අද අසිරිමත් වෙසක් පසළොස්වක පොහොය දවස, මේ ලෝක ධාතුවට ශ්‍රේෂ්ඨතම උත්තමයෙක් ඉපදුණු දවස, බියෙන් තැතිගත් සත්වයන්ට මිථ්‍යාදෘෂ්ටියේ දුකෙන් තැතිගත් සත්ත්වයන්ට බියෙන් මිදෙන්නට දුකෙන් මිදෙන්නට උතුම් ධර්ම මාර්ගය දේශනා කොට වදාළ දවස. මේ ලෝකධාතුවට ශ්‍රේෂ්ඨම උත්තමයෙක් බිහිකරන්නට හේතු වූ සියලූම සංස්කාර ධර්මයන් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා තම පිරිනිවීමත් උතුම් මංගල්‍යයක් බවටම පත්කොටගත් දවස.
ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ උතුම් තෙමඟුල සිදුවූ මෙවන් උත්තරීතර දවසක් අද ගෙවී ගියේ බහුතරයක් ජනතාවගේ සිත්සතන් බිය සහ සැකය නමැති පංචනීවරණ ධර්මයන් තුළ දෝලනය කරලා. මෙවන් උතුම් වෙසක් මංගල්‍යයක් උදා වූ මේ අසිරිමත් දවස් අපේ ජීවිත පංචනීවරණයන්ට අයිති වුණේ ඇයි කියලා ධර්මානුකූලව නුවණින් මෙනෙහි නොකරම මේ වෙසක් සතිය ගෙවී ගියොත් එය අපි හැමෝගේම අවාසනාවක්ම වේවි.
බුදුරජාණන්වහන්සේ අද වැනි දිනක දේශනා කරන තෘෂ්ණාව හේතුවෙන් සකස්වෙන පංචඋපාදානස්කන්ධ ලෝකය නිරතුරුවම කැඞී බිඳී විසිරී යනවාය කියලා. බුදුරජාණන්වහන්සේගේ උපාදානය නිරෝධය කළා ආධ්‍යාත්මික රූපස්කන්ධය අද වැනි දිනයක බාහිර සතරමහා ධාතුවට කැඞී බිඳී විසිරී ගියා.
මෙය සටහන් තබන භික්ෂුව දෑස් දෙක පියාගෙන මේ නිමේෂයෙදිත් භික්ෂුව දෙපා තබාගෙන තිබෙන මහපොළොව නමැති සතර මහා ධාතුව තුළින් බුදුරජාණන්වහන්සේගේ පිරිනිවීගිය රූපස්කන්ධයත්, බාහිර සතරමහා ධාතුවට මුහු වූ පඨවි ධාතුවත් එකම ස්වභාවයේ පඨවි ධාතුවක්ය කියලා දකිනවා. සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියන අර්ථයම පූර්වාදර්ශී ධර්මයක්ම එකතුකරලා බුදුරජාණන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගේ පෞරුෂත්වයෙන් හැඩගැන්වී තිබුණු බුදුරජාණන්වහන්සේගේ ආධ්‍යාත්මික පඨවි ධාතුව මේ නිමේෂයේදිත් භික්ෂුව දෙපා තබාගෙන සිටින මහපොළොවේ පස තුළින් මතුකොට දකිනවා.
භික්ෂුව වැඩසිටින කුටියට යාබදව තිබෙන කැලයේ සතාසිවුපාවා සාපිපාසාව සංසිඳුවා ගන්න ජලයෙන් පිරුණ කුඩා වැවේ ජලයත් බුදුරජාණන්වහන්සේගේ දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණයෙන් බබළන රූපකායේ ආධ්‍යාත්මික ආපෝ ධාතුවත්, එකම ස්වභාවයේ ආපෝ ධාතුවක්ය කියලා. භික්ෂුව මේ නිමේෂයේදිත් නුවණින් දකිනවා.
මේ සුන්දර රාත‍්‍රියේ භික්ෂුවගේ සිරුරේ දැවටෙන කැලයේ ගහකොළ සිපගෙන හමා එන සුළං රැලි තුළින් බුදුරජාණන්වහන්සේගේ ආධ්‍යාත්මික වායෝ ධාතුවේ ස්වභාවයත් මේ මොහොතේ භික්ෂුවගේ සිරුරේ දැවටෙන වායෝ ධාතුවේ ස්වභාවයත් එකක්ම බව භික්ෂුව නුවණින් දකිනවා.
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සෑම පසළොස්වක පොහොය දිනයකම ශක‍්‍ර දෙවියන්ගේ ප‍්‍රධානත්වයෙන් සතරවරම් දෙවියන්ගේ ආරක්‍ෂාවෙන් තව්තිසාවේ සුදම් සභාව රැස්වෙනවාය කියලා. පසළොස්වක සඳ සේ ප‍්‍රභාෂ්වර සූර්ය වර්චසි කියන දිව්‍යාංගනාව තම පිරිවර දිව්‍ය නාට්‍යාංගනාවන් සමඟ සුදම් සභාවේ දෙවිවරුන් දිව්‍ය නර්තනයෙන් ආධ්‍යාත්මිකව සතුටු කරනවාය කියලා සූත‍්‍රගත ධර්මයේ සඳහන් වෙනවා.
