තෘෂ්ණාව සමග බැඳුණු ජීවිතයට ආලෝකයක්.

පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් ප‍්‍රශ්නයක් විමසුවා, රහතන් වහන්සේ නමක් පිරිමි හෝ කාන්තා රූපයක් දකින්නේ කොයි ආකාරයට ද කියලා. භික්ෂුව සූත‍්‍රගත ධර්මයන්ට අදාළව ලබාදුන් පිළිතුර වූයේ මහත්තයෝ, යම් භික්ෂුවක් උතුම් රහත්ඵල අවබෝධයට පත් වෙනවාය කියන්නේ උන්වහන්සේ කාරණා පහක් ධර්මානුකූලව අවබෝධ කළාය කියන කාරණයයි. එම අර්ථයන් පහ තමයි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන පංචඋපාදානස්කන්ධ ධර්මයන්. අපි කවදා උතුම් රහත්ඵල අවබෝධයට පත් වුණත් අපි අවසාන අදියරේදී අවබෝධ කරගන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවයයි.

එසේ නම් රහතන් වහන්සේ නමක් පුරුෂ හෝ ස්තී‍්‍ර රූපයක් දකිත්දී උන්වහන්සේ තුළ ඇදී මැකීයන්ගේ රූපයේ අනිත්‍ය භාවයයි. රූපය, ඇදී මැකි යනවාය කියලා සටහන් තැබුවේ රහතන් වහන්සේ තුළ ඵස්සය සකස් වුණත් ඵස්සය තෙත් කිරීමට තෘෂ්ණාව නොමැති නිසාම ඇඳුණු රූපය විඳිමකින් තොරවම මැකී යනවාය කියන කාරණයි. තෘෂ්ණාවේ ඝන තින්න තිබෙන තාක්කල් අපි මොකද කරන්නේ ඇඳුන රූපය, තෘෂ්ණාවේ සහ තින්තෙන් පංච උපාදානස්කන්ධයක් සිතුවම් කොට ගන්නවා. අපි අවසාන චුති සිතේදී සකස් වෙන ඵස්සය තෘෂ්ණාවේ ඝන තින්නෙන් තෙත් කළොත් ඇලීම් සහ ගැටීම් ඔස්සේ හඳුනා ගැනීම් හරහා සංස්කාර ඔස්සේ ලස්සන දිව්‍ය රූපයක් මනුෂ්‍ය රූපයක් එසේත් නැති නම් අවලස්සන සතර අපායේ සත්ව රූපයක් සිතුවම් කරාවි.

සූත‍්‍රගත ධර්මයේ සඳහන් වෙනවා, ආනන්ද ස්වාමීන් වහන්සේ වරක් සාරිපුත්ත මහෝත්තමයන්ගෙන් විමසනවා ඔබ වහන්සේ මුහඳුණ අද හරිම ප‍්‍රසන්නයි. ඔබ වහන්සේ කුමන විහරණයකින් ද අද වාසය කළේය කියලා. එවිට සාරිපුත්ත උත්තමයන් පිළිතුරු දෙනවා, ආනන්ද මම අද මෛතී‍්‍ර විහරණයෙන් ගත කළාය කියලා. අතීතයේ වැඩ සිටිය රහතන් වහන්සේලා දෙතිස්කුණපය වඩමින් ධාතු මනසිකාරය වඩමින් අට්ඨික සංඥාව වඩමින් මරණානුස්සතිය ආදී වූ විවිධ විදර්ශනාමය විහරණයන් වඩමින් විවේකීව වාසය කළ බව ධර්මයේ සඳහන් වෙනවා.

පිංවත් ඔබ සිතන්නකෝ, යම් රහතන් වහන්සේ නමක් අද දවසේ අට්ඨික සංඥාව වඩමින් ජීවත් වුණාය කියලා. එම අට්ඨික සංඥාව වඩන රහතන් වහන්සේ ස්තී‍්‍ර හෝ පුරුෂ රූපයක් දැක්කොත් උන්වහන්සේ එම රූපය දකින්නේ ඇටසැකිල්ලක් වශයෙන්මය. හෙට දවසේ එම රහතන් වහන්සේ මරණානුස්සති විහරණයෙන් ගත කළොත් එම රහතන් වහන්සේ ස්තී‍්‍ර හෝ පුරුෂ රූපය දකින්නේ මළ කදක් ලෙසින්මය.

