පායාසි නිරය.

එක්තරා භික්ෂුවක් උතුම් සමාධිය තුළින් පායාස නිරය අරමුණු කොට බලනවා. භික්ෂුවට දර්ශනය වෙන්නේ,පායාස නිරයේ සිටින නිරි සතුන් ඇටසැකිල්ලක් ලෙසයි. එලෙසයි පායාස නිරයේ පහළ වෙලා තිබෙන්නේ. ශරීරයේ මස නැහැ.

මනුෂ්‍ය ජීවිතයේ දී තම ශරීරයේ අඟපසඟ, මස නිත්‍ය වූ සැපයක්, සතුටක් හැටියට ලෝකයාට පෙන්වීම නිසා ම, තම අඟපසඟ ලෝකයාගේ කාමාස්වාදය උදෙසා යෙදවීම නිසා ම ශරීරයේ හැඩය, වර්ණය, රිද්මය තුළින් ලෝකයාව මුලාවට පත් කිරීම හේතුවෙන් ම පායාස නිරයේ නිරිසතුනට ශරීරයේ මස ලැබිලා නැහැ. ඇටසැකිල්ලක් හැටියටයි උපත ලබන්නේ. අතීත භවයන්හි කළ පින්කම් නිසා ම, ඔබට ලැබුණු ලස්සන, සුන්දර රූපය නිසා තමනුත් මෝහ මූලිකව කාමාස්වාදයන්ගෙන් මත් වී අන්‍යයන්ව ද මෝහයෙන් මුලා කිරීම නිසා ම පායාස නිරයේ නිරිසතුනට ශරීරයේ මස ලැබී නැහැ.

වර්තමාන සමාජයේ ටියුෂන් යන දරුවාගේ පටන් වැඩිහිටි අය දක්වා ම ශරීර මාංශය හිර කොට, තද කොට ඇඳුම් අන්දවා මස ම ලෝකයාට පෙන්වා තමන් කාමච්ඡුන්දයන් සකස් කොට අනුන් තුළ ද කාමච්ඡුන්දයන් සකස් කිරීමේ බරපතළ අකුසලය නිරතුරුව ම සිදුකර ගනිමින් පවතිනවා. පින්වත් මනුෂ්‍ය ඔබ, ඔබේ ඔය ශරීරයේ මස අකුසලයට යොමු කළොත්, මස් නැති ඇටසැකිල්ලකුයි පායාස නිරයේ දී ලැබෙන්නේ. ඔබ පායාස නිරයේ ඉපදී සිටින ඇටසැකිලි නිරිසතුන් ගැන සිතලා බිය ඇති කරගන්න.

පායාස නිරයේ ජීවත් වෙන තවත් එක් නිරිසතෙක් සිටිනවා. ඔහු හම ගැසූ නිරිසතෙක්. ඔබට උදාහරණයක් කියන්නම්. මනුෂ්‍යයෙක් අරගෙන ඔහුගේ මතුපිට සිනිඳු සම ගලවා ඉවත් කරන්න. දැන් ඔබ මනසින් එම සම ගැලවූ ශරීරය මෙනෙහි කරන්න. සියුම් සම පමණක් ගලවා දැමූ, මස්, ලේ, නහර මතු වී පෙනෙන ශරීරයක් ඔබට පෙනේවි. මෙන්න මේ නිරිසතාත් සම ගහපු නිරිසතෙකු වශයෙනුයි පායාස නිරයේ ඉපදී සිටින්නේ. මේ සියලූ දෙනා ම ගිහි ජීවිතයේ දී මනුෂ්‍යයාව කාමච්ඡන්දයන්ට යොමු කරපු මහත්වරු, නෝනාවරු. මේවා ඔබ කමටහන් කොට ගන්න. පින්වත් ඔබ පරිස්සම් වෙන්න. වර්තමාන සමාජයේ හොඳ ම ආදායම් ලබන ධන උල්පත් බවට පත් වී ඇත්තේ මනුෂ්‍යයාට කාමාස්වාදය ලබාදෙන උපකරණ සහ ව්‍යාපාරයන්මයි. මේ සෑම ව්‍යාපාරයක ම අවසාන ඉලක්කය, මනුෂ්‍යයා කෙටි ආස්වාදයකින් මත්කොට, තම අරමුණු ඉටුකර ගැනීමයි. මෙවැනි ව්‍යාපාරවලින් කෝටි ගණනින් මුදල් ගොඩගැසුණද එම සල්ලි කොළ අවසානයේ ඔබට පාවඩ එලන්නේ පායාස නිරයට බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.