ආලෝකවත් පසළොස්වක පොහොය සඳත් සුන්දර දිව්‍යාංගනාවනුත් අතර මොනතරම් සමීප සම්බන්ධතාවක් තිබෙනවාද. මේ සටහන කියවන පිංවත් ඔබට සිතෙන්නේ නැතිද අනේ මටත් එවැනි දිව්‍යාංගනාවක් වෙන්න ඇත්නම් කියලා. එසේත් නැතිනම් අනේ මටත් සඳසේ ප‍්‍රභාෂ්වරව කැලූම් දෙන රන් තැඹිලි පැහැ දිව්‍යාංගනාවක් අයිතිකර ගන්න ඇත්නම් කියලා. මේ මොහොතේ භික්ෂුවගේ මුවගට පුංචි සිනහවක් නැෙඟනවා.
රන් තැඹිලි පැහැයෙන් බබළන මසින් පිරුණු නව යොවුන් වෙසක් පසළොස්වක පොහොය සඳවතිය දෙස බලනකොට බුදුරජාණන්වහන්සේ අපිට අද වැනි දිනයක මහා කරුණාවෙන් දේශනා කරනවා, මහණෙනි ඔබ ඔය දකින්නේ රූපයේ ආශ්වාදයයි කියලා. ඔබ ඔය මනසින් විඳින්නේ කාමයේ ආශ්වාදයයි කියලා.
සුන්දර නව යොවුන් වෙසක් සඳවතිය ඔබ වෙසක් පසළොස්වක පොහොය නිමිත්තෙන් මේ රාත‍්‍රියේ ආලෝකවත්ව බැබළුණත් අපි අසිහියෙන් ඇය දෙස බැලූවොත් ආශ්වාදයේ කෙටි මිරිඟුවටමයි බැඳී යන්නේ.
සියලූම සංස්කාරයෝ අනිත්‍ය බව ධර්මානුකූල සත්‍යයක්. නමුත් මේ සත්‍යය පිළිගන්න නම් අනිවාර්යයෙන්ම උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ සම්මා සමාධිමත් සිතක් තිබෙන්නටම අවශ්‍යයි. කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය දුර්වල වෙච්ච ලෝකයක අපි කෙසේ නම් සම්මා සමාධියක් සමාජය තුළින් බලාපොරොත්තු වෙන්නද?
අපි සමාජයට මොනතරම් ධර්මය දේශනා කළත් ධර්මය සටහන් තැබුවත් පංචනීවරණ විසින් සමාජය ග‍්‍රහණය කොටගෙන තිබෙන්නේ හරිම අවාසනාවන්ත ලෙසින්. මේ අවාසනාව, අහිංසක පාසල් දරුවාගේ ජීවිත පවා බරපතළ ලෙස ග‍්‍රහණය කොටගෙන තිබෙනවා. භික්ෂුවට පසුගිය දිනක මුණගැසුණා වයස අවුරුදු පහක පමණ දරුවෙක් සිටින තරුණ තාත්තා කෙනෙක්. බලාපොරොත්තු කඩවුණ ඉරියව් දක්වමින් ප‍්‍රකාශ කළේ ස්වාමින්වහන්ස අපි නම් වර්තමානයේ තිබෙන ආහාර රටාවත් සමඟ වස විෂ ශරීරගත වෙලාම තව ටික දවසකින් ලෙඩ වෙලා මැරිලා යාවි ඒත් මේ මුකුත්ම නොතේරෙන පුංචි දරුවන්ට අනාගතයේ කුමකින් කුමක් වේවිද කියලා.
අපේ මේ දරුවන් අනාගතයේදී මොන තරම් වියරු, විකෘති සමාජයකට ද පියවර තබන්නේ කියලා. මේ රටේ ජීවත්වෙන සෑම අම්මා කෙනෙක්ම සෑම තාත්තා කෙනෙක්ම ඉදිරියේ සමාජගතවෙලා තිබෙන තම දරුවන් කෙරෙහි අනාගත බිය, වර්තමානයේ පමණක් නොවේ අතීතයේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේත් රාහුල පුතණුවන් තුළින් මතුකොට දැක්කා. ඒ නිසාමයි, රාහුල පුංචි පුතණුවන් තම පියාගෙන් දායාද ඉල්ලමින් බුදුරජාණන්වහන්සේ පසුපසින් පැමිණෙද්දි තම පුතණුවන්ට දුකෙන් මිදීම උදෙසා ලබාදිය හැකි ශ්‍රේෂ්ඨතම දායාදය වන උතුම් පැවිදිභාවය ලබාදෙන්නේ.
නමුත් වර්තමානයේ අපේම අකුසලයේ අවාසනාව කියන්නේ දරුවෙක් පැවිදිකොට විනයානුකූලව ආරක්‍ෂාකොට ගන්නවාය කියන කාරණයත් මහා අභියෝගයක් බවටම පත් වී තිබෙනවා.
