විනාශයේ කොටස්කරුවන් හඳුනා ගන්න.

පිංවත් ඔබ ජීවත්වෙන සමාජයේ, කුසලයට සහ අකුසලයට අදාළව දිගහැරෙන හේතුඵල ධර්මයන්, ධර්මානුකූලව, නුවණින් නොදැකීම නිසාම, අසිහියෙන් හම්බුකරනවා. අසිහියෙන් බොරු කියනවා. අසිහියෙන් තමන් උපන් රට, ජාතිය, ආගම, පාවා දෙනවා, අසිහියෙන් අනාගත බලය උදෙසා සිහින මාලිගා ඉදිකොට ගන්නවා. සමාජය තුළ ජීවත්වෙන පාසල් දැරියන්ව, තරුණියන්ව, වැඩිහිටි කාන්තාවන්ව අසිහියෙන්ම කාමච්ඡුන්දයන් දෙසට යොමු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සමාජයේ සදාචාරාත්මක දියුණුව උදෙසා, සමාජය තුළ ජීවත් වෙන ළදැරියව, තරුණියව, වැඩිහිටි කාන්තා පක්‍ෂය පෝෂණය කරන්න. ඒ අයගේ ආත්මගරුත්වය ආරක්‍ෂා කරන්නය කියලා.

සැපය නිත්‍ය වශයෙන් ගත්ත, වේදනාව නිත්‍ය වශයෙන් ගත්ත අනුවණ පිංවතා, බලයෙන්, ධනයෙන්, නිලයෙන් සිහින මාලිගා තනාගෙන ජීවත් වුණත් තම ජීවිතය ඉදිරියේ ඇති ජීවිත අනතුරු, ජීවිතයේ අනිත්‍යභාවය සහ මරණය ගැන, මොහොතක්වත් සිතන්නේ නැහැ. වර්තමාන සමාජය පාලනය කරන, අකුසලයෙන් උපන් ලැජ්ජා නැතිකමත්, අකුසලයට බිය නැති කමත්, මේ වන විට සමාජයට බරපතල විනාශයක් සිදුකොටදී තිබෙනවා. ආසියාවේ සුන්දරම බිම්කඩ වූ මේ උතුම් මාතෘභූමිය, විනාශකොට දැමීමේ සම්පූර්ණ වගකීම, ධර්මානුකූලව දැරිය යුත්තේ මේ රටේ පක්‍ෂ සහ විපක්‍ෂ දේශපාලනයයි. පිංවත් ඔබලා සියල්ලෝම, මේ විනාශයේ කොටස්කරුවෝය.

මේ රටේ කිසිම පක්‍ෂ සහ විපක්‍ෂ දේශපාලන මහත්මයෙක්, කටක් ඇරලා වචනයක් ප‍්‍රකාශ කරන්නේ නැහැ. මේ රටේ දේශපාලනඥයින් ලබන්නා වූ වරප‍්‍රසාදයන් වැඩිය කියලා. හැමෝම ප‍්‍රයෝගකාරීව උත්සාහ ගන්නේ, තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම සඳහා පමණක්මයි.