එම රහතන් වහන්සේම අනිද්දා දවසේ මෛති‍්‍ර විහරණයෙන් ගත කළොත් එදාට එම රහතන් වහන්සේ ස්තී‍්‍ර හෝ පුරුෂ රූපය දකින්නේ විදර්ශනාමය සුවපත් වේවා යැයි දකින අර්ථයෙන්මය. රහතන් වහන්සේ නමක් අවබෝධ කරන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මතාවයන්ගේ අනිත්‍ය භාවයයි. එම උත්තරීතර අවබෝධයත් සමගම එම රහතන් වහන්සේ උපාදානය නිරෝධය කළ පංචස්කන්ධයක් පමණක් තාවකාලිකව නඩත්තු කරනවා. දැන් උන්වහන්සේට ඉතිරිව තිබෙන්නේ තමන් අවබෝධ කළ පංචඋපාදානස්කන්ධ නුවණින් සිහිකරමින් ජීවත් වීම යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

මුල් අදියරේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බතපරාමාසයත් මුල් වටයේ සිඳ දමා, කාම, රාග පටිඝයන් දෙවැනි වටයේදී නිරෝධය කොට ඉන් ඉක්බිති අවිද්‍යාව නිරෝධය කරන රහතන් වහන්සේලාගේ ජීවිත, අපේ ජීවිත ඉදිරියේ බලාපොරොත්තුවක් නොව මාර්ගයක් කොට ගනිමු.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ලෝකයේ සත්ත්ව වාසයන් තිබෙනවා. ඒවා සදාකාලිකවම අඳුරෙන් වැසිලයි තිබෙන්නේ. සත්ත්වයන්, අමනුෂ්‍යයන් කෝටි ගණන් මේ අඳුරු ලෝකවල ජීවත් වුණත් එම සත්ත්වයන් කවදාකවත් එකිනෙකා රූපයෙන් දකින්නේ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කොටගන්න මොහොතේ එක නිමේෂයක් මේ අඳුරු ලෝකයන් ආලෝකවත් වෙනවා. මේ කෙටි ආලෝක තත්ත්වයේදී තමයි මේ අඳුරේම ජීවත්වෙන සත්ත්වයෝ දකින්නේ තමන් වගේම තවත් මහා සත්ත්ව ප‍්‍රජාවක් මේ ගණාන්ධකාරයේ ජීවත් වෙනවාය කියලා. එහෙම දකිද්දිම ආයෙමත් ඒ ආලෝකය අවුරුදු ලක්‍ෂ ගණනකට අතුරුදන් වෙලා යනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