වසර හැත්තෑවක් වැනි කෙටි ජීවිත කාලයක් තුළ පින්වත් ඔබ නිදි නොලබා, වෙහෙස මහන්සි වී ලෝකයාට කාමාස්වාදය ලබාදෙමින් අවසානය සකස් කොට ගන්නේ පායාස නිරයට නම්, තවමත් ඔබ ප‍්‍රමාද නැහැ. නැවත සිතන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් දැකලයි, නටගාමිණී තරුණයාට පායාස නිරය ගැන දේශනා කරන්නේ. ඉහත යථාර්ථය නුවණින් තේරුම් ගෙන, අනුන් කාමාස්වාදයේ මත් කරවන ව්‍යාපාරයන්ගෙන් මිදෙන්න. මේ ශරීරය වෙනස් වන දෙයක්. වෙනස් වන දෙයක සැපයක්, ලස්සනක්, රිද්මයක් තිබෙන්නට බැහැ. පින්වත් ඔබ නොදැනුවත්භාවය නිසා ම මේ රූපය නිත්‍ය සැපයක්, රසගුලාවක් ලෙස ලෝකයාට පෙන්නුවොත් පින්වත් ඔබ අධර්මයයි ලෝකයට පෙන්වන්නේ. කාම සිතුවිල්ලක් සිතට නැගෙන කොට නිතර ම අසුභ සංඥාවන් සිතේ ඇතිකොට ගන්න. පින්වත් ඔබ සුන්දරයි කියලා දකින ඔය රූපය තුළින් සෙම, සොටු, අසූචි, මුත‍්‍රා මතුකොට ගන්න. කාමයන්ට බැඳෙන කොට රූපය අසූචි ගොඩක් වශයෙන් දකින්න. ඔබගේ ශරීරය අට්ඨික සංඥාවෙන් දකින්න. අට්ඨික සංඥාව කියන්නේ ඇටසැකිල්ලක් වශයෙන් රූපය දැකීමයි. මනුෂ්‍ය ජීවිතයේ දී රූපය වැරදි විදියට ප‍්‍රයෝජනයට ගත්ත පායාස නිරයේ නිරිසතුන්ට උපතින් ම ඇටසැකිලි ජීවිතයක් ලැබිලා තියෙන්නේ. අකුසලය විසින් ම මස පිච්චිලා. ඇටසැකිල්ල තිබුණත් එම නිරිසතුන් අට්ඨික සංඥාව කියන්නේ මොකක්ද කියලා දැන් දන්නේ නැහැ. පින්වත් ඔබ අට්ඨික සංඥාව පුහුණු කරලා කාමයන්ගේ ආස්වාදයේ නිසරු බව දැක්කොත්, නැවත කවදාවත් පායාස නිරයේ හම ගහපු නිරිසතෙක්, ඇටසැකිලි නිරි සතෙක් වෙන්නේ නැහැ. සංස්කාර ඒ තරමට ම සාධාරණයි. ආස්වාදයට වඩා ආදීනවය ගැඹුරු කොට දෙනවා. මේසා ගැඹුරු, බියකරු ලෝකයක් අපි ඉදිරියේ තිබිය දී සංසාර බිය දකින්නේ නැහැ.

මු`ඵ ලෝකය ම වන්දනා කරනා තරු පන්තියේ මනුෂ්‍යයෝ පායාස නිරයට වැටෙන කොට අපිට මොකක් වේවි ද කියලා නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මේ සටහන පින්වත් ඔබට සිතන්නයි තැබුවේ මොකක්ද ඔබ සිතන්න ඕනේ? කාමයන්ගේ බියකරු ආදීනවයන්මයි සිතන්න ඕනේ. ආස්වාදයට අතවනන, පාපකාරී සිතුවිලිවලින් බැහැර වෙන්න ඕනේ.

අතිපූජනීය රාජගිරියේ අරියඥාණ හිමි

මෙම ලිපිය මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි පෙළින් උපුටා ගත්තකි.

සියළු දානයන් අතර ධර්ම දානය ම අග්‍ර වන්නේ ය. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ(සංයුත්ත නිකාය, දේවතා සංයුක්තය, ආදිත්ත වග්ගය, කිංදද සූත්‍රය). මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.