයේ මුල කියන්නේ ඵස්සයට, ජීවිතයේ අග කියන්නේ විඤ්ඤාණයට. අපි හැම වෙලාවේම ලෝකයේ මුල වන ඵස්සය ගැන නොසිතා ඵස්සය අවිද්‍යාවේ ගොදුරක් බවට පත්කොට, ඵස්සයේ ඉඳුල් අනුභවකොට යැපෙන පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ රූකඩයක් බවට පත්වෙන්නමයි කැමැත්ත දක්වන්නේ. ඵස්සය මගහැර අපි විඤ්ඤාණයට කඩේ යනවා. පිංවත් ඔබ, ඔබ තුළ සකස්වෙන ඵස්සය දෙස බලන්නේ නැහැ. ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කරලා විඤ්ඤාණයේ පදයට නටලා, ආයෙ අයෙමත් පටිච්චසමුප්පන්න විඤ්ඤාණයම බල ගන්වා ගන්නවා.

අටපිරිකර පූජා කරලා, සිවුරු පූජා කරලා, දානය පූජා කරලා ප්‍රශ්න වලට විසඳුම් සෙව්වා හොඳටෝම ඇති. කොටින්ම අපි දැන් ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගෙන් හෙම්බත් වෙලා. හෙටක් පිළිබඳව විශ්වාසයක් නැති වර්තමානයක අපි අතරමං වෙලා. ස්වාමීන් වහන්ස රටට මොකද වෙන්නේ, සම්මා සම්බුද්ධ ශාසනයට මොකද මේ වෙන්නේ, ආණ්ඩුව, විපක්ෂය කොහෙද මේ යන්නේ, විසඳුමක් නැතිව ජීවිතගත වෙන ප්‍රශ්න පත්‍රය දවසන් දවස දික්වෙලා. අවිද්‍යාවෙන් උපන් සම්මුති ලෝකය විසඳුමක් නොපෙනෙන පරස්පරයක් වුවත්, ගෞරවනීය පිංවත, සතියෙන් සිහියෙන් ඔබේ ලෝකයේ මුල වන ඵස්සය දෙස ඔබ විවේකීව බැලුවොත් ඔබේ ලෝකය මේ නිමේෂයේදිත් හරිම සුන්දරයි, හරිම විවේකියි, හරිම නිස්කලංකයි ශෝක, පරිදේව ඉඩෝරයට හසුවෙලා. ප්‍රීතිය සහ පස්සද්ධියේ දිය සීරාවන් උපේක්ෂාවේ විඳීම් තෙත් කරනවා. බලන්නකෝ මෙච්චර ලස්සන, මෙච්චර නිරවුල් ලෝකයක් තෘෂ්ණාවෙන් අවුල් කරගෙන, තෘෂ්ණාවෙන් අවලස්සන කොටගෙන ඔබ අටපිරිකර පූජා කරන්න භික්ෂුව සොයනවා.

අටපිරිකර පූජාව උතුම් අටමහා කුසලයක්. භික්ෂුව එම උතුම් කුසලය අගේ කරනවා. පිංවත් ඔබේ ජීවිතය පූජනීය අටපිරිකරක් බවට පත්කොට ගන්න, ඒ පූජනීය ජීවිතය උතුම් තෙරුවන්ට පූජා කරන්න. එවිට මොහොතකට පිංවත් ඔබට ප්‍රශ්න අමතක වේවි. දැන් ඔබේ සිහිය ඔබේම ඵස්සය මත නිරවුල්ව තබා ගන්න. සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂ වසර දෙදහස් හයසීයක් ගෙවී ගිය මේ ප්‍රමාදී මොහොතේ, තවදුරටත් ඵස්සය මත ඇලීම් සහ ගැටීම් සෙල්ලම් ගෙවල් තනාගෙන ඔයා අම්මා, මම තාත්තා, ඔයා පුතා, මම දුව යැයි නාමික සෙල්ලම් චරිත හදාගෙන මේ රට, මේ ජාතිය, මේ ආගම, මේ පක්ෂය, මේ විපක්ෂය යැයි මෝහයට පණ දීගෙන, තවදුරටත් අවිද්‍යාවේ ළදරුභාවයෙන් සංස්කාර සෙල්ලම් බත් උයන්න එපා.