මිහිඳු මහෝත්තමයන් වහන්සේ, දේවානම්පියතිස්ස රජතුමා ඉදිරියේ සිංහනාදයක් කරනවා. මහරජ ඔබ රටේ, භාරකරුවා මිස, අයිතිකරුවා නොවේය කියලා. නමුත් වර්තමානයේ භාරකරුවන් අයිතිකාරයන් බවට පත්වෙලා. මිහිඳු මහෝත්තමයන් වහන්සේ කරන ලද ධර්මාවවාදයන්, විකෘතියක් බවටම පත්කොට තිබෙනවා. අකුසලයට ලැජ්ජා නැති කමත් බිය නැති වීමත් හේතුවෙන්, තමන් නිසා මෙවන් සද්ධර්මයේ අර්ථයන් සමාජගත වූ, මේ සුන්දර මාතෘභූමිය විනාශ කිරීමේ පාපය, එසේ මෙසේ පාපයක් නොවේ. අනාගත භව ගමනේ, කල්ප ගණන් සතර අපා දුක් විඳීමට උරුම පාපකර්මයන් වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලැජ්ජා නොකටයුතු තැන්හි යමෙක් ලැජ්ජා කෙරෙත්්ද? ලැජ්ජා කළ යුතු තැන්හි, යම් කෙනෙක් ලැජ්ජා නොකරයිද, එවැනි විපරිත වූ මනුෂ්‍යයෝ, අපායටම වැටෙනවාය කියලා.
ජනතාව විශ්වාසයෙන් පැවරූ වගකීම්, අගතිගාමී ලෙස, ආත්මාර්ථකාමී ලෙස, භුක්තිවිඳීමේ ගුණමකු භාවයන් කෙරෙහි, කරුණාකර ලැජ්ජාව බිය දෙක ඇතිකොට ගන්න. දැන දැන අසිහියෙන් තාවකාලික සැපයක් උදෙසා දීර්ඝකාලීන සතර අපා දුකට වැටෙන්න එපා. මේ රට පිංවත් ඔබලාගේ බූදලයක් නොවේ. පිංවත් ඔබලාට පැවරූ වගකීමක් පමණක් වෙයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කහවත් දරාගත්, සුදුවත් දරාගත්, ආත්මාර්ථකාමී, ගති ඇති කාය සංවරය, වචී සංවරය, මනෝ සංවරය, නැති, පවිටු පුද්ගලයෝ සමාජයේ ජීවත් වෙනවා. ඔවුන් තමන් අසිහියෙන් සිදු කරන පව් හේතුවෙන් නරකයෙහි උපදී කියලා.

වංචාකාරීව ජීවත් වෙන මෙවැනි පුද්ගලයෝ, රටවැසියා රවටා, යම් ධනයක් රැස්කොට ගනීද, එම ධනයෙන් යම් සැපයක් ලබයිද, යම් රසමසවුලක් අනුභව කරයිද, එම ආහාරයට වඩා, ගිනි ගුලියක් අනුභව කිරීම, උතුම් යැයි කියලා ධර්මයේ සඳහන් වෙනවා.

භික්ෂූන් වන අපගේ, ආහාර සොයාගැනීමේ චර්යාව, පිණ්ඩපාතයේ පිඬු සිඟා යෑමයි. මෙය අකුසලයෙන් උපන් යාචක පිංවතුන්ට අයත් චර්යාවක්. නමුත් භික්ෂූන් වන අපි, පිඬු සිඟා ගෙපිළිවලින් හැසිරෙන්නේ, රජුන්ගේ දඬුවමකට ලක්වීම නිසා නොවේ. සොරුන් විසින් නෙරපන ලද නිසා නොවේ. ගත් ණය ගෙවාගත නොහැකි නිසා නොවේ. කාටවත් බියට පත්වීම නිසා නොවේ. ජීවත්වීම උදෙසාද නොවේ. භික්ෂූන් වන අපි පිඬු සිඟා හැසිරෙන්නේ, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුකෙන් මිදී යනවාය කියන දුකේ කෙළවරට පැමිණීම සඳහා පමණක්මයි. ඒත් පිංවත් ඔබලා ඔය, ලැජ්ජාව සහ බයෙන් ප‍්‍රමාදභාවයට පත්වී කරන, නාමික ජනතා සේවය, තව තවත්, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් ගොඩ, සංවර්ධනය කොට ගැනීම උදෙසා පමණක්මය, කියලා ධර්මානුකූලව සටහන් තබනවා.