සංස්කාරයන්ගේ අනිත්‍යභාවය හේතුවෙන් සත්වයාගේ දැනීම් හෙවත් විඤ්ඤාණයත් නිරතුරුවම ධර්මය සහ අධර්මය දෙක අතරම දෝලනය වෙන නිසාම බුදුරජාණන්වහන්සේ අපට දේශනා කරනවා අප‍්‍රමාදීභාවයෙන් අප්රමාදයේ වියරුව සහ විකෘතිය පරාජය කොට දමන්නය කියලා.
රාහුල ස්වාමින්වහන්සේ වයස අවුරුදු විස්ස සම්පූර්ණ වී උතුම් උපසම්පදා ශීලයට පත්වුණත් එතෙක් උන්වහන්සේට උතුම් රහත්ඵල අවබෝධය ලබාගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. රාහුල ස්වාමින්වහන්සේ උතුම් උපසම්පදාව ලබන මොහොතෙත් ප‍්‍රමාදීභාවය තුළ ජීවත් වුණත් බුදුරජාණන්වහන්සේගේ අප‍්‍රමාදීභාවය හේතුවෙන්ම රාහුල කුමරුන්ට වයස අවුරුදු හයේදී පමණ උතුම් පැවිදිභාවය ලබාදෙනවා. ශ්‍රේෂ්ඨ තාත්තා කෙනෙක්ගේ අප‍්‍රමාදීභාවය තම ලෙයින් උපන් පුතු සදහටම දුකෙන් නිදහස් කළා.
වෙසක් පුරපසළොස්වක සඳවතියගේ ප‍්‍රභාෂ්වර ආලෝකයෙන් අලෝකවත් වී තිබූ කැලෑ පරිසරය එක පාරටම අඳුරුවෙලා ගියා, භික්ෂුව ආකාශය දිහා බලද්දි මහා කළු වලාවක් ඇවිල්ලා. වෙසක් පසළොස්වක සඳවතිය වසාගෙන. මොන තරම් සුන්දර ධර්මයක් ද භික්ෂුව මේ කළු වලාකුළ තුළින් දකින්නේ. සෑම සුන්දරත්වයක් පසුපසම අසුන්දරත්වය සැඟවිලා තිබෙනවා.
පිංවත් ඔබ දිවුර දිවුරා පොරොන්දු වෙන, නොකැළැල් නොඉඳුල් ආදරය ජාති ජාතිත් ඔබ මගේමයි කියන ආදරය මොන තරම් නම් මිරිඟුවක්ද?
පිංවත් ඔබේ පෙම්වතාමයි, ඔබේ පෙම්වතියමයි, ඔබේ බිරිඳමයි, ඔබේ ස්වාමිපුරුෂයාමයි, ඔබේ ඊළඟ පට්ච්චසමුප්පන්න ජීවිතයේදී ඔබට තවත් බිරිඳක්, ස්වාමිපුරුෂයෙක් ලබන්නට අවශ්‍ය සංස්කාර මේ ජීවිතයේදී සකස්කොට දෙන්නේ. වෙසක් සඳවතිය වසාගත් අසුන්දර කළු වලාව මේ මොහොතේ පහව යන්නේ ආදරයේ මිරිඟුව ගැන පුංචි අදහසක් පිංවත් ඔබ වෙනුවෙන් සටහන් තබලා.
අතීත මාරාවේශය සමාජගත වුණේ දේශපාලන පිංවතුන්ලාගේ අසීමිත බලතණ්හාවේ තෘෂ්ණාවත් ඊටම අත්වැළක් වූ පිංවත් ජනතාව තමන් උපන් රට ගැන නොසිතා බඩ ගැන සහ සාක්කුව ගැන සිතීමේ අනුවණභාවයන් නිසාමය.
වර්තමානයේ සමාජගත වී ඇති දේශපාලන මාරාවේශයෙන් මිදීමට පිංවත් ජනතාව අනාගතයේදී තවත් දේශපාලන මාරාවේශයකට නම් රැවටෙන්න එපා. දේශපාලනයේ ඇත්ත වෙනුවට තවත් දේශපාලන අනුකරණයක් නැවත සමාජගත වුණොත් නැවතත් රටේ බොරුව රජවෙනවාමයි.
අද වැනි අසිරිමත් වෙසක් දිනයක බුදුරජාණන්වහන්සේ අප කෙරෙහි මහා කරුණාවෙන් දේශනාකොට තිබෙනවා, තෘෂ්ණාවෙන් උපදින මාරාවේශයක් පරාජය කළ හැකි එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක්මය කියලා. පිංවත් ඔබ අද දවසේ චිත්තයක් ඇතිකොටගන්න අධර්මය ධර්මයෙන් ජයගන්නවාය කියලා. ජාතික සමගියේ අත්වැල මෛත‍්‍රියෙන්ම ශක්තිමත්කොට ගන්නවා කියලා.
පූජ්‍ය රාජගිරියේ අරියඥාන හිමි
(උපුටාගැනීම : දිවයින ලිපිමාලාව 2019/06/02)
____________________________________
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.