ඉහත සටහන තබද්දී භික්ෂුවගේ මුවඟට සිනහවකුත් නැගුණා. අපිට අයිති නැති සංස්කාර ලෝකයක් අපි අපේම යැයි ආදරයෙන් පිළි අරගෙන සකස්වෙන සිතුවිල්ලක්, සිතුවිල්ලක් පාසා ඇලීම් සහ ගැටීම් සමග මධුසමය ගතකරන අපි තවමත් දන්නේ නැහැ, අවිද්‍යාවේ ඇය හෝ ඔහු මාරාන්තික ඒඩ්ස් රෝගියෙක්ය කියලා. පිංවත් ඔබ පරිස්සමින්, භික්ෂුව මේ මොහොතේත්, මේ මාරාන්තික ලෝකය පරිහරණය කරන්නේ, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආරක්ෂිතභාවය තුළ හිඳිමින්මයි. අද උදෑසන දානේ ශාලාවට වඩිද්දී අම්මා, තාත්තා දෙපලක් තම මියගිය පාසල් වයසේ ආදරණීය පුතණුවන්ගේ ලොකු ඡායාරූපයක් පෙන්වමින්, නාලන්ද විදුහලේ අධ්‍යාපනය ලැබූ හොඳට පිං කරපු දරුවෙක්, ඇයි මෙහෙම වුණේ කියලා භික්ෂුවගෙන් විමසුවා. අපි අකමැති දෙයක් සිද්ධ වෙද්දී, අපි කැමති දෙයක් නොවේ සොයන්න ඕනේ. අනිත්‍ය වී යන කැමැත්තෙන් සහ අකමැත්තෙන් යන දෙකෙන්ම මිදීමේ මගක්. ඔබ කැමතිම දෙය නේද, ඔය ඔබ අකමැතිම දෙයක් බවට පත්වුණේ. තවත් මොකට ද ඔබ ප්‍රමාද වෙවී කැමති දේවල්ම සොයන්නේ? මෝහය අපිට ලස්සන ඇස් දෙකක් ලබා දීලා, මෝදු වීමට විලිලන ප්‍රඥාවේ ඇසට ඇඟිල්ලෙන් අනිනවා. ප්‍රඥාවේ ඇස වරින් වර ගබ්සා වෙද්දී භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිවුවනක් පිරිස, දෑස් පනාපිටම ප්‍රඥාවේ අන්ධ දෑසින් දුක තරණය කරන්න අවිද්‍යාවේම සැරයටි සොයනවා. අපේ ආදරණීය දරුවන් අපි තෘෂ්ණාවෙන් උපාදානය කොටගන්නා සෑම සිතුවිල්ලකදීම, අපි අනාගත පටිච්චසමුප්පන්න භව ගමනේ තවත් දරුවන් ලබන්න අවශ්‍ය සංස්කාරයන් පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට ආහාරයක් කොට දෙනවා. දරුවෝ ඇතුවත් බැහැ. දරුවෝ නැතුවත් බැහැ. මොකක් කරන්න ද කියලා සිතාගන්න බැරිවුණ නිසාමයි, භික්ෂුවත් ගිහි ජීවිතයේ දී දරුවන් පිළිබඳ සිතුවිලි චිත්තානුපස්සනාවට භාර දී සදහටම දරුවා කියන අර්ථයෙන් නිදහස සොයා ගියේ. ඔය දෑස්වල අහිංසක, ආදරණීය, කඳුළු පිසදමා, පිංවත් ඔබත් නිදහස සොයා යන්න. එතෙක් ඔබට, මම දරුවෙක් වී සිටින්නම්.

අපි හැමෝම ආසයි අළුත්, අළුත් දේවල් සොයන්න, දකින්න. ඒවා ගැන සිතන්න. අපි, අපි ගැන නොසොයන තාක්කල් අපි අනුන්ව සොයනවා. වර්තමානයේ සමහරක් ගිහි පිංවතුන්ලා සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ස්වාමීන් වහන්සේලාව සොයනවා. පිංවත් සමහරක් ගිහි පිංවතුන්ලාගේ මේ මිච්ඡා සෙවීම නිසාම, මෙය සටහන් තබන භික්ෂුවත් චෝදනාවන්ට, විවේචනයන්ට පත් වූ අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මෙය සටහන් තබන භික්ෂුව, උතුම් සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන්, ඥායපටිපන්න ගුණයෙන්, සාමීචිපටිපන්න ගුණයෙන් ජීවිතය පෝෂණය කොටගත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් පමණක්මයි. ඉන් එහා මිච්ඡා සෙවීම් වලට භික්ෂුව ලක්කරන්න එපාය කියලා ගෞරවයෙන් සිහිපත් කරනවා.

