සුන්දර සටහන.

බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගොස්‌ වසර දෙදහස්‌ පන්සියයක්‌ ගත වුවද තවමත් ඔබත් මමත් අසරණ නැත. දුකෙන් මිදෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවමානව ඇත. එයත් උතුම් බුදුගුණයක්‌මය. ශ්‍රාවකයන්ට විස්‌තර වශයෙන් ධර්මය දේශනා කිරීමට උත්සාහ රහිත වූ නිසාත්, ශ්‍රාවකයින්ට ශික්‌ෂාපද නොපැනවීම නිසාත් විපස්‌සි බුදුරජාණන් වහන්සේගේත් සි‚ බුදුරජාණන් වහන්සේගේත් වෙස්‌සභූ බුදුරජාණන් වහන්සේගේත් ශාසන උන්වහන්සේලා පිරිනිවන්පෑ පසු බොහෝ කල් පැවතුණේ නැත. නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගොස්‌ වසර දෙදහස්‌ පන්සියයක්‌ ගිය තැනත් ජීවමානව පවතින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයින්ට විස්‌තර වශයෙන් ධර්මය දේශනා කිරීමට උත්සාහවන්ත වීමත් ශ්‍රාවකයන්ට ශික්‌ෂාපද පැනවීමත් නිසාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

මේ මොහොත දක්‌වාත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවමානව පවතින්නේද බුදුගුණයක්‌ නිසාමය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙක්‌ කල්පයක්‌ ජීවත්ව බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් සම්බුදු ගුණයක්‌ ගැන සිතුවත් සිතලා ඉවර කරන්න බැහැ කියලා. කල්පය ගෙවී යාවි, එහෙත් බුදුරජාණන් වහන්සේගේ අයෝමය ගුණයන් සිතල ඉවර කරන්න බැහැයි කියල. බුදුරජාණන් වහන්සේගේ ගුණයන්, ඥානයන් කල්පයක්‌ සිතුවත් සිතල ඉවර කරන්න බැහැනම් පිංවත් ඔබ කුමක්‌ද කළ යුත්තේ. සිතීමෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් ගැන හිතල ඉවර කරගන්න බැහැය කියල දකිමින් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් හඳුනා ගැනීමයි. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්‍ෂ ගණනක්‌ ගැන කොච්චරනම් අපි සිතන්නට ඇතිද? වර්තමානයේ අපි උතුම් බුදුගුණ ගැනම සිතනවා. බුදුරජාණන් වහන්සේලා පිරිනිවී ගියත් අපි තවම සිතනවා. සිතන්න සිතන්න අනාගත භව ගමනේ තව තවත් බුදුරජාණන් වහන්සේලා අපට මුණ ගැසෙනවා. අපි ප්‍රමාද වෙනවා. උන්වහන්සේලා පිරිනිවී යනවා. ප්‍රමාදය අවසානයේ පිංවත් ඔබ අබුද්ධෝත් පාද කාලවල අකුසලයේ සිරකරුවෙක්‌ කරනවා. පිංවත් ඔබ දෑස්‌ දෙක පියාගෙන සකස්‌ වෙන සිත අනිත්‍ය වශයෙන් දකින්න. නැවත නැවත දකින්න. එවිට ඔබ බුදුරජාණන් වහන්සේ අවබෝධ ඥාණයෙන් දැක්‌කා වෙනවා. එය මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම බුදුගුණයත්, උතුම්ම සම්බුද්ධ පූජෝපහාරයත් වෙනවා.

( පුජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේගේ සටහකින් කොටසකි)