පිංවත් ඔබ අඳුරට කැමැති වුණොත් අඳුරේ සිදුකරන රැකියාවන්ට කැමැති වුණොත් පරිසරය අලෝකවත් කරන විදුලි බුබුළු බිඳ දැම්මොත් කළුවර කෙරෙහි කැමැත්ත හේතුවෙන් සකස්වෙන උපාදාන පච්චයා භවය නමැති ධර්මතාව හේතුවෙන් මෙවැනි ගණාන්ධකාර සත්ත්ව වාසස්ථානවල ඉපදෙන්නට පුළුවන්. හිරු එළියට, වැස්සට, පින්නට, සීතලට කැමැති පිංවතුන් කොච්චර නම් සිටිනවාද…? කෘෂිකර්මාන්තයේ, ධීවර කර්මාන්තයේ යෙදෙන පිංවතුන්ලා ඉහත ධර්මතාවන්ට තෘෂ්ණාවෙන් බැඳිලයි ජීවත් වෙන්නේ. තෘෂ්ණාව සකස් වුණ තැන ධර්මානුකූලව සකස්වෙන උපාදාන පච්චයා භවය කියන ධර්මතාව තුළ අපි ඉරට, වැස්සට, පින්නට ශීතලට, සුළඟට අධිගෘහිත දෙවියෙක් වූ දිව්‍යාංගනාවක් වෙලා ඉපදෙන්නට පුළුවන්. මහ සාගරය තෘෂ්ණාවෙන් උපාදානය කොටගත් පිංවතා මහ මුහඳුදේ අසුරයෙක් වෙලා උපදිනවා වගේ නුවරඑළියේ ශීතල විඳින්න කැමැති පිංවතා ශීතලට අධිගෘහිත දෙවියෙක් වෙලා උපදින්න පුළුවන්.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා හරක් රංචුව බලන ගොපලූ දරුවා තම හරක් රංචුව රූපයෙන් හඳුනනවාය කියලා. රූපයෙන් හඳුනනවාය කියන්නේ මේ රත්ති, මේ හඳයා, මේ සුද්දි, මේ ආකාරයට ගොපලූ දරුවා තම රංචුවේ හරකුන් රූපයෙන් හඳුනනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අවබෝධයෙන් ගමන් කරන ආර්ය ශ‍්‍රාවකයා තමාගේ ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයනුත් ධර්මානුකූලව හඳුනාගත යුතුයි කියලා. රූපය ධර්මානුකූලව හඳුනා නොගත්තොත් පිංවත් ඔබ රූපයන්ට තෘෂ්ණාවෙන් බැඳී රූපයන් මගේ කොටගෙන රූපය නැවත රූපයකට බැසගැනීම උදෙසාම ශක්තිමත් කොට ගන්නවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ගොපලූ දරුවා තම හරක් රංචුව රූපයෙන් හඳුනාගන්නවා වගේ ඔබගේ ඵස්සයට හේතුවන ආධ්‍යාත්මික සහ බාහිර රූපයන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතූන් වශයෙන් හඳුනාගත යුතුයි කියලා. පිංවත් ඔබ අවංකවම ඔබගේ රූපය සහ බාහිර රූපයන් මේ පඨවිය, මේ ආපෝ ධාතුව, මේ තේජෝ ධාතුව, මේ වායෝ ධාතුව වශයෙන් හඳුනනවාද, එසේත් නැතිනම් මේ රූපය ලස්සනයි, මේ රූපය කැතයි, මේ රූපය මගේමයි, මේ රූපය මගේ ආත්මයමයි, මේ ආදී වශයෙන් රූපය වැරදි අර්ථයන්ගෙන් හඳුනාගන්නවාද.

ගොපලූ දරුවා තම රංචුවේ හරකුන් රූපයෙන් නිවැරදිව හඳුනා නොගත්තොත් ඔහුටද ගව රංචුවේ හරකුන් මඟහැරී යනවා. එය තමන්ටත් ගව රංචුවටත් විනාශය පිණිසමයි හේතුවෙන්නේ. පිංවත් ඔබ මගේ කරගෙන පාලනය කරන ඔබේ රූපය සහ බාහිර රූපයන් සතර මහා ධාතුන් හැටියට හඳුනා නොගත්තොත් පිංවත් ඔබට කවදාකවත් මේ රූපය රූපයේ නිරෝධය උදෙසා යොමුකරගන්න බැරි වෙනවා. අපි දක්‍ෂවිය යුතුයි විඤ්ඤාණ පච්චයා නාමරූප නමැති ධර්මතාව හේතුවෙන් අපිට ලැබුණු මේ පඨවි ධාතුව පඨවියේ නිරෝධය උදෙසා යොමුකරගන්න. ආපෝ, තේජෝ, වායෝ ධාතුන්ගේ නිරෝධය උදෙසා යොමුකරගන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්ත්වයා කිළිටි කරන සත්ත්වයාගේ පුනර්භවය නැවත නැවත ඇතිකරන ජරා, ව්‍යාධි, මරණ, දුක උපද්දවන, කාම යෝගයක් තිබෙනවාය කියලා. මේ කාම යෝගය සකස් වෙන්නේ සතර මහා ධාතුවෙන් සැදුණාවූ සලායතනයන්ගේ ඵස්සයෙන් සකස්වෙන්නා වූ කාමයන්ගේ ආශ්වාදය ආදීනවය සහ නිස්සරණය තතු සේ නොදැැනීමෙන්මයි. කාමයන්ගේ ඉපදීම, කාමයන්ගේ බිඳීම, කාමයන්ගේ සැප සහ දුක හේතුවෙන් කාමයන් නිසාම තෘෂ්ණාව උපදිනවා. කාමයන් කෙරෙහි තෘෂ්ණාව ඉපදුණ තැන අපි රූපය දකින්නේ සතර මහා ධාතුන් හැටියට නොවේ.