අනුන් ගැන නොසොයා පිංවත් ඔබ, ඔබ ගැන සොයන්න. පිංවත් ඔබ, ඔබ ගැන සොයන්න නම් ශීලයෙන් පෝෂණය වූ ඉන්ද්‍රීය සංවරයක් ඔබට තිබෙන්නට ඕනේ. ඔබේ විඳීම් උපේක්ෂාව දෙසට නැමී තිබෙන්නට ඕනේ. පංච නීවරණ සහිත සිතකට, අනුන්ව පෙනෙන්නේත් මම කියලාමයි, මගේ කියලාමයි. පිංවත් ඔබ, ඔබේ ලෝකය නිවැරදිව විග්‍රහකොට ගන්න. ලෝකයේ මුල අවිද්‍යා පච්චයා සංඛාරා. ලෝකයේ මැද ඵස්ස පච්චයා වේදනා, ලෝකයේ අග භව පච්චයා ජාති. අවිද්‍යා නිරෝධා ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක් කඳ නිරෝධෝ.

මිදුණ උපදානයෝ නිවුන ජීවිතයක පංචස්කන්ධය පමණක් ශේෂ කොට, ජයත්, පැරදුමත් දෙකෙන්ම මිදී සංස්කාර මාරයාගේ සංග්‍රාම භූමිය දිග්විජය කොට, මාර දූතයන් සහ මාර දූතියන්ට සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් සංග්‍රහ කොට පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නිරාහාරව තබා “නිවා දමන” සුන්දර පටිච්චසමුප්පාද ධර්මයක අර්ථය පිංවත් ඔබ තුළින්ම ඔබ මතුකොට ගන්න.
පිංවත් ඔබ දෑස් පියාගෙන, අවිද්‍යා පච්චයා සංඛාරා, අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ. නොහිස් ජීවිතයක, හිස් හේතුඵල ධර්මයෝ ඒහිපස්සිකව දකින්න. රූපය ඉතිරිකොට අවිද්‍යාව හිස් කරන්න. අතීත සංස්කාරයෝ ඔබේ මරණය තෙක් ඔබව ජීවත් කරාවි. අනුන්ව සොයමින් සංස්කාරයන්ට ඉණිමං බඳිනවා වෙනුවට, පිංවත් ඔබ, ඔබ ගැනම සොයන්න. එවිට ඔබට, මෙය සටහන් තබන භික්ෂුවත් මුණ ගැසේවි. ඒ රාජගිරියේ අරියඥාණ වශයෙන් නොවේ, අවිද්‍යාව හේතුවෙන් සකස් වූ සංස්කාර ගොඩක්. ඵස්සය හේතුවෙන් සකස්වෙන විඳීම් ගොඩක්. උපත නිසාම සකස් වූ ජරා, ව්‍යාධි, මරණ ගොඩක්. පෙනේ ද අපි සොය, සොයා යන මිරිඟුවක අපූරුව.
අවිද්‍යා රස පොළොවේ විඤ්ඤාණය නමැති මැජික්කරුවා රෝපණය කළ කටු රෝස පඳුරේ සුපිපි නෑඹුල් රෝස කුසුම්; අසිහියේ ඵස්සයෙන් විකසිත වී; ඇලීම් සහ ගැටීම් විහඟුන්ගේ ඇඟිලි තුඩු වලින් ඉඳුල් වී; සංස්කාර ලෝකයට රාගයේ අකුරු කියලා දෙන, බාල වයස්කාර දරුවනේ; රාගයම අවුස්සමින්, රාගයම මතුකොට පෙන්වමින්, රාගයම විකුණමින් ජීවත්වෙන අසත්පුරුෂ සමාජයක කරුණාකර හෙට දවස අදට වඩා පරිස්සමින්.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ.

උපුටා ගැනීම- 2021.08.01 වන ඉරුදින දිවයින පුවත්පත.