මස් මාංශ අනුභවය, මත්පැන් පානය, සිල්පද බිඳීමක් ද?

මෙහෙමයි. මස් මාංශ පාවිච්චි කිරීම කියන කාරණය නම් සිල්පද බිඳීමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. නමුත් තමන් සත්ත්ව හිංසාව කරලා, සත්ත්ව ඝාතනය කරලා එහෙම නැත්නම් තමන් මරන්න කියලා අණ කරලා ඒ ආකාරයෙන් ගන්නා වූ මස් මාංශ අනුභවය නම් පාපකාරීයි. තේරුණාද?

ඒවායින් සිල්පද බි⁣දෙනවා. එහෙම නැතුව කඩෙන් මාළු පන්සීයක් ගෙනැල්ලා කෑවා කියන කාරණය, බුදුරජාණන් වහන්සේ එතැන අකුසලයක් තියෙනවා කියලා අපට කොතැනකවත් දේශනා කරලා නැහැ.

එතකොට මත්පැන් පානය කියන කාරණය නිරතුරුව ම අපි තුළ සියළුම සිල්පද බිදෙන තැනට අපිව පත් කරනවා. ඒ නිසා කෙනෙක් මත්වතුර දිගින් දිගටම පානය කරලා සිහිය විකල් කරගෙන ජීවත් වුණොත් එයා ඒ සිහිය විකල්වත් භාවය නිසාම නිරතුරුව ම අකුසල් කර ගන්න දිශාවටයි ගමන් කරන්නේ.

ඉතින් අකුසල් සිදු කර ගන්න දිශාවට ගමන් කරද්දී ඊට අදාළව මැරෙන මොහොතේ චුති චිත්තය සකස් වුණොත් අර මත්පැන් කෙරෙහි ඇතිකර ගන්නා වූ තෘෂ්ණාව නිසා අපි මැරිලා ගිහිල්ලා ඔය වයින් ස්ටෝර්ස් ආශ්‍රිතව, බොන තැන් ආශ්‍රිතව ප්රේතයෙක් විදියට උප්පත්තිය සකස් කරගන්න පුළුවන්.

එහෙම නැත්නම් මැරෙන මොහොතේ ධර්මයක් තුළ හිත නොපිහිටීම නිසා, ද්වේශය සකස් කර ගැනීම නිසා අපි සතර අපායන්හි නිරය, තිරිසන් ලෝක වැනි බලවත් තැන්වලට වැටෙන්නත් පුළුවන්. ඒ නිසා දරුවෝ මත්පැන් කියන කාරණය නම්, ඒ වගේම සත්ත්ව ඝාතනය කළා, හිංසා කළා කියන කාරණා වලදී නම් ලැබෙන ප්‍රතිසන්ධිය බලවත් වූ අනතුරක් බවටයි පත්වෙන්නේ.

නමුත් එක මහත්මයෙක් හිටියා. ඒ මහත්මයා තරුණ කාලේ ඉදන් ම මත්පැනට යොමු වුණා. අපි කියමු එයාට ලක්ෂ පනහක් සල්ලි තිබ්බා කියලා. එයා ලක්ෂ පනහෙම බිව්වා. නමුත් එයාට ඉඩකඩම්, දේපළ කෙරෙහි කිසිම තෘෂ්ණාවක් තිබ්බෙ නැහැ. එයා කවදාවත් තනියම බිව්වෙ නැහැ. කට්ටිය හවුල් කරගෙන එයා පරිත්‍යාග කරමින් තමයි අනුන්ටත් දීලා තමයි බිව්වෙ. බීම නිසා එයා දරුවන්ට, දෙමාපියන්ට, අම්මා, තාත්තාට ආදරය කළේ නැහැ. ආදරය කළේ නැහැ. තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාව ඒවා කෙරෙහි තිබ්බෙ නැහැ. තෘෂ්ණාව තිබ්බෙ මෙතෙන්ට.

