මැසි මදුරුවන්, කුහුඹින්, කැරපොත්තන්, ගොයම් මැස්‌සන් වැනි කෘමීන් වැනි උවදුරු මඟහැරයැමට ඇති අදක්‍ෂභාවය නිසාම සමාජය නිරතුරුවම නැති ආශ්‍රවයන් ඇතිකර ගන්නවා. ඇති ආශ්‍රවයන් වර්ධනය කරගන්නවා. එමනිසා පිංවතුන් දක්‍ෂවෙන්න, මෙවැනි කෘමි උවදුරු ආරක්‍ෂක ක්‍රමවේදයක් උපයෝගී කරගෙන මඟහැරයන්න.
මදුරුවන් ගැවසෙනවානම්, මදුරු දැලක් පාවිච්චි කරන්න. කුහුඹින් පැමිණෙනවානම් ඊට අදාළව ආරක්‍ෂිත උපක්‍රම ඇතිකරගන්න. මැසි මදුරුවන්, කුහුඹින් වැඩිපුර ගැවසෙන නිවාසවල ජීවත්වන පිංවතුන්ලාට කේන්තියැම, සිත විසිරීමේ ස්‌වභාවයන් වැඩිවෙනවා. සමහරක් පිංවතුන්ලා, දරුවන්, ධර්මය ශ්‍රවණය කරනකොටත්, අත්පුඩි ගහනවා වගේ ශරීරයට ගහගන්නවා. ඒ කියන්නේ දෂ්ට කරන මදුරුවා මරනවා. ඒ වෙලාවට භික්‍ෂුවට හිතෙනවා ‘බණ අහන වෙලාවට මෙහෙම නම්, ගෙදර සිටින වෙලාවට කොහොම වෙයිද..?’ කියලා. එක් දරුවෙක් භික්‍ෂුවට ප්‍රකාශ කළේ, අපේ අම්මා කෘමිනාශක යොදා නිරතුරුවම කුහුඹින්, මැස්‌සන් මරනවා කියලයි.
ගුණාත්මකභාවයන් මඟහැර, අස්‌වැන්න වැඩිකරගැනීමේ තෘෂ්ණාධික ක්‍රමවේදයන් නිසා, කෘෂිකර්මාන්තය ආශ්‍රිතවද, කෘමිනාශක හේතුවෙන් පිංවතුන්ලා බරපතල වූ සත්ව ඝාතන, හිංසාවන්ට අදාළ ආශ්‍රවයන් වර්ධනය කරගන්නවා. රූපය මාරයා හැටියට දකින්න ඇති දක්‍ෂභාවය නිසාම, මඟහැරයායුතු සිතුවිලි මඟහැරයැමට ඇති අදක්‍ෂභාවය නිසාම, මඟහැරයායුතු සිතුවිලි මඟහැරයැමට ඇති අදක්‍ෂභාවය නිසාම, ප්‍රාණඝාතයට සත්ත්ව හිංසනයට අදාළ ආශ්‍රවයන් ඇතිකොටගන්නවා.
පිංවත් ඔබ මැසි මදුරුවන්, ගොයම් මැස්‌සන්, කැරපොත්තන් කුඩා සතුන්ය කියලා, මෙවැනි සතුන් ඔබ අතින් මැරුණොත් අකුසලය අඩුය කියලා හිතන්න නම් එපා. ඒ සිත මාර සිතක්‌ය කියලා දැක මඟහැරයන්න. පිංවත් ඔබ නිරතුරුවම මෙවැනි කෘමි සතුන් මරාදමන කෙනෙක්‌නම්, ඔබ මැරෙන මොහොතේ මෙවැනි සත්ත්ව ඝාතනයක් සිහිපත් වුණොත්, මෙවැනිම කෘමි කුලවල ඉපදීමටත්, මනුෂ්‍ය ජීවිතයක් ලැබුවහොත්, නිරතුරුවම රෝගාබාධයන්ට ලක්‌වී ජීවත්වීමටත්, ශීලයෙන් හුඟක් දුර්වල කෙනෙක්‌නම්, නිරයට වැටීමටත් ඉඩ තිබෙනවා.
වර්තමානයේ බලකාමී ලෝකය තුළ, වසවිස යොදා රසායනික අවි නිෂ්පාදනය වෙන්නේ, ඒවා නිෂ්පාදනය කිරීමට ලෝකයාට සිතදෙන්නේ, මනුෂ්‍යයා රසායනික කෘමිනාශක යොදා සත්ත්ව ඝාතනයන්, සත්ත්ව හිංසාවන් සිදුකිරීමේ බලවත්භාවයට ප්‍රතිධර්මයක් හැටියටයි. වර්තමානයේ කෘමිනාශක යොදා මැස්‌සන්, මදුරුවන්, ගොයමේ, වගාබිමේ කෘමීන් මරාදමන පිංවතුන්ලාට අනාගතයේ ඇතිවන රසායනික අවි යුද්ධවලදී, කර්මාන්තශාලා, විදුලි බලාගාර ආශ්‍රිත විෂවායු කාන්දුවීම් වලදී, අද කුහුඹින්, මැස්‌සන්, කැරපොත්තන්, ගොයම් මැස්‌සන් මරණ ආකාරයටම, මියයැමට සිදුවනු ඇත.
වර්තමානයේ කෘමිනාශක යොදා කෘමීන්ව රංචු වශයෙන් මරණ ආකාරයටම, අනාගතයේදී රංචු වශයෙන් මනුෂ්‍යයන් විෂ රසායන හේතුවෙන් මියයනු ඇත. රෝගී වනු ඇත. මේ මොහොතේත් සමාජයෙන් මැසිවිලි නැඟෙනවා, වායුගෝලය විෂ රසායනයන්ගෙන් බහුලවීම හේතුවෙන්, වාතය දූෂණය වී පෙනහලු ආශ්‍රිත බරපතල වූ රෝගාබාධයන්ට මනුෂ්‍යයා පත්වී ඇති ආකාරය පෙනෙනවා. මේ සියලු ලෝක තත්ත්වයන්, අකුසල් විපාකයන්ගේ හේතු ධර්මතාවන්ය.
වාහනවල කළු දුම් පරීක්‍ෂා කළා කියලා, සාකච්ජා, සම්මන්ත්‍රණ තිබ්බාය කියලා මේ ලෝක ධර්මතාවන් වළක්‌වන්න බැහැ. මෙම ව්‍යසනයන්, ධර්මානුකූලව තේරුම් ගැනීමට දක්‍ෂ පිංවතුන්ලා පමණක් දුක දෙසට ගමන්කරන ලෝකයාට පාවඩ එලන්නේ නැතිව, තනි තනිව, සත්ත්ව ඝාතනයට, සත්ත්ව හිංසාවට අදාළ ආශ්‍රවයන් ඇතිවන අවස්‌ථා මඟහැර යැමට දක්‍ෂ වෙන්න…!!!
තෙරුවන් සරණයි …!!!
උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “සතර සතිපට්ඨානය සඳහා ප්‍රවේශය” ලිපි ඇතුළත් “අතහැරීම 10” ග්‍රන්ථයෙනි.
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…