රූපය මමය, රූපය මගේය, රූපය මගේ ආත්මයයි වැනි දෘෂ්ටි යෝගයන් තුළ බැසගෙන අපි ජීවත්වෙනවා. දෘෂ්ටින්ගේ ඉපදීම, බිඳීම, දෘෂ්ටීන්ගේ සැප සහ දුක් නොදැනීම නිසාම වැරදි දෘෂ්ටීන් කෙරෙහි තෘෂ්ණාව ශක්තිමත් වෙනවා. කාමයන්ගේ ආශ්වාදය, ආදීනවය නිස්සරණය කෙරෙහි වැරදි දෘෂ්ටි තාෂ්ණාවන් ශක්තිමත් වෙද්දි අපි තුළ අවිද්‍යා යෝගයන් හොඳින් පෝෂණය වෙනවා. බුදුරජාණන් වහන්සේ අවිද්‍යා යෝගය වශයෙන් දේශනා කරන්නේ යම් පිංවතෙක් ඵස්සයේ ඉපදීම, බිඳීම, දුක සහ සැප ගැන තතු සේ නොදත් ද ඔහුද සතර මහා ධාතුවෙන් සැදුණ ආධ්‍යාත්මික සහ බාහිර රූපයන්ට බැඳී යනවා. රූපයට බැඳී ගිය තැන ඵස්සයේ යම් අවිද්‍යාවක් තිබේ ද ඒ අවිද්‍යාව සැප, දුක්, උපේක්‍ෂා වශයෙන් උපත ලබනවා.

ඵස්සයේ අවිද්‍යාව තුළින් උපදින සැප, දුක්, උපේක්‍ෂා, ධර්මයන් අපිව යොමුකරන්නේ භව යෝගයටමයි. කාම භවය, රූප භවය, අරූපභවය යන භවාත‍්‍රයේ ඉපදීම, බිඳීම, දුක සහ සැප නුවණින් නොදැනීම නිසාම කාම යෝගයන්ගේ දෘෂ්ටි යෝගයන්ගේ අවිද්‍යා යෝගයන්ගේ ශක්තියෙන් අපි භව තෘෂ්ණාවම සත්ත්වයාගේ කිළිටි වීම පිණිස දුක උපද්දවා ගැනීම පිණිස රැස්කොට ගන්නවා.

පසුගිය දිනක භික්ෂුව මුණගැසෙන්න පැමිණි ධනවත් ව්‍යාපාරික මහත්මයෙක් විමසුවා ස්වාමින්වහන්සේ මේසා විශාල ලෝකයක් අපි නිරෝධය කරන්නේ කොහොමද කියලා. ලෝකය ඔය කියන තරම් විශාල කරලා තිබෙන්නේ අපේ තෘෂ්ණාව විසින්, තෘෂ්ණාව ලෝකය යොදුන් ලක්‍ෂ ගණනින් විශාල කරනවා. රහතන්වහන්සේගේ ලෝකය තමා තුළම සකස්වෙන ආධ්‍යාත්මික රූපයන්, බාහිර රූපයන් පටිච්චසමුප්පන්න තෘෂ්ණාව නිරෝධය කළා වූ විඤ්ඤාණය එකතුවෙන් සකස්වෙන ඵස්සය ළඟ නැවතිලයි තිබෙන්නේ. රහතන්වහන්සේගේ මුල් සුන්කළ තෘෂ්ණාව, ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන්, නිරෝධය වූ වේදනාව රහතන්වහන්සේම ඵස්සයේ විවේකය පමණක්මයි ලබලා දෙන්නේ. තෘෂ්ණාවේ ඉපදීමෙන් සකස්වෙන ඵස්සයේ අවිවේකය, රූපය සතර මහා ධාතුවක් හැටියට හඳුනා නොගැනීමේ ආදීනවයමයි.