නමුත් කොහොම හරි එයා මැරෙන වෙලාවෙ දක්ෂ වුණා නැවත මව් කුසක ප්‍රතිසන්ධියකට එන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ “උපාදාන පච්චයා භවො” කියලා. “උපාදාන පච්චයා භවො” කියන තැනදී සකස් වෙන උපාදානයට අනුව අදාළව ප්‍රතිසන්ධියකට යනවා.

එයාට වුණ වාසිය මොකක්ද? එයා කොයිදේවත් කෙරෙහි තෘෂ්ණාවක් ඇතිකර ගත්තේ නැහැ. එයාට ඕනේ නම් එයා අදින ඇදුම කවුරුහරි ඉල්ලනවා නම් ඒක දීලා දානවා. තේරුණාද? ඒ වගේ කිසිම තෘෂ්ණාවක් තිබ්බේ නැහැ.

නමුත් මොකක්දෝ අකුසල් විපාකයක් නිසා එයා බොන්න පුරුදු වුණා. නමුත් මැරෙන වෙලාවේ තෘෂ්ණාවේ අඩුභාවයන් නිසා ගේ දොර, ඉඩකඩම්, දුවා දරුවන් කෙරෙහි තෘෂ්ණාව තිබ්බේ නැහැ. මිල මුදල් කෙරෙහි වත් තෘෂ්ණාව තිබ්බේ නැහැ. ඒකයි අතෙන්ට අර වාගේ වියදම් කළේ.

එයාට මනුෂ්‍යයෙක් විදියට සැප විදින තෘෂ්ණාව තමයි තිබ්බේ. එතකොට මනුෂ්‍යයෙක් විදියට සැප විදින තෘෂ්ණාව තුළ එයා අනුන්වත් එයා දන්න ආකාරයෙන් සතුටට පත් කළා. ඇදගෙන ඉන්න ඇදුම දීලා, තමන්ගේ මගුල් සූට් එක පවා එයා තව කාට හරි දීලා තිබ්බා.

එතකොට ඒකෙන් මොකක්ද පේන්නේ. එයාගේ දේපළ කෙරෙහි තෘෂ්ණාවේ අඩු භාවය. ඒ තෘෂ්ණාවේ අඩු භාවය උපකාරී වුණා මත්පැන් පානය කළ කෙනෙකුටත් ඊළඟ ප්‍රතිසන්ධිය මනුෂ්‍ය මව්කුසකට යන්න. ඉතින් ඔතෙන්දි දරුවෝ අවසාන උපාදානයට අනුව තමයි ඒක ගළපගන්න ඕනේ.

නමුත් නිරතුරුවම කෙනෙක් මත්පැන් බොනවා නම්, සතුන් මරණවා නම් ඒ දේවල් කරනවා නම් අනිවාර්යයෙන් ම සතර අපාය තමයි ජීවිතයේ උරුම. නමුත් අරයාගේ දක්ෂ භාවයක් තිබ්බ. ඒ දක්ෂ භාවය ඇතිවුණේ එයා මේවා කෙරෙහි තෘෂ්ණාව අඩු ලර ගත්ත නිසා.

යමෙක් දේපළ කෙරෙහි තෘෂ්ණාව අඩුවෙලා මනුෂ්‍ය ලෝකය කෙරෙහි උපාදානය සකස් කර ගත්තොත් එයාට නැවත මනුෂ්‍ය ලෝකයේ උපතක් ලබන්න තියෙන අවස්ථාව වැඩියි. නමුත් කොතැනකවත් මත්පැන් පානය අනුමත කරන්න අපට බැහැ. ඒක බරපතළ සිල්පද බිදීමක්.

තෙරුවන් සරණයි!!!

අතිපූජනීය රාජගිරියේ අරියඥාණ හිමි

සියළු දානයන් අතර ධර්ම දානය ම අග්‍ර වන්නේ ය. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ(සංයුත්ත නිකාය, දේවතා සංයුක්තය, ආදිත්ත වග්ගය, කිංදද සූත්‍රය). මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.