භික්ෂුව මේ සටහන අවසන් කරන මොහොතේ, දෑස් දෙක පියාගෙන, නුවණින් දකිනවා, අද දවසේ භික්ෂුව තුළ ලෝකය කුසලයෙන් පාලනය කරන, ලැජ්ජා බිය දෙක භික්ෂුව තුළ තිබුණද කියලා. දුශ්ශීලභාවය කෙරෙහි, සිව්පසය පරිහරණය කෙරෙහි, ලැජ්ජාව බය දෙක තිබුණද කියලා. මෙය සටහන් තබන භික්ෂුව ධර්මානුකූලව දන්නවා. ශ‍්‍රද්ධාවන්ත ගිහි පිංවතුන්ලාට බොරු කරලා මම වළඳන සෑම බත් කටක්ම, භික්ෂුවට ගිනි ගුලියක්ම වෙනවාය කියලා.

කරුණාකර, පක්‍ෂ විපක්‍ෂ දේශපාලන මාමේ නැන්දේ, ඔබලා තුළ ලෝකය පාලනය කරන, කුසල් ධර්මයන් දෙක වන ලැජ්ජාව සහ බය, වහ වහා ඇතිකොටගන්න, බුදුරජාණන් වහන්සේ සප්ත අපරිහානි ධර්මයන්ට අදාළව දේශපාලන නායකත්වයට අනුශාසනා කරනවා. රටේ ජීවත් වෙන ළදැරියට, පාසල් දැරියන්ට, තරුණියන්ට, වැඩිහිටි කාන්තාවන්ට, අවශ්‍ය සමාජ සුරක්‍ෂිතභාවය, ආත්මගරුත්වය, ශීලාචාර ධර්මයන් ආරක්‍ෂා කොටගෙන ජීවත්වීමට අවශ්‍ය පරිසරය රාජ්‍ය ප‍්‍රතිපත්තීන් ඔස්සේ ලබාදෙන්නය කියලා. නමුත් පාලක පිංවතුන්ලාගේ ප‍්‍රමාදීභාවයන් නිසා, වර්තමානයේ පාසල් පද්ධතියේ ගැහැනු දරුවන් පවා, කාමච්ඡුන්දයන්ට වේගයෙන් ඇදීයන ප‍්‍රවණතාවක් සමාජගත වෙලා තිබෙනවා. එය අහිංසක කාන්තා පක්‍ෂයේ වරදක් නොවේ. පාලක පිංවතුන්ගේ වගකීම් පැහැර හැරීමේ ඵලයයි.

පිංවත් කාන්තා පක්‍ෂය, හේතුඵල ධර්මයන්ට අදාළව, කාමයන්ගේ ආකර්ෂණයට යටත්, හේතූන් අටකින් සමන්විතවයි සිටින්නේ. එම හේතූන් අට ලිපියේ මුලින් සඳහන් කොට තිබෙනවා. කාන්තාව සතු ඉහත ආකර්ෂණීය ධර්මතාවන් නිසාම, සමාජය තුළ ලැජ්ජාව බිය සහිත විනයකාමී පරිපාලනයක් ඇතිකිරීම, රටේ භාරකරුවන්ගේ උත්තරීතර වගකීමයි. එය කළ හැක්කේ රටේ පක්‍ෂ, විපක්‍ෂ පාලක පිංවතුන්ලා, තමන් රටේ භාරකරුවන් මිස, අයිතිකරුවන් නොවේය යන ධර්මානුකූල යථාර්ථය නුවණින් තේරුම් ගත්තොත් පමණක්මය. පක්‍ෂ විපක්‍ෂ නායක පිංවතුන්ලා මේ යථාර්ථය තේරුම් නොගන්නවා නම්, දේශපාලනයෙන් තොර නායකයෙක් රටට නායකත්වය දීම, අත්‍යවශ්‍යම කාරණයකි.

අතිපූජනීය රාජගිරියේ අරියඥාණ හිමි

මෙම ලිපිය මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි පෙළින් උපුටා ගත්තකි.

සියළු දානයන් අතර ධර්ම දානය ම අග්‍ර වන්නේ ය. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ(සංයුත්ත නිකාය, දේවතා සංයුක්තය, ආදිත්ත වග්ගය, කිංදද සූත්‍රය). මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.