පිංවත් ඔබ මොහොතක් දෑස් පියාගෙන මේ ආධ්‍යාත්මික රූපය සතරමහා ධාතුවක් හැටියට දකින්න. පඨවි ධාතුව ශරීරයේ තද ස්වභාවය ඔබ ආදරය කරන ඔබ සිපගන්නා සම්, මස්, ඇට, නහර, දත්, නිය, කෙස්, ලොම් මේ පඨවි ධාතුවේ යථා ස්වභාවය නුවණින් දකින්න. නරක්වෙන, කුණුවෙන, ගඳගහන, නිලමැස්සන්ට, පණුවන්ට, බල්ලන්ට, කබරගොයින්ට අවසානයේ අයිතිවෙන මේ පඨවි ධාතුව බාහිර සතරමහා ධාතුවටම මුහඳුවෙනවා නුවණින් දකින්න. ඔබගේ ආධ්‍යාත්මික පඨවි ධාතුවත්, ඔබට අරමුණු වෙන බාහිර පඨවි ධාතුවත් එකම තද ස්වභාවයේම බව නුවණින් දකින්න.

වරක් දෙවියෙක් බුදුරජාණන්වහන්සේගෙන් ප‍්‍රශ්නයක් විමසනවා, භාග්‍යවතුන් වහන්ස මේ සත්ත්වයා ඇතුළතත් අවුල් මේ සත්ත්වයා පිටතත් අවුල් මේ සත්ත්වයා අවුලෙන් හෙම්බත්වෙලයි ජීවත් වෙන්නේ කියලා. සත්ත්වයා තුළ අවුල් ඇතිවෙන්නේ ආධ්‍යාත්මික සහ බාහිර රූපයන් සතරමහාධාතුවක් වශයෙන් නොදැනීම මුල් කොටගෙනමයි. සතරමහා ධාතුවේ ආදීනවය ගැන නොසිතා සතරමහා ධාතුවේ ආශ්වාදයට බැඳීම නිසාමයි. නුවණ ඇති, කෙළෙස් තවන වීර්යය ඇති පිංවතා ආර්ය අෂ්ටාංගික මාර්ගය ප‍්‍රගුණ කරමින් ඉහත අවුල නිරවුල් කරගන්න බව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

උතුම් සම්මා සමාධිමත් සිතකින් සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දැකීම තුළින්මයි මේ අවුල නිරවුල් කොටගැනීමේ පළමු පියවර වෙන්නේ. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මහණෙනි, ලෝකයේ කෙළවරට නොපැමිණ දුක කෙළවර කිරීමක් ගැන මම නොකියමි. මේ බඹයක් පමණ සිරුරෙහිම ලෝකයේ හටගැනීමත් ලෝකයේ නිරෝධයත් ලෝකය නිරෝධය කිරීමේ ප‍්‍රතිපදාවත් පණවමි කියලා. ලෝකයේ හටගැනීම කියන අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාවන් ලෝකයේ නිරෝධය කියන අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ කියන ධර්මතාවන් අවිද්‍යා ලෝකය නිරෝධය කරන චතුරාර්ය සත්‍ය ධර්මයනුත් තමා තුළින්මයි තමන් මතුකොටගත යුත්තේ.

