සංඝයා වහන්සේලාගේ සිවුරු සේදීම කාන්තාවන්ට කැපද?

මෙහෙමයි කොතනකවත් අපිට කාන්තාවකට සිවුරක් හෝදන්න දෙන්න බැහැ. ඒක දෙන්න බැහැ. දැන් මගෙනුත් ඇවිල්ලා සමහර කාන්තාවන් කියලා තියෙනවා “ස්වාමීන් වහන්ස චීවරය දෙන්න හෝදලා ගෙනත් දෙන්නම්” කියලා. ඒක විනයට ගැළපෙන කාරණයක් නෙවෙයි. පිරිමි කෙනෙක් ඇවිල්ලා සිවුරක් ඉල්ලුවොත් ඒක අපිට දෙන්න පුළුවන්. කාන්තා පක්ෂය ස්වාමීන් වහන්සේලාගේ සිවුරු පිරිකර හේදීමේ කටයුතු වලට සම්බන්ධ වෙන එක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්.

එක්තරා තරුණ විවාහක යුවළක් ආවා. ඒ යුවළ ගොඩාක් කල් පිටරටක ඉදලා ඒගොල්ලො ඇවිල්ලා තියෙන්නේ. පිටරට ඉදන් ආවාම සල්ලිත් ගොඩක් තියෙනවානේ. ඒත් ඒගොල්ලන්ට දරුවෝ නැහැ. දරුවෝ නැති නිසා කරන්න ඕන වෛද්‍ය ප්‍රතිකාරත් කරල දැන් ඉතින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පැත්තට ගිහිල්ලා. ඉතින් යන්ත්‍ර මන්ත්‍ර පැත්තට ගියහම ඔය පැත්ත හදාරණ ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට ගියහම කියලා තියෙනවා ඔබලා දෙන්නා පෙර ජිවිතයේ රහතන් වහන්සේ කෙනෙක්ට අකුසලයක් කරල තියෙනව. ඒ නිසා ඔබලා සිල්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා උන්වහන්සේගේ සිවුර ඉල්ලගෙන ගගකට බැහැලා පැය හතරක් හෝදන්න කියලා. හෝදන්නේ කොහොමද? අපේ පව් සේදේවා! අපේ පවු සේදේවා! කියමින්. දැන් මේ තරුණ ජෝඩුව විදේශගතව ඉදලා ආපු ජෝඩුව මගේ ළඟට ඇවිල්ලා කියනවා “ස්වාමීන් වහන්න, මේ විදියට අර ස්වාමීන් වහන්සේ කිව්වා. අපට ඒ කියාපු විදියට ඔබ වහන්සේගේ සිවුර දෙන්න පුළුවන්ද හෝදාගෙන එන්න” කියලා.

ඉතින් මම කිව්වා “මහත්තයෝ මට නම් ඔය මිත්‍යාදෘෂ්ටින්ට උපකාර කරන්න බැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පව් සෝදනවා කියන කාරණයක් කොතැනකවත් නැහැ. ඒවා තියෙන්නේ නිගන්ඨ ආරාමවල. පව් සෝදනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කොතැනකවත් නැහැ. අනිත් එක ඔබ මේ සිවුර අරන් ගිහිල්ලා පැය හතරක් වතුරේ බැහැලා හෝදන්න ගියොත් මේ නෝනට ඊට වඩා අසනීපයක් හැදෙන්න පුළුවන්. ඇයි පැය හතරක් ගගක බැහැල ඉන්න පුළුවන්ද මනුස්සයෙකුට. නේද? හීතල හැදිලා අමුතු ලෙඩක් හැදෙයි. මේ නිසා මට මේකට නම් උදව් කරන්න බැහැ. කරුණාකරල මට ඒ උපකාරය කරන්න බැහැ.

නමුත් මම ඔබට අවශ්‍ය නම් එක උපකාරයක් කරන්නම්. හෙට උදේට ඔබ එන්න. ඔබ ආපුවාම මම මගේ චිවරය දෙන්නම්. ඔබ ගෙදෙට්ට ගිහිල්ලා චීවරය හෝදන්න විනාඩි දහයක් පහළොවක් යයි. මට ගෙනත් දෙන්න. හැබැයි බිරිඳගේ අතටවත් චීවරය අත ගහන්න දෙන්න බැහැ. එයාට වතුර ඇදලා ඒ කටයුතු කරන්න දෙන්න. ඔබ හෝදලා වේලලා ඔබ හිතාගන්න මහා සංඝයා අරමුණු කරගෙන කළා වූ මේ චීවර සේදීමේ පිංකමෙන් රැස් වෙන්නා වූ කුසලයෙන් අපේ ජීවිතයට බළපාන යම් අකුසල් සංස්කාරයන් තුනී වෙලා ප්‍රාර්ථනා කරන විදියට අපිට දරු සම්පත් ලැබේවායි කියල මෙම චීවරය සෝදා වැලට දාල මට නැවත ගෙනත් දෙන්න. ඔබ කැමති නම් මම ඒක දෙන්නම්. ඉන් එහා දෙයක් නම් මට කරන්න බැහැයි කීවා.

නමුත් ඒ මහත්තයා කැමති වුණා. මම චීවරය දුන්නා. මට ඒක හෝදලා ගෙනල්ල දුන්නා. නමුත් ඒ වගේ දරුවෝ සමාජයේ එක එක මතිමතාන්තර එක එක්කෙනා කියනවා. නමුත් ධර්මානුකූලව අපේ චීවරයක් කාන්තාවකට හෝදන්න දෙන්න බැහැ. ඒක කැප නැහැ. නමුත් ඒගොල්ලන්ට අපට ඕන දෙයක් පූජා කරන්න පුළුවන්. චීවර. අඳන. නමුත් අපේ චීවර අඳන කාන්තාවකට හෝදලා දෙන්න බැහැ. අපි දක්ෂ වෙන්න ඕන අපේ දේ අපිම කරගන්න. මොකද ඒවා දෙන ප්‍රමාණයට අපිත් එක්ක තියෙන බැඳීම් වැඩි වෙනවා. ඒ බැඳීම් වැඩ වැඩිවීම සංඝයා කියන අර්ථයට බලවත් හානියක්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන මොන අසනීප තත්ත්වයක් තුළ වුණත් අපේ දේ අපි කර ගන්න.

අතිපූජනීය රාජගිරියේ අරියඥාණ හිමි

මෙම ලිපිය සිරස එෆ් එම් පන්සිල් මළුව සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලදී.

සියළු දානයන් අතර ධර්ම දානය ම අග්‍ර වන්නේ ය. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ(සංයුත්ත නිකාය, දේවතා සංයුක්තය, ආදිත්ත වග්ගය, කිංදද සූත්‍රය). මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.