පිංවත් ඔබ දෑස් පියාගෙන මොහොතක් වර්තමාන පංචඋපාදානස්කන්ධයට සිත යොමුකරන්න. පිංවත් ඔබ දක්‍ෂ නම් මේ වර්තමාන පංචඋපාදානස්කන්ධය තුළින් ලෝකයත් ලෝකයේ හටගැනීමත් ලෝකයේ නිරෝධයත් කියන කාරණා තුනම ඔබට මතුකොට දකින්න පුළුවන්. ඒ දක්‍ෂභාව ඔබට ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව ඔබ තුළින් ඔබගේ ජීවිතය දකින්න පුහුණු වුණොත් පමණක්මයි. පිංවත් ඔබගේ ජීවිතය තුළින් චතුරාර්ය සත්‍ය ධර්මයන් මතුකොට ගැනීමට ඔබ දක්‍ෂ නම් මේ බඹයක් සහිත ශරීරය ඔබට පංචඋපාදානස්කන්ධ ලෝකය සංවර්ධනය කොටගැනීමේ මෙවලමක් පමණක්මය.

ඔබ බඹයක් පමණ වූ මේ රූපය උපයෝගී කොටගන්නේ කාලා, බීලා, විනෝදවෙලා, නටලා, සිංදු කියලා, රූපය අඩනිරුවත් කොට පෙන්වලා සම්මුති ලෝකයේ වහලෙක් වීම උදෙසාමය. කුණුවෙන, නරක්වෙන, මැරෙන පඨවි ධාතුව ආශ්වාදයක් කොටගත් අනුවණ තැනැත්තා පස්, වතුර, වාතය, උෂ්ණයට බැඳී නැවතී නැවතත් විඤ්ඤාණ පච්චයා නාමරූප ධර්මතාව පටිච්චසමුප්පන්නව උපද්දවා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙලොව හෝ පරලොව හෝ පොළොවෙහි හෝ ආකාශයේ හෝ යම් පැහැපත් වර්ණ ඇති රූපයෝ වෙත් ද මාරයා ඒ සියලූ රූපයන් වර්ණනා කරනවා. ආශ්වාදයේ ඕජාවෙන් සුන්දරකොට පෙන්වනවා නමුත් ගෞරවනීය පිංවත මාරයාගේ එම රූපයන්ගේ වර්ණනාව හරියට මසුන් ඇල්ලීමට ඇටවූ ඇමක් වගේමයි කියලා. පිංවත් ඔබ මොහොතක් ඔබේ හෘදසාක්‍ෂියට තට්ටු කරලා අහන්නකෝ මේ වර්තමානයේදිත් ඔබ මේ ධර්ම සටහන කෙරෙහි තෘෂ්ණාවෙන් ඇලීමක් හෝ ගැටීමක් ඇතිකොටගෙන මාරයාගේ ඇම ගිලලා නේද සිටින්නේ.

පිංවත් ඔබ මොහොතක්වත් සිතුවද මේ සටහන ලියූ භික්ෂුවත් මේ සටහන කියවන ඔබත් ඔබ කියවන මේ පත්තර පිටුවත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධර්මයන්ගෙන් සැදුණ සතරමහා ධාතුවක්ය කියලා. ඒ ආධ්‍යාත්මික සහ බාහිර සතරමහා ධාතූන් අනිත්‍යයි කියලා.

පිංවත් ඔබ මොහොතක්වත් සිතුවද ඔබ මේ සටහන කියවන මොහොතේ ඔබ තුළ සකස්වෙන ධර්මය කෙරෙහි සැප වේදනාව අනිත්‍යයි කියලා. මේ ඔබ අත්විඳින සැපවේදනාව සකස්වුණේ ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කරපු නිසාය කියලා. ඵස්සය සකස් වුණේ ආධ්‍යාත්මික රූපයන් බාහිර රූපය වෙන පත්තර පිටුවත්, විඤ්ඤාණයේත්, එකතුව නිසාය කියලා. පිංවත් ඔබ මොහොතක්වත් සිතුවාද මේ පත්තර පිටුව අතට ගත් මොහොතේ පටන් ඔබ තුළ සකස්වුණ සෑම සිතිවිල්ලක්ම අනිත්‍ය වී ගියාය කියලා. ආශ්වාදයේ අසිහිය නිසාම සිතුවිලි අතරින්ම චිත්තානුපස්සනාව පෑලදොරෙන් පලා යනවා.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ

උපුටාගැනීම දිවයින ඉරිදා සංග්